විශ්ව සාහිත්‍යයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා ෂේක්ස්පියර්: සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

185

ප‍්‍රශ්නය – විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යය පිළිබඳව මීට පෙරද අපේ රටේ බොහෝවිට අවධානය යොමු වී තිබුණ. එසේ තිබියදී නැවත මේ කෘතිය පරිවර්තනය කිරීමේ අරමුණ කුමක්ද?

උත්තරය – මීට පෙර ෂේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යය කලාකරුවන් කිහිප දෙනෙකු විසින් පරිවර්තනය කළ බව සත්‍යයක්. එකී පරිවර්තනවල බස් වහර පිළිබඳව සාහිත්‍ය සංවාදයක් පවා ඇති වුණා. බොහෝ රසිකයන් පෙන්වා දෙනු ලැබුවේ ෂේක්ස්පියර් ගේ නාට්‍යයේ ඕජෝ ගුණය මතු කරලීමට පරිවර්තන බස් වහර පොහොසත් නොවුණු බවයි. පූර්ණ පරිවර්තනයකදී මුහුණදීමට සිදුවන විවිධ ගැටලූසහගත කරුණු එම නාට්‍යවල තිබුණා. බොහෝ විචාරකයන්ගේ අදහස වුණේ ඒවා සුගම පරිවර්තන නොවන බවයි. මුල් කෘතියෙන් ෂේක්ස්පියර් ඉස්මතු කළ නාට්‍යමය ගුණය හා බැඳුණු ශක්‍යතා පරිවර්තනයකදී ඒ අයුරින් මතු කළ හැකියි කියලා මං හිතන්නේ නෑ. කෙසේ වුවත් ඒවා යම් ප‍්‍රශස්ත මට්ටමක තිබුණු පරිවර්තන. මං කළේ පිටු 96කට සීමාවන ආකාරයේ සංක්‍ෂිප්ත පරිවර්තනයක්. එහිදී නාට්‍යමය

අවස්ථා නිරූපණයට එතරම් බලනොපාන සිදුවීම් වර්ණනා මං බැහැර කළා. ප‍්‍රධාන කතා තේමාව විකාශනයට උපකාරි නොවන සිදුවීම් හා චරිත විස්තාරණ බැහැර කරල අවශ්‍යම සිදුවීම් ඇසුරෙන් පෙළ ලිවීමට පෙලඹුණා. බොහෝවිට පූර්ණ පරිවර්තනය රංග ගත කිරීම එතරම් පහසු කාර්යක් නොවේ. එවිට නාට්‍ය අධ්‍යක්‍ෂ පවා බොහෝ ගැටලූ හා දුෂ්කරතාවලට මුහුණ දෙනවා. රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ සංක්‍ෂිප්ත පරිවර්තනයක් කිරීමට මං පෙලඹුණේ ඒ නිසා. ඒකට මං පෙලඹවූයේ මීට පෙර මං කළ හැම්ලට් හා ඔතෙලෝ නාට්‍යවල සංක්‍ෂිප්ත පරිවර්තන, ඒ ගැන නාට්‍යකරුවන් කීප දෙනෙක්ම ප‍්‍රසාදයෙන් කතා කළා. රෝමියෝ සහ ජුලියට් පරිවර්තනයක් රංග ගත කිරීමට පහසු සුඛනම්‍ය තත්ත්වයක පවතියි කියලා මට හිතෙනවා.

ප‍්‍රශ්නය – ලෝක සාහිත්‍යයේ නව මාර්ග කලින් කලට වෙනස් වුවත් නව ප‍්‍රවණතා කොතෙක් තිබුණත් ෂේක්ස්පියර් සහ ඔහුගේ සමකාලීනයන් ලෝකයට දායාද කළ සාහිත්‍ය කලා නිර්මාණ ගැන අදටත් මූලික තැනක තබා කතා කරනවා. ලෝක නාට්‍ය හා සාහිත්‍ය කලා සංවාදය තවමත් මේ මතම පදනම් වීමට හේතුව කුමක්ද?

උත්තරය – ෂේක්ස්පියර් විශ්ව කලා නිර්මාණ ක්ක්‍ෂේත‍්‍රයේ අද්විතීය නිර්මාණකරුවෙක්. මගේ පිළිගැනීම නම් විශ්ව සාහිත්‍යයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා ෂේක්ස්පියර්. ඔහුගෙන් පසු ඔහු ඉක්මවා යන නාට්‍යකරුවෙක් කලාකරුවෙක් බිහි වී නැහැ. ඔහු ප‍්‍රකට කළ ප‍්‍රතිභාවට සමීප කළ හැකි වෙනත් කෙනෙක් ගැන කිව නොහැකි තරම්. ඔහු ජීවත් වූ යුගයේ ඔහුට අභියෝගයට සිටි එකම නාට්‍යකරුවා ක‍්‍රිස්ටෝපර් මාලෝ. පුදුමයට කරුණ නම් 16 හා 17 වන සියවස් අතරතුර කාලයේදී ක‍්‍රිස්ටෝපර් මාලෝට තරම් සමාජ පිළිගැනීමක් ෂේක්ස්පියර්ට තිබුණේ නෑ. පේ්‍්‍රක්‍ෂකයන් වැල නොකැඞී ගොස් බලන්න පෙලඹුණේ මාලෝ ගේ නාට්‍ය. සමකාලීන නාට්‍ය විචාරකයන් පවා නිර්දය ලෙස ෂේක්ස්පියර් විවේචනය කිරීමට පෙලඹුණා. ඒ කෙසේ වුවත් ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ මෙන්ම විචක්ෂණ නිර්මාණ කුසලතා යටපත් කිරීම පහසු වුණේ නැහැ. මාලෝත් ප‍්‍රතිභාපූර්ණ නාට්‍යකරුවෙක්. එහෙත් අද ඔහු ගැන දැන ගන්නට ලැබෙන්නේ ඉංග‍්‍රීසි නාට්‍ය ඉතිහාසය ගැන හදාරන කෙනකුට පමණයි.

ප‍්‍රශ්නය – රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ තිබෙන විශේෂත්වය කුමක්ද?

උත්තරය – විශ්ව නාට්‍ය කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රචලිත පේ‍්‍රම වෘත්තාන්ත අතර වඩාත් ජනප‍්‍රිය නිර්මාණය රෝමියෝ සහ ජුලියට්. එය රචනා කර මේ වන විට සියවස් හතරකට අවුරුදු හාරසීයකට වඩා වැඩි කාලයක් ගෙවී ඇතද, එය එදාටත් වඩා අද ජනප‍්‍රිය පේ‍්‍රම වෘත්තාන්තයක් පසුබිම් කරගත් ශ්‍රේෂ්ඨ නිර්මාණයක්. එය ලෝකයේ කිසියම් තැනක දිනපතාම ර`ග දැක්වෙන්නේ යැයි පැවසූවද අරුමයක් ලෙස සැලකිය නොහැකි තරම්ය. ඒ වූකලී මිනීමැරුම්, ජීවිතය සහ මරණය, සතුට සහ දුක, මව්පියන් හා දු දරුවන් අතර ගැටලූ හා පවුල් දෙකක් අතර නිරන්තරයෙන්ම ඇවිළෙමින් පැවැති අති බිහිසුණු වෛරය යන කරුණුවලින් ගහන වූ අසිරිමත් පේ‍්‍රම වෘත්තාන්තයක්. එහි මරණ හයක් සිදු වෙනවා. නාට්‍යයේ සමහර අංක සන්සුන් හා පේ‍්‍රමාන්විත ජවනිකාවලින් යුක්ත වෙනවා. සමහර අංක කම්පනශීලීයි. සමහර සිදුවීම් සිත් වශීකරනසුලූයි. ඇතැම් සිදුවීම් අතිශයින් ඛේදජනකයි.

ප‍්‍රශ්නය – සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ අභිවර්ධනය වෙනුවෙන් මේ වසරේ අවධානය යොමු විය යුතු විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු තිබෙනවාද?

උත්තරය – සාහිත්‍යකරුවා තමා යා යුතු මග හඳුනා ගෙන එම මගට ප‍්‍රවිශ්ඨ වී ඒ ඒ සාහිත්යිික ශානර හඳුනාගෙන සාහිත්‍යකරුවාගේ සැබෑ අභිමථාර්ථ සඵල කර ගැනීමට තුඩු දෙන සේ සාහිත්‍යකරණයේ යෙදෙන්න ඕන. තම තමන්ගේ ජාගර සිත් අරා සිටින දෘෂ්ටිවාදී හෝ කල්ලිවාදී අදහස් එළි දැක්වීමට සාහිත්‍ය නිර්මාණ යානයක් කරගත යුතු නොවේ.

අනෙක් අතට කල්ලිවාදය බැහැර කළ යුතුයි. කල්ලිවාදී සාහිත්‍යකරුවාට සිය කල්ලිය නියෝජනය කරන සහචරයන්ගේ දුර්වල සාහිත්‍ය පඨිතයන් පවා උසස් නිර්මාණ ලෙස ඔසවා තැබීමට සිදු වෙනවා. ඒ දේ දැන් සිදුවෙමින් පවතිනවා. එසේම ගුරුකුල නායකයා වීමට පෙරුම්පුරන කෙනකුට තම ගුරුකුල අනුගාමිකයන් ගේ පඨිතවල අඩුපාඩු දුර්වලකම් වසන් කරගෙන ඒවාට ප‍්‍රශස්ති ලිවීමට සිදු වෙනවා. කුමාරතුංග මුනිදාස පඬිවරයාට මෙබඳු තත්ත්වයකට මුහුණදීමට සිදුවුණා. හෙළහවුලට සම්බන්ධ සෑම කවියකුගේම කාව්‍ය නිර්මාණවල අපූර්ව කවිත්වයක් ගැන කතාකිරීමට එතුමාට සිදු වුණා. කල්ලිවාදී සාහිත්‍යකරුවාට සිය කල්ලිය නියෝජනය කරන අය ගේ දුර්වල කෘතීන් පවා උසස් රචනා ලෙස ඔසවා තැබීමට සිදු වෙනවා. කල්ලියෙන් බැහැර සාහිත්‍යකරුන් ගේ අගය කළ හැකි කෘතියක පවා අගයක් වටිනාකමක් ඔවුන්ට පෙනෙන්නෙ නෑ. මේ තත්ත්වය සාහිත්‍යයේ වර්ධනයට බාධාවක්. එසේම කල්ලිවාදී සාහිථ්‍යකරුවන් මෙන්ම ඔවුන් නියෝජනය කරන විචාරක විදූෂකයන් පවා කල්ලියෙන් බැහැර සාහිත්‍යකරුවකු ගේ පඨිතයන් දිහා බලන්නේ වපර ඇසකින්. ඒවා වචනයකින් දෙකකින් කපා හැරීමටයි පෙලඹෙන්නේ. මේ තත්ත්වය යහපත් ගුණාත්මක සාහිත්‍යයක පැවැත්මට බාධාවක්.

ප‍්‍රශ්නය- පුද්ගල සංවර්ධනය වෙනුවෙන් සාහිත්‍ය භාවිතයට ගැනීම සඳහා මේ මොහොතේ ලේඛකයාගේ වගකීම කුමක්ද?

උත්තරය – සැබවින්ම සාහිත්‍යයේ සැබෑ අභිලාෂ පෙරදැරිකර ගත් සාහිත්‍ය කෘතිවලින් වක‍්‍රාකාරයෙන් සමාජ සංවර්ධන හෝ පුද්ගල සංවර්ධනය සිදුවන්න පුළුවන්. මිනිස් සමූහයකිනුයි සමාජයක් ගොඩනැෙ`ගන්නෙ. රසාස්වාදය හෙවත් ගැඹුරු වින්දනය පෙරටු කරගත් සාහිත්‍ය කෘතියක් බිහිවන්නේ අර්ථවත් ජීවිතානුභූතියක් හෝ සමාජානුභූතියක් හෝ මානව ධර්මතා අනිවාර්යයෙන්ම ගැඹුරින් විවරණය වුවහොත් පමණයි. එබඳු කෘතියක සර්වකාලීන වටිනාකමක් ගැබ්වෙනවා. එමගින් උසස් මානව ගුණාංග ජීවිතයට එකතු වෙනවා. ජීවිතය හැඩගැස්විය යුතු ආකාරය එමගින් පුද්ගල මනසට කාන්දු වෙනවා. පුද්ගලයා නොදැනුවත්වම මුහුකුරා යනවා. අනුකම්පාව, දයාව, කරුණාව ආදි මානුෂීය ගුණාංග ජිවිතාභ්‍යන්තරයට ප‍්‍රවිෂ්ට වෙනවා. ඔහු මානව හිතවාදී සැබෑ මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. තමා නිසි මග යන අතරම මග පෙන්වන්නෙක් බවටද පත්වෙනවා.

ප‍්‍රශ්නය- අවසාන වශයෙන් අද පවත්නා සම්මාන පොරය ගැන මොකද හිතන්නෙ.

උත්තරය – මෙය අතිශයින් ශෝචනීය තත්ත්වයක්. සම්මාන අරමුණු කරගත් සාහිත්‍යකරණයෙන් හොඳ සාහිත්‍යයක් බිහි කළ නොහැකියි. අපේ ඇතැම් ප‍්‍රබුද්ධ ලේඛකයන් පවා සෑම වසරකම නව කතාවක් කෙටිකතා සංග‍්‍රහයක්, කාව්‍ය සංග‍්‍රහයක් පළ කිරීමට පෙලඹෙනවා. කෘතියක් රචනා කොට පළ කළ හැකියි. එහෙත් සර්වකාලීන හා සාර්වත‍්‍රික ගුණාංගවලින් යුත් රසතාව පූර්ණ සාහිත්‍ය කෘතියක් මෙබඳු කෘති අතුරෙන් තෝරාගත හැකිද? හොඳ කලාත්මක පරිසමාප්තියෙන් යුත් භාවපූර්ණ නිර්මාණයක් බිහි කිරීමට නම් සාහිත්‍යකරුවා අනුභූති ගවේෂණයක යෙදෙන්න ඕන. ඒ ගැන කාලයක් තිස්සේ සිතන්න ඕන. ඒ ආශ‍්‍රිත විවිධ පතපොත පඨනය කළ යුතුයි. මේ කිසිත් නොමැතිව වසරකට වරක් පළ කරන කෘතිවලින් සර්වකාලීන වැදගත්කමකින් යුත් සාහිත්‍යයක් බිහි කළ හැකිවේද? වසරේ පළවන සාහිත්‍ය කෘති අතුරෙන් තීරකයන්ගේ රුචි අරුචිකම්වලට අනුව ලේඛකයා සම`ග පවත්නා පෞද්ගලික සම්බන්ධතාවලට අනුව, නැතහොත් ගුරුකුල නියෝජනත්වය මත කෘති තෝරාගෙන ඒවා වසරේ හොඳම නවකතාව නැතහොත් හොඳම කෙටිකතා සංග‍්‍රහය හෝ හොඳම කාව්‍ය සංග‍්‍රහය යන අපදානවලින් හඳුන්වා දෙමින් දහසක් බැඳි පියලිවලින් සම්මාන පුදනවා. බොහෝ විට ඒවා නිසරු කෘති. අද සම්මාන උත්සවවලදී ප‍්‍රදානය කරන මුදල සම්මාන පොරයට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී හොඳම නවකතාවට රුපියල් හත්ලක්‍ෂ පනස් දහසක් ප‍්‍රදානය කරනවා. ඒ හැරුණු විට අවසාන වටයට තෝරා ගන්නා නිර්දේශ නවකතාවලට ලක්‍ෂය බැගින් ප‍්‍රදානය කරනවා. රජත පුස්තක සම්මාන උළෙලේදී තෝරා ගන්නා වසරේ හොඳම කෙටිකතා සංග‍්‍රහය යන අපදානයෙන් පුද ලබන කෘතියට රුපියල් දෙලක්‍ෂ පනස් දහස් ප‍්‍රදානය කරනවා. නිර්දේශ කෘති තුනට හෝ හතරට පනස් දහස බැගින් දෙනවා. එසේම

ගොඩගේ හා රාජ්‍ය සම්මාන උළෙලවලදී මේ කෘති සඳහා රුපියල් ලක්‍ෂය බැගින් දෙනවා. මේ සම්මාන සඳහා කෘති තෝරා ගන්නා ආකාරය ජුගුප්සාජනකයි. ඉතා සාර්ථක නවකතා කෙටිකතා සංග‍්‍රහ හා කාව්‍ය සංග‍්‍රහ නොතකා හරිනවා. මෙය ඛේදජනක තත්ත්වයක්. 2020 වසරේදී රචනා වූ සේන තෝරදෙනිය විසින් රචනා කරන ලද මඩරන් මෑත අවධියේ රචනා වූ උසස් නවකතාවක්. එය සෑහෙන පර්යේෂණ ක‍්‍රියාවලියකින් පසු රචනා කරන ලද කෘතියක් බව පෙනෙනවා. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරනු ලැබූ අවධියේදී, උඩරට ගැමි ජනතාව මුහුණදුන් ජීවන අර්බුදය මෙහි ගැඹුරින් නිරූපණය වී තිබෙනවා. මෙය ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ තෝරාගත් නවකතා 12ටවත් ඇතුළත් වී නැහැ. මෙය මහත් ඛේදවාචකයකි. එසේම රජත පුස්තක සම්මාන උළෙලේදී කීර්ති වැලිසරගේ දිගු තත්පර හා ටෙනිසන් පෙරේරාගේ අසුබ හෝරාව උසස් කෙටිකතා සංග‍්‍රහ දෙකක්. එහෙත් එම කෘති දෙකෙන් එකක්වත් අවසාන වටයට තෝරා ගෙන නැහැ. මෙය විස්මයජනක තත්ත්වයක්.

සංවාදය – රුවන් ජයවර්ධන

විශ්ව සාහිත්‍යයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා ෂේක්ස්පියර්: සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment