විශ්‍රාම ගිය අය කියන කතා බොරු… තෙල් අර්බුදයක් නෑ! – අමාත්‍ය උදය ගම්මන්පිල

117

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතුයි

විෂය නොදන්නා අය විහිළු කතා කියනවා

පෙට‍්‍රල් – ඞීසල් ආනයනය කරන්න ඩොලර් වැයවෙන්නේ අඩුවෙන්

පොහොර, සිමෙන්ති, සීනි මෙන්ම මේ වන විට ඉන්ධන මිලදී ගැනීම සඳහා ද පාරිභෝගිකයන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවී ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ එම තත්ත්වයට බලශක්ති ඇමැතිවරයා වගකිව යුතු බවයි. ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිමේ යෑමට සිදුවීම පිළිබඳව මෙන්ම වෘත්තීය සමිති එල්ල කරන චෝදනා පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – පසුගිය දිනවල ඇති වුණු තෙල් පෝලිම් වලට ඔබ වගකිවයුතු බවට වෘත්තිය සමිති චෝදනා කරනවා නේද?

පිළිතුරු – කිසිම වෘත්තීය සමිතියක් එසේ චෝදනා කරන්නේ නෑ. නමුත් එක් විශ‍්‍රාමික සේවකයෙකු විසින් මාධ්‍ය හමු පවත්වලා තෙල් හිඟයක් ඇති වන බව පැවසුවා. ඔහුව ජනතාව හඳුනන්නේ නැති වුණත් තමන් විශ්වාස කරන නාලිකාවේ මේ ප‍්‍රවෘත්තිය දැක්කාම කලබල වෙලා හැමෝම තෙල් පිරවුම්හල් වලට දුවනවා. සමස්ත රටම එකම මොහොතේ පිරවුම්හලට ආවාම එතැන දිග පෝලිම් ඇති වීම පුදුමයක් නොවේ. අපි රට තුළ අඛණ්ඩ තෙල් සැපයීමක් සහතික කරලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ රටේ තෙල් හිඟයක් නෑ කියලා ද?

පිළිතුරු – කිසිම තෙල් හිඟයක් නෑ. පිරිපහදුව වැඩ නතර කළේ 15දා. එදාම තෙල් හිඟයක් ඇති වෙන්න බෑනෙ. පෙරදා රාත‍්‍රිය දක්වා පිරිපහදු කළ තෙල් කොහොමත් ගබඩාවල තිබෙනවානෙ. නමුත් තෙල් හිඟයක් ඇති වන බවට කවුරු හරි මාධ්‍ය අවභාවිත කරලා බොරුවක් කිව්වාම හැමෝම පිරවුම්හලට දුවනවා. වෙනදා රුපියල් පන්සීයක දාහක තෙල් ගත්තු කෙනාත් ටැංකිය පිරෙන්න තෙල් මිල දී ගන්නවා. පිරවුම්හලක තෙල් තිබෙන්නේ දවස් දෙකකට පමණයි. හැමෝම ඇවිත් ටැංකි පිරෙන්න තෙල් ගත්තාම පිරවුම්හලේ තෙල් අවසන් වෙනවා. රට පුරාම සියලූම ඉන්ධන හල්වල තෙල් එකම දවසේ අවසන් වුණාම නැවත තෙල් බෙදා දෙන්න දවස් දෙක තුනක් යනවා. දැන් හිඟය ඉවරයි. තෙල් හිඟයක් ඇති වන බවට විශ‍්‍රාමික සේවකයෙක් බොරු ප‍්‍රකාශයක් කළේ නැතිනම් තාවකාලික හිඟයක්වත් ඇති වෙන්නේ නෑ. සැබෑ තෙල් හිඟයක් නම් දවස් දෙක තුනකින් මග හැරෙන්නේ කොහොමද?

ප‍්‍රශ්නය – නම නොකියා හැංගි මුත්තන් කෙලින්නේ ඇයි? ඔබ කියන්නේ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත ගැන නේද?

පිළිතුරු – තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති සමිත අසිතංජ මිස ආනන්ද පාලිත නොවේ. ආනන්ද පාලිත කියන්නේ මීට වසර හතරකට පෙර විශ‍්‍රාම ගත් සේවකයෙක්. ඒ නිසා තමයි සංස්ථාවේ කටයුතු පිළිබඳ අවබෝධයක් නැතුව නිතරම රටට බොරු කියන්නේ. මාධ්‍ය හමුවක් පවත්වලා මොකක් හරි බොරුවක් කියලා ?ට රූපවාහිනියෙන් තමන්ගේ මුහුණ පෙන්වා ගැනීම තමයි ඔහුගේ එකම ඉලක්කය වී තිබෙන්නේ. විශ‍්‍රාම ජීවිතය ගත කිරීමට ඔහු තෝරා ගෙන තිබෙන්නේ අතිශයින්ම දුෂ්ට විනෝදාංශයක්.

ප‍්‍රශ්නය – ආනන්ද පාලිත බොරුකාරයෙක් විධියට හංවඩු ගහන්න ඔබ උත්සාහ කරනවා. ඒක සාධාරණ ද?

පිළිතුරු – ඔහු බොරු එකක් දෙකක් නොවේ වැලක්ම කියා තිබෙනවා. තෙල් හිඟයක් ඇති වන බවට ඔහු කිව්වේ වරක් දෙවරක් නොවේනෙ. ඊට අමතරව ඉන්දියානු විදේශ ලේකම් ලංකාවට එන්නේ මා සමග ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුමක් අත්සන් කරන්න කිව්වා. ලේකම් මාත් සමග ගිවිසුම් අත්සන් කරනවා තබා මා සමග සාකච්ඡාවක්වත් ඉල්ලා තිබුණේ නෑ. මම ත‍්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හදනවා කිව්වා. ඇත්ත කතාව නම් ඔහුගේ පක්ෂය විසින් 2003 දී තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට දීලා ඉවරයි. මම හදන්නේ ඒවා ආපසු ගන්නයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතෙන් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය වෙනවා කිව්වා. නමුත් ඒ පනතෙන් කළේ තෙල් ගවේෂණයට අධිකාරියක් පිහිටුවීමයි. විදුලි බලාගාරවලට දැවිතෙල් නැති වෙලා දවසට පැය 12ක විදුලි කප්පාදුවක් එනවා කිව්වා. පැය 12ක් තබා එක පැයක්වත් විදුලි කප්පාදුවක් වුණේ නෑ. පිරිපහදුවේ දැල්ල නිමුනේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි කිව්වා. වසර දෙකකට වරක් නඩත්තු කටයුතු සඳහා දැල්ල අනිවාර්යෙන් නිමනවා. මේ මම කිව්වේ ඔහු කියූ බොරු රොත්තෙන් මතක් වුණු කිහිපයක් පමණයි.

ප‍්‍රශ්නය – සීමිත විදේශ විනිමය රැක ගැනීමට බොරතෙල් ආනයනය නැවැත්වූ බවට පැවසුවත් ඒ වෙනුවට ඞීසල් සහ පෙට‍්‍රල් ආනයනය කිරීමේදීත් ඩොලර් වැය වෙනවා නේද?

පිළිතුරු – අපේ පිරිපහදුව වසර 51ක් පැරණි එකක්. එයින් පෙට‍්‍රල් සහ ඞීසල් නිපදවන්නේ 43%ක් පමණයි. 37%ක්ම හැදෙන්නේ දැවිතෙල් සහ නැප්තා. මේවා භාවිත කරන්නේ විදුලිය නිපදවීමට. නමුත් මේ දිනවල ඇති වෙන්න ජලය තිබෙන නිසා විදුලිය නිපදවීමට දැවිතෙල් සහ නැප්තා අවශ්‍ය නැති බව අපට දන්වා තිබෙනවා. දැනටත් දැවිතෙල් ටොන් 13,500ක් භාවිතයට නොගෙන අපේ ටැංකි වල ගබඩා කර තිබෙනවා. බොරතෙල් බැරලයකින් පෙට‍්‍රල් සහ ඞීසල් නිපදවන්නේ 43%යි කියන්නේ පෙට‍්‍රල් – ඞීසල් එක බැරලයක් නිෂ්පාදනය කරන්න බොරතෙල් බැරල් 2.32ක් අවශ්‍යයි. ඒ සඳහා ඩොලර් 197ක් වැය වෙනවා. නමුත් සෘජුවම පෙට‍්‍රල් – ඞීසල් බැරලයක් මිලදී ගත්තොත් වැය වන්නේ ඩොලර් 94ක් පමණයි. ඒ කියන්නේ බොරතෙල් වෙනුවට සෘජුවම පෙට‍්‍රල් සහ ඞීසල් ආනයනය කිරීමේදී ඩොලර් වැය වෙන්නේ අඩුවෙන්.

ප‍්‍රශ්නය – බොරතෙල් වෙනුවට පෙට‍්‍රල් සහ ඞීසල් ආනයනය කරන්නේ කොමිස් ලබා ගැනීමට බවට චෝදනාවක් එල්ල වෙනවා නේද?

පිළිතුරු – විපක්ෂ නායකතුමා ඔය චෝදනාව කළේ කාගේ හරි ලණුවක් කාලා. කොමිස් ගන්නා නිලධාරියෙකුට පෙට‍්‍රල් වලින් කොමිස් ගන්න පුළුවන් නම් බොරතෙල් වලින් ද කොමිස් ගන්න පුළුවන්නෙ. ඒ නිසා ඒක පදනම් විරහිත කතාවක්. කවුරු හරි අපේ නිලධාරියෙකු කොමිස් ගන්නා බවට සාක්ෂි ඇත්නම් මට ඉදිරිපත් කරන්න. ඔහුට දැඩි දඬුවම් දෙන්න අපි සූදානම්. ඒ වගේම කොමිස් අරගෙන තෙල් ගේනවා නම් සාමාන්‍ය මිලට වඩා ගන්නා මිල වැඩි වෙන්න ඕනිනෙ. ඒ නිසා දැනට ගන්නා මිලට වඩා අඩු මිලකට තෙල් සැපයීමට සැපයුම්කරුවෙකු ඉදිරිපත් කරන්න කියා මම විපක්ෂ නායකතුමාට අභියෝග කළා. ඔන්න දැන් විපක්ෂ නායකතුමා නිහඬයි.

ප‍්‍රශ්නය – බොරතෙල් ආනයනය නතර කළේ බැංකු ණයවර ලිපි විවෘත කිරීමට ප‍්‍රතික්ෂේප කළ නිසා නේද?

පිළිතුරු – බොරතෙල් ගෙනාවත් පෙට‍්‍රල් ගෙනාවත් බැංකු ගෙවන්න ඕනෑ ඩොලර් වලින්. ඒ වගේම බැංකුව දරන්නේ එකම අවදානමක්. එහෙම නම් බොරතෙල් ගේන්න ප‍්‍රතික්ෂේප කරනවා කියන බැංකුම පෙට‍්‍රල් ගේන්න ණයවර ලිපි විවෘත කරන්නේ ඇයි? මෙවැනි පදනම් විරහිත කතා කියන්නේ විෂය නොදන්නා අයයි.

ප‍්‍රශ්නය – දින 50ක් ඇතුළත පිරිපහදුව විවෘත කරන බවට ඔබ දුන් පොරොන්දුව ඉටු කරනවාද?

පිළිතුරු – අනිවාර්යෙන්ම ඔව්. උපරිම කාලය තමයි දින 50 කියන්නේ. ඊට කලින් අපට පිරිපහදුව විවෘත කරන්න පුළුවන් වේවි.

ප‍්‍රශ්නය – පිරිපහදුව ඇත්තටම වසා දැම්මේ අතිකාල දීමනා ගෙවන්න හැකියාවක් නොමැති නිසා ද?

පිළිතුරු – මේවා විෂය නොදන්නා අයගේ විහිළු කතා. අතිකාල දීමනා ගෙවන්නේ වැඩ කරන විටනෙ. එතකොට තෙල් වර්ග නිෂ්පාදනය වෙනවානෙ. අතිකාල පිරිවැය අපේ පිරිවැටුමෙන් 1%කටත් අඩුයි. ඒ නිසා ලැබෙන ආදායමෙන් අතිකාල
ගෙවන්න කිසිම බාධාවක් නෑ.

ප‍්‍රශ්නය – තෙල් සංස්ථාව ඉදිරියේ දී දියත් කිරීමට තිබුණු වැඩවර්ජනයක් ව්‍යර්ථ කිරීමට ඔබ පිරිපහදුව වසා දැමූ බවටත් චෝදනාවක් නැගෙනවා.

පිළිතුරු – නුදුරු දිනක පිරිපහදුව විවෘත කරනවානෙ. එතකොට ඒ අයගේ වැඩවර්ජනය දියත් කරන්න පුළුවන්නෙ. පිරිපහදුව සදාකාලයටම වසා දාලා සේවකයන් ගෙදර යැව්වා නම් ඒ තර්කයට පදනමක් තිබෙනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ගත යුතු බවට ඔබ ඇමැති මණ්ඩල රැස්වීමේදී පැවසූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

පිළිතුරු – ඒක අර්ධ සත්‍යයක්. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට අපට නිශ්චිත වැඩපිළිවෙළක් නැතිනම් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවයි මම කිව්වේ. ඒකට හේතුවක් තිබෙනවා. අපි දැන් ගියොත් යන්නේ දෙපයින් ඇවිද. එතකොට ඒ අය දාන කොන්දේසි පිළිබඳ කේවල් කරන්න පුළුවන්. නමුත් අර්බුදය පුපුරා ගිය පසු අපට යන්න සිදු වෙන්නේ දණින් වැටී. එවිට ඔවුන්ගේ කොන්දේසි සියල්ලම කේවල් නොකරම පිළිගන්න අපට සිදු වෙනවා. 1997 දී ඉන්දුනීසියාවට සිදු වුණේ එයයි. ඒ නිසා අරමුදලෙන් සහාය ලබා ගන්නවා නම් කල් මරන්නේ නැතුව වහාම ලබා ගත යුතුයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment