විශ්ව සත්‍ය සොයා යන විචාරාත්මක චින්තනය

195

මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතා විසින් රචනා කරන ලද ‘කිං සච්ච ගවේසි’ කෘතිය  පසුගියදා එළිදැක්විණි. විශ්වය, ජීවය, මානවයාගේ ආරම්භය හා පරිණාමය පිළිබ`ද සංක්‍ෂිප්තව පෙන්වා දෙන අතරම මානව සමාජයේ සත්‍ය යනු කුමක්ද? එය සොයා යන්නේ කෙසේද? යන්න පිළිබද සමකාලීන විද්‍යාත්මක චින්තන ක‍්‍රමවේද ඔස්සේ යථාර්ථවාදී පිළිතුරක් ලබාදීමට උත්සාහ කරයි.

 මෙම කෘතිය රචනා කිරීමේ අරමුණු ලෙස කර්තෘවරයා දක්වන එක් කරුණක් වන්නේ ලොව ඇති නොයෙක් ඇදහීම්, විශ්වාසයන් තුළ ඇති මිථ්‍යාව පිළිබ`ද පුද්ගලයාට අවබෝධ කරගැනීමට සැලැස්වීමයි. අනෙක් අරමුණ වී ඇත්තේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් රචනා වී ඇති මොළය සහ ප‍්‍රජානක කෞශල්‍ය පිළිබ`ද පාඨක ලෝකයට යම් අවබෝධයක් ලබා දීමයි.

 මෙම කෘතිය මගින් මානව සමාජයේ ජීවය පිළිබ`ද වෙනස් ම වූ යථාර්ථවාදී ස්වභාවයකින් සහ තාර්කික සිතීමකට යොමු කරවයි. ජීවය පිළිබ`ද මිනිසුන් අතර ඇති නොයෙක් මිථ්‍යාමතවාද, විශ්වාස හා අදහස්වලට ‘කිං සච්ච ගවේසී’ කෘතිය මගින් තර්කානුකූල විද්‍යාත්මක අදහසක් එකතු කරයි. මිනිසාත් ඔහු අවට ඇති සමාජ පරිසරය විවිධ ප‍්‍රපංච ඔස්සේ මෙම කෘතියෙන් විවරණය කෙරෙයි.

 සත්‍ය ගවේෂණය මූලික තේමාව කරගත් මෙම කෘතියේ ග‍්‍රන්ථ නාමය දෙස බැලීමේදී ආගමික මුහුණවරක් ගත්ත ද එහි අන්තර්ගතය ආගමික  ඉගැන්වීම්වලින් බැහැරව මානවයා හා ජීවිතය පිළිබ`ද පු`ඵල් විද්‍යාත්මක දෘෂ්ටියක් ඔස්සේ සාකච්ඡා කරයි.

 විවිධ මානව සංස්කෘතීන් අනුව, කාලානුරූපව ජීවිතය සමග බැඳුණු සියල්ල වෙනස් වීමට බ`දුන්වන්නේ නම්, සත්‍ය යන්න පිළිබ`ද කවරෙකුගේ මතයක් නිවැරදිද යන්න පැවසීම උගහටය.

 මෙයින් අපට පැහැදිලි වෙන්නේ ජීවිතය පිළිබ`ද අප අදහන සත්‍යයට වඩා වෙනත් සොයා යාමක් සහිත වන බවයි. භෞතික ලෝකයේ සත්‍ය, අසත්‍යභාවය පිළිබ`ද එසේ වන විට මානවයා නිර්මාණය කරන්නා වූ ජීවිතය හා බැ`දුණු සංකල්පනා පිළිබද ඇති සත්‍ය අසත්‍යතාවය යන්න කුමක්ද? යන්නට මෙහිදී විමර්ශනය කරයි.

 සමාජයේ ජීවත් වන සත්ත්වයෙකු වශයෙන් මිනිසා නිර්මාණය කර ගත් නිර්මිත සංකල්පනා අතර ආදරය, ප‍්‍රජාත්ත‍්‍රවාදය, සමාජවාදය, ධනවාදය, නවීකරණය කිහිපයකි.

 මෙම සංකල්පනාවලින් සාපේක්‍ෂ ලෙස නිවැරදි කුමක්දැයි යන්නට මතයක් ඉදිරිපත් කළ ද ‘සැබෑවට ම සැමට නිවැරදි වූ ක‍්‍රමය මේ යයි කිව හැක්කේ කාටද?’ මිනිසුන් වැඩිදෙනා අතර කතාබහට ලක් වෙන මෙම සංකල්පනා පිළිබ`ද මහාචාර්ය ගාම්භීරයන් සිය සටහනේ දක්වන්නේ මෙසේය.

 ‘ආදරය, පෙර ආත්මයේ සිට පතාගෙන පැමිණි, අකලංක, විරාගී ස`දහා එළිය සේ අචින්ත්‍ය වූ, පරිශුද්ධ වූ දෙයක් ද? නොඑසේ නම් ආදරය යනු එම වයසේදී තමාට හමු වූ හොඳම තැනැත්තා හෝ තැනැත්තිය හෝ සම`ග සම්බන්ධතාවක් ඇති කර ගැනීම ද? එසේ ඇති කරගත් සම්බන්ධය එකිනෙකාගේ සුබ සිද්ධිය තකා වර්ධනය කර ගැනීමද? මෙලෙව විසූ තරුණයන් කී දෙනෙකුට ඔවුන් කැමති හො`දම තරුණිය හමු වී ඇත්ද? තරුණියන් කී දෙනෙකුට ඔවුන් කැමති හො`දම තරුණයා හමුවී ඇත්ද? ඒ කෙසේ වෙතත් අවසාන විග‍්‍රහයේදී ගම්‍ය වන සත්‍ය නම් ‘ආදරය යනු ලිංගික සම්බන්ධයක් කරා ගමන් කරන රාජකීය මාර්ගය බවයි.’ (Love is royal road to sex) වඩාම නිවැරදි වැඩි දෙනාගේ සුබ සිද්ධිය සලසා, වංචාව දූෂණය අවම වූ ආර්ථික සහ සමාජ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන රාජ්‍ය පාලන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද, ධනවාදය ද, නැතිනම් වෙනත් ක‍්‍රමයක් ද කියා කිව හැක්කේ කාටද? (කිං සච්ච ගවේසී, හැ`දින්වීම)

 මෙම කෘතිය මගින් වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබන තවත් කරුණක් වන්නේ, මිථ්‍යා එළඹුම් හා ප‍්‍රවේශයන්ට එරෙහිව කර්තෘවරයා සිදු කරන විද්‍යාත්මක පෙන්වා දීමයි. ඒ අනුව මානව ජීවිතය අවබෝධ කරගැනීමේදී මිථ්‍යාත්මක අදහස්වලට වඩා විද්‍යාත්මක එළඹුම්වල ඇති වැදගත්කම හා තාර්කිකත්වය භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

 වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතා සිය කෘතිය මගින් වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ජීවිතය, ලෝකය අවබෝධ කරගැනීම ස`දහා විද්‍යාත්මක දාර්ශනික චින්තනය භාවිතයට ගැනීමේ වැදගත්කම හා අවශ්‍යතාව පැහැදිලි කරදීම වෙනුවෙනි. එහිදී ‘කිං සච්ච ගවේසී’ කෘතිය මගින් කර්තෘවරයා මානව ජීවිතය හා සබැ`දුණු අංශ කිහිපයක් පිළිබ`ද අවධානය යොමු කර ඇත. මානව පරිණාමය, ජීවිතය, දැනුම, මරණය, හේතුඵලවාදය හා පෞරුෂය යන්න එකී අංග කිහිපයකි.

 එසේම මෙම කෘතියෙහි වන තවත් සුවිශේෂීත්වයක් වන්නේ, මානව ජීවිතය හා බැඳුණු සාධක පිළිබ`ද විවිධ යුගවලදී දාර්ශනිකයින් චින්තකයින් ඉදිරිපත් කළ අදහස් විමර්ශනයට ලක් කරමින් කර්තෘවරයා ස්වකීය එළඹුමක් හැඩ ගැස්වීමට දරා ඇති ප‍්‍රයත්නය යි.

 විද්‍යාවේදී භාවිතයට ගැනෙන තර්කය හා ක‍්‍රමවේදී පිළිවත යොදා ගනිමින් ස්වකීය මතය තහවුරු කර ගැනීමට දරන උත්සාහය ප‍්‍රශංසනීය වේ.

 කෘතිය රචනා කිරීමේ දී විද්‍යාත්මක ප‍්‍රවේශයක් හා විද්‍යාත්මක රචනා ශෛලියක් භාවිත කොට ඇත. මහාචාර්ය හරිස්චන්‍ද්‍ර ගාම්භිරයන් 1977 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා ආයතනයේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබ`ද වෛද්‍ය විශාරද උපාධිය ලබා ගත්තේය.පසුකලෙකදී ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් රෝහල් ජාලයේ පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබමින් එහිම විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසද සේවය කර ඇති මෙතුමා එහි විද්‍යුත් කම්පන ප‍්‍රතිකාර අංශය භාර විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

 මෙයට අමතරව වෛද්‍ය ගාම්භීර මහතා රාජකීය මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේය. ශ‍්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ සභාපති ධුරය තෙක් විවිධ තනතුරු දැරූ මෙතුමා දකුණු ආසියානු මනෝවෛද්‍ය සංගම් සම්මේලනයේ සභාපති ධුරය ද හෙබවීය.

 මෙම කෘතියෙහි අන්තර්ගතය දෙස තවදුරටත් විමර්ශනාත්මකව බැලීමේදී කතුවර මහාචාර්ය හරිස්චන්‍ද්‍ර ගාම්භීර මහතා සිය දීර්ඝකාලීන වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේදී අත්දැකීමෙන් ලත් පරිචය කොතෙක්ද යන්න පැහැදිලි වේ. එම පරිචය ඔස්සේ ‘කිං සච්ච ගවේසී’ කෘතිය විචාරාත්මක දිශානතියක් ඔස්සේ රචනා කර ඇති බව පෙනී යයි. එබැවින් මෙම කෘතිය ශාස්ත‍්‍රීය අධ්‍යයන ස`දහා පමණක් නොව ජීවය පිළිබ`ද විශ්ව සත්‍ය සොයා යන කවරෙකුට වුවද ස්වකීය විචාරාත්මක චින්තනය අවදි කිරීම ස`දහා මගපාදන්නක් බව කිව යුතුය.

* කථිකාචාර්ය අමාලී උත්පලා නන්දසිරි
 ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
 කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment