විශාලම කූඩාරම් නගරය වූ කැලේස් – කාටූන් කියැවීම

175

සිරියාව ප‍්‍රධාන කොටගෙන සිවිල් යුද්ධ හා දේශපාලන කි‍්‍රයාදාමයන් හේතුවෙන් තම නිජබිම් අතහැර සරණක් සොයා ජීවත්වීම සඳහා යුරෝපා රටවල් කරා සංක‍්‍රමණය වීමට තම ජීවිත පවා පරදුවට තබා අසරණයන් බවට පත්වී සරණාගතයන් ලෙස පැමිණ, ඒ ඒ රටවලට ඇතුළුවීමට අවසර ලැබෙන තෙක් තනි තනිව හෝ පවුල් පිටින්ම වසර ගණනාවක්ම අසරණ වී සිටි මිනිසුන් පිරිසකගේ දුක්ඛාංතයන් ලොවට පෙන්වා දුන් මෙතෙක් ලොව බිහිවූ විශාලතම සරණාගත කඳවුර ගැන කියැවෙන කතාන්දරයයි මේ.

කැලේස් යනු ප‍්‍රංශයේ උතුරු කොටසේ පිහිටා ඇති වරායක් වන, කැලේස් වරාය අසල පිහිටා ඇති නගරයකි. එම කැලේස් වරායෙන් බි‍්‍රතාන්‍යය දක්වා ගමන් ගන්නා පාරු සේවාවක්ද ඇත. 1994 දී කැලේස් සිට බි‍්‍රතාන්‍ය දක්වා මුහුද යටින් උමං මාර්ගයක්ද විවෘත කරන ලදී. මෙම කැලේස් නගරයේ නැගෙනහිර කොටසේ කසළ ගොඩකරන ස්ථානයක් පිහිටා තිබූ අතර බොහෝ විට එයට ගෙනත් දමා ඇත්තේ කාර්මික අපද්‍රව්‍යයන්ය. එය ”නෙවුරා 2000 ආරක්‍ෂිත ස්වභාව වනාන්තරයක්” ලෙසද නම් කර තිබුණේ එය වටා පැවැති වනාන්තරය නිසාය.

විශාලම කූඩාරම් නගරය වූ කැලේස් - කාටූන් කියැවීම
1. කැලේස් දැරිය

සිවිල් යුද්ධ ඇතිවූ බොහෝ රටවල අවතැන් වූ ජනතාව තම නිජබිම් අතහැර සරණක් සොයා සරණාගතයන් බවට පත්වී තම ජීවිතය කෙසේ හෝ ගතකිරීමට එම රටවල සිට යුරෝපා රටවලට සංක‍්‍රමණය වීමට පටන් ගත්තේය. සිරියාව, එරිති‍්‍රයාව, සෝමාලියාව ආදී රටවල සිට බෝට්ටු මගින්, දුම්රියෙන්, ලොරි රථවලින්, කන්ටේනර්වල සිරවී හෝ බොහෝ විට බොහෝ දුරක් පයින්ද ඔවුන් පැමිණි අතර ඉන් බොහෝ දෙනා බි‍්‍රතාන්‍යයේ ජීවත්වීම සඳහා ප‍්‍රංශය හරහා පැමිණියහ. එසේ පැමිණි අය බි‍්‍රතාන්‍යයට යෑමට බලාපොරොත්තුවෙන් මෙම කැලේස් කැලෑබිමේ කූඩාරම් අටවාගෙන 1990 දශකයේ සිටම ජීවත් විය. එවකට ප‍්‍රංශයේ අභ්‍යන්තර කටයුතු ඇමැති නිකොලස් සාසෝසි 2002 නොවැම්බරයේදී කැලේස් වරාය අවට වනාන්තරය මැද ”කැලෑ කඳවුරක්” ස්ථාපනය කරන ලදී. එතැන් සිට මෙය හැඳින්වූයේ ”කැලේස් කැලෑ කඳවුර” ලෙසිනි. (Calais Jungle Camp) එය ප‍්‍රංශ භාෂාවෙන් හැඳින්වූයේ Camp de la Lande යන නමිනි. 2009 අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රංශ බලධාරීන් වැටලීමක් කර පුද්ගලයන් 190 ක් අත්අඩංගුවට ගෙන කඳවුර බුල්ඩෝසර් යොදා විනාශ කළේය. එහෙත් 2009 ජූලි වන විට නැවත එම කඳවුර ස්ථාපිත වූ අතර 2009 සැප්තැම්බරයේදී පුද්ගලයන් 276 ක් අත්අඩංගුවට ගෙන නැවත කඳවුර කඩා දමන ලදී. සිරියාවේ සිවිල් යුද්ධය නිසා බොහෝ සිරියානු වැසියන් යුරෝපයට පැමිණි අතර 2014 දී නැවත කැලේස් කැලෑ කඳවුර ආරම්භ වීමට පටන් ගත්තේය. 2015 වනවිට එහි කූඩාරම් හා තාවකාලික මඩුවල 3000 ක ජනගහනයක් සිටි අතර ක‍්‍රමක් ක‍්‍රමයෙන් එය වර්ධනය විය.

විශාලම කූඩාරම් නගරය වූ කැලේස් - කාටූන් කියැවීම
2. උඩු යටිකුරු වූ අයිෆල් අටල්ල

දේශපාලන විද්‍යා උපාධිධාරියකු වන ඊජිප්තුවේ සිට සංක‍්‍රමණය වූ එක් අයෙක් ”ද ගාඩියන්” පුවත්පතට පවසා තිබුණේ ඊජිප්තුව හැර යෑමට ඩොලර් 3000 ක් ගෙවා ඇති බවත්, මුහුදේ දින ගණනාවක් ගතකරමින් තමාගේ ජීවිතය අනතුරේ දමා ඉතාලියට ගෙනගිය බවත් ඉන්පසු බොහෝ දුෂ්කරව මෙම කඳවුරට පැමිණියේ බි‍්‍රතාන්‍යට යෑමට බවත් එයට 20 වතාවක් උත්සාහ කළ බවත්ය. තවත් කඳවුරේ සිටින එරිති‍්‍රයානු කාන්තාවක් පවසා සිටියේ ඉතාලියට ඒමට පමණක් පවුම් 2500 ක් ගෙවා ඇති බවය. නමුත් ඇගේ සැමියා දියේ ගිලී මියගොස් ඇත. ඇය කෙසේ හෝ මේ කඳවුරට පැමිණ ඇත.

2014 සැප්තැම්බර් මාසයේදී ප‍්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැති බර්නාඞ් කැසිනිව්ගේ නගර සංචාරයෙන් පසු කැලේස් නගරාධිපති නටාවා බුවාර්ට් සමඟ සංක‍්‍රමණිකයන් සඳහා කැලේස් දිවා මධ්‍යස්ථානයක් සහ විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් සඳහා රාතී‍්‍ර නවාතැන් පලක් විවෘත කිරීමට එකඟ විය.

2015 ජනවාරියේදී ප‍්‍රංශ රජය විසින් ළමා නිවාඩු කඳවුරක් වූ ”ජූල්ස් ෆෙරී” මධ්‍යස්ථානය හමුදා කූඩාරම් තුනකින් සමන්විතව දිවා මධ්‍යස්ථානයක් ලෙස පිහිටු වීය. නගරය වටා ඇති අනෙකුත් සරණාගත කඳවුරු බිඳ දැමීම තුළින් සංක‍්‍රමණිකයන් මෙම ස්ථානය දෙසට තල්ලූ වූ අතර ජූල්ස් තොටුපළ මධ්‍යස්ථානය අවට ප‍්‍රදේශයේ සංක‍්‍රමණිකයන් කඳවුරු බැඳගත්තේය. කැලේස් කඳවුර අවට වනාන්තරය දක්වා වර්ධනය වූයේ මින් පසුවය.

2015 නොවැම්බර් වන විට මෙහි ජනගහනය 6000 ක් පමණ විය. කැලේස් කඳවුරේ සිටි සරණාගතයන් පිළිබඳව නොයෙක් ආයතන වලින් කරන ලද සමීක්‍ෂණයන්ගෙන් හෙළි වූයේ මෙහි සිටින 70% ක් පමණ පොලිස් හිංසනයන් අත්විඳ ඇති බවය. ශාරීරික හා ලිංගික හිංසනයන්, වාචික අපයෝජනයන් සහ කඳුළු ගෑස් සහ ගම්මිරිස් ජලය භාවිතා කිරීම් මගින් පීඩනයන්ට ලක්වී ඇති බවය. 2016 මැයි අග භාගයේදී ඇෆ්ගනිස්ථානයෙන් හා සුඩානයෙන් සංක‍්‍රමණය වූවන් 200 ත් 300 ත් අතර විශාල ගැටුමක් කඳවුර තුළ ඇතිවූ අතර ඉන් 40 දෙනකුට පමණ තුවාල සිදුවිය.

විශාලම කූඩාරම් නගරය වූ කැලේස් - කාටූන් කියැවීම
4. කඳවුරේ සිරවූ සරණාගතයන්

2016 ජූලි වන විට මෙහි ජනගහනය 7307 ක් බවට වාර්තා විය. ඉන් 761 ක් බාලවයස්කාර දරුවන්ය. ජනගහනය දිනකට 50 දක්වා වර්ධනය විය. රාජ්‍ය නොවන සංවිධාන කියා සිටියේ මෙහි 9000 ක් වාසය කරන බවය. ගණනය නොවූ අයත් සමඟ එය 10,000 සිට 12,000 ක් පමණ විය හැකි බවට ද වාර්තා විය. ”මිනිස් ජාවාරම් පදනම Human Trafficking Foundation – HTF සඳහන් කළේ කැලේස් සරණාගතයන් කෙරෙහි ප‍්‍රංශ රජයේ සහ පොලිසියේ සතුරුකම් හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ රැකවරණ ලබාගැනීමේ කි‍්‍රයාවලිය වැලකෙන බවය. කැලේස් අවට සිදුවූ සංක‍්‍රමණික මරණ ද කිහිපයක් වාර්තා විය. ලොරි රථවල පිටුපස සිරවී ඒමෙන් හුස්ම හිරවී මරණ, දුම්රියවල ගැටීමෙන්, දියේ ගිලීමෙන්, හෘදයාබාධවලින්, ජාවාරම්කරුවන් විසින් ඝාතනය කිරීම් හා දක්‍ෂිණාන්ශික අන්තවාදීන් විසින් ඝාතනය කිරීම් මීට ඇතුළත්ය. සමහරු ලොරිවලින් වැටී අබ්බගාත වී ඇත. මෙහි පානීය ජලයට තිබුණේ ජලකරාම 30 කි. පුද්ගලයන් 3000 කට වැසිකිළි 20 කි. කඳවුරේ වැඩි කොටසක් රාති‍්‍රයේ ආලෝකමත් නොවූ අතර රාති‍්‍රය නිවැසියන්ට අවදානම් විය. මෙහි ශාන්ත මයිකල් දේවස්ථානය (මෙය ඉතියෝපියානු පල්ලිය ලෙස හැඳින්විනි) ප‍්‍රථමයෙන් ඉදිකළේ 2014 නොවැම්බර් වලදීය. ලී, ටකරං, ගෝනි, ටෙන්ට් රෙදිවලින් ඉදිකර තිබූ මෙය 2015 අපේ‍්‍රල් මාසයේදී දල්වන ලද ඉටිපන්දමක් හේතුකොට ගෙන ගිණිගෙන විනාශ විය.

රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම, ප‍්‍රංශ ස්වේච්ඡුා සංවිධාන සහ විදේශ සංවිධාන 56 ක් සරණාගතයන්ට උදව් කිරීමට අවස්ථාව ලබාගත් අතර සරණාගත ප‍්‍රජා කුස්සිය, කැලේස් මුළුතැන්ගෙය, බෙල්ජියම් මුළුතැන්ගෙය, කැලේස් සරණාගතයන් පිළිබඳ තොරතුරු බස්රථය, ද්‍රව්‍යමය ආධාර, නීති ආධාර, සනීපාරක්ෂක දෑ, බෙහෙත් වර්ග සහ අධ්‍යාපනික සේවාවන්ද මේ අතර ප‍්‍රධාන විය. Jungle Books, Ecolelaique, Chemins des Dunes, Edlumino විසින් කාන්තා හා ළමා මධ්‍යස්ථාන, සරණාගත තරුණ සේවය, කාන්තා ළමා විශේෂඥ වෛi සේවය ලබාදුනි. රාජ්‍ය නොවන සංවිධාන විසින් බොක්සිං කී‍්‍රඩා ගාරයක්, ගුඞ්චාන්ස් නමින් රඟහලක්ද ඉදිකර දී ඇත. ඒ අතර ළමා පුස්තකාලයක් ද විය.

2016 ජනවාරියේදී ප‍්‍රංශ බලධාරීන් කැලෑවේ ඊසාන කොටසේ කූඩාරම් හා පැල්පත් ඉවත් කර එහි කන්ටේනර් 125 ක් යොදා ජනේල, හීටර්, ගලා යන නළ ජලය ආදියෙන් සමන්විත නිවාස සමූහයක් ඉදිකළේය. එම ප‍්‍රදේශය ලෝහ වැටකින් වටකොට ඇතුළුවීමට ඇඟිලි සළකුණු මගින් ඇරෙන දොරක් යොදා තිබිණි.

”ඩබ්ලින් රෙගුලාසිය” (Dublin Regulation) යටතේ සරණාගතයන් යුරෝපා සංගම් සාමාජික රටවල් තුළ රැකවරණ ලබාගන්නේ නම් මුලින්ම තම ඇඟිලි සළකුණු ලබාදිය යුතුය. සමහර සරණාගතයන් සිතුවේ තම ඇඟිලි සළකුණු ප‍්‍රංශයේදී ලබා ගත්තොත් බි‍්‍රතාන්‍යයට යෑමට නොහැකි වේ යැයි කියාය. ඒ නිසා සමහරු මෙම කන්ටේනර් නිවෙස් තුළට යෑමට කැමැති වූයේ නැත.

සංක‍්‍රමණිකයන්ට ආධාර කිරීමට කලාකරුවන්, ප‍්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක්මද ඉදිරිපත් විය. ජෑස් ඔ’හාරා (Jaz O’hara) යනු බි‍්‍රතාන්‍ය ජාතික මානවහිමිකම් ආරක්‍ෂිකාවියකි. ඇය ජාත්‍යන්තර සරණාගතයන්ගේ ආධාරක ක්‍ෂේත‍්‍රයේ සේවය කරන ලෝක ව්‍යාප්ත ගෝති‍්‍රක පුණ්‍යායතනයේ සම නිර්මාතෘවරියයි. 2015 ගිම්හානයේදී ඇය සිය පෙම්වතා සමග කැලේස් හි සංචාරය කළ අතර සිය Face Book සටහනක් මගින් ආධාර එකතු කිරීමට තීරණය කළ අතර එයට දින දෙකක් ඇතුළත ප‍්‍රතිචාර 60000 ක් ලැබිණ. ඔ’හාරා තවත් අය සමග එකතුවී “Cal Aid” බැනරය යටතේ සති කිහිපයක් තුළදී පවුම් 15,000 ක් එකතුකොට එම මුදලින් ගත් බඩු භාණ්ඩ ලන්ඩනයේ සිට රථ 40 ක් මගින් කැලේස් වෙත ගෙන ගියේය.

රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන ඩොන් ඕ ප්‍රෝටන් හා බි‍්‍රතාන්‍යයේ ජාතික වාණිජ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වන “Radio X” හි වැඩසටහන් ඉදිරිපත් කරන ලිලියනා බර්ඞ්, ජොසික් නිව්ටන් සමග ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළින් පරිත්‍යාග අරමුදල් රැස්කර කැලේස් හි ජනතාවට පහසුකම් ලබාදුනි. 2015 දී බැන්ක්සි (Banksy) විසින් කැලේස් කඳවුරේදී ”සිරියාවේ සිට සංක‍්‍රමණිකයකුගේ පුත‍්‍රයා” (The Son of a Migrant syria) නම් බිතු සිතුවමක් නිර්මාණය කළ අතර එහි ”ස්ටීව් ජොබ්ස්”ව සංක‍්‍රමණිකයකු ලෙස නිරූපනය කළේය. 2016 පෙබරවාරියේදී නාට්‍ය රචක ටොම් ස්ටොප්පර්ඞ්, නළු ජූඞ් ලෝ, ටොම් ඔඩෙල් සහ ටොබී ජෝන්ස් විසින් කඳවුර තුළ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කළේය.

කැලෑව අසලදී සංක‍්‍රමණිකයන්ට පහරදීම් අවස්ථා කිහිපයකදී වාර්තා විය. සංක‍්‍රමණ විරෝධී ව්‍යාපාරවලට අයත්, යකඩ පොලූ, විදුලි බැටන් පොලූවලින් සන්නද්ධ වී සිටි හත්දෙනෙක් 2016 පෙබරවාරි 10 දින ලූන්-ප්ලේජ් හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ සංක‍්‍රමණිකයන්ට පහරදීම හේතුවෙනි. 2016 පෙබරවාරි 22 දින සංක‍්‍රමණිකයන්ට පහර දුන් බවට සැකපිට තවත් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. මාර්තු 9 වන දින අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනා අවම වශයෙන් සංක‍්‍රමණිකයන්ට හත් වතාවක් පහර දුන් බවට වාර්තා විය.

2016 සැප්තැම්බර් 5 වැනි දින ට‍්‍රක්රථ රියැදුරන්, දේශීය ගොවීන්, වෘත්තීය සමිතිකරුවන් කඳවුරේ පදිංචිකරුවන්ට විරෝධය පෑ අතර කැලේස් වරායට යන මාර්ගය ලොරි හා ට‍්‍රැක්ටර් යොදා අවහිර කළේය. ඔවුන් ඉල්ලා සිටියේ මෙම කැලෑ කඳවුර වසා දමන ලෙසය.

මෙම කඳවුරේ දකුණු කොටස කඩා ඉවත් කිරීමට 2016 පෙබරවාරි 25 වන දින ලිලී හි උසාවියෙන් ප‍්‍රංශ රජයට අනුමැතිය ද ලැබී තිබුණි. කඩා දැමිය යුතු කොටස හෙක්ටයාර් 7.5 ක් විය. පුණ්‍යායතන විසින් එය නැවැත්වීමට උසාවියට පෙත්සම් ඉදිරිපත් කළේය. පෙබරවාරි 29 දා රාති‍්‍රයේ දැඩි පොලිස් රැුකවරණ මැද කඳවුරේ එම කොටස කඩා දැමූ අතර ගැටුම් ද ඇති විය. සමහරු ගිණි තැබීම් ද කළ අතර දේශසීමා තහනම්කරුවන් තිදෙනකු සහ තවත් අයකු අත්අඩංගුවට පත්විය.

2016 සැප්තැම්බරයේදී ප‍්‍රංශ අභ්‍යන්තර ඇමැති ”බර්නාඞ් කැසිනොව්” නිවේදනය කළේ කැලේස් හි උතුරු කොටස විසිරුවා වසර අවසානයේදී කඳවුර මුළුමනින්ම වසා දමන බවය. 2016 ඔක්තෝබර් 24 වැනිදා ප‍්‍රංශ රජය විසින් වහා ඉවත් කිරීම ආරම්භ කළේය. බස් 170 කට සංක‍්‍රමණිකයන් 6400 ක් කැලේස් වෙතින් ප‍්‍රංශයේ තාවකාලික පිළිගැනීම් මධ්‍යස්ථාන 280 ක් වෙත ගෙන යෑමට සැලසුම් කර තිබිණි.

දුම්රිය මගින්ද සමහර සරණාගතයන් ග‍්‍රෑන්ඞ් සින්ක් හි කඳවුරට මාරු කළේය. මේ අතර බොහෝ අය උතුරු ප‍්‍රංශය පුරා පිහිටි ග‍්‍රාමීය ප‍්‍රදේශවලට අවිධිමත් ලෙස පළා ගියේය. 2016 දී ”ලාමොන්ඩේ” පුවත්පත වාර්තා කළේ බාලවයස්කාර සරණාගතයන් 1937 ක් මෙහි සිටි බවය. අතරමං වී ඇති ළමයි 468 ක් පමණ එක්සත් ජනපදය පිළිගෙන ඇත.

කැලේස් කඳවුර සම්පූර්ණයෙන්ම කඩාබිඳ දමා අයින්කළ පසුත් ඒ අවට නැවතත් සංක‍්‍රමණිකයන් 500 ක් පමණ ජීවත්වෙන බවට වාර්තා වී ඇත. මේ අතර එම ප‍්‍රදේශය ස්වාභාවික රක්‍ෂිත කැලයක් බවට පත්කර ඇත.

2017 දී අයි වයිවේයි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “Human Flow” චිත‍්‍රපටයේ සමහර දර්ශන කැලේස් කඳවුරේදී රූගත කර ඇත. පූජා පුරි විසින් 2017 දී ප‍්‍රකාශයට පත්කරන ලද “The Jungle” නම් නවකතාව කඳවුරේ සිටි යෞවනයකුගේ සැබෑ ජීවිත කතාව විය. 2019 දී සෙබස්තියන් ෂිපර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “Roads” නම් චිත‍්‍රපටයේ කැලේස් කඳවුරේ පසුබිම හා කැලේස්හි රාජ්‍ය නොවන සංවිධානවල සේවාවන්ද ඇතුළත් විය. 2017 දී කේට් එන්ස්ගේ ග‍්‍රැෆික් නවකතාවක් වන “Threads From The Refugee crisis” හි කැලේස් කඳවුරේ ස්වේච්ඡා සේවකයන්ගේ වැඩ සහ උතුරු ප‍්‍රංශයේ අවතැන් කඳවුරුවල බැඳීම් සහ කඳවුරුවල පදිංචිකරුවන්ගේ අන්තර් කි‍්‍රයා නිරූපණය කරයි. 2017 දී නිකොලස් ක්ලොට්ස් සහ එලිසබෙත් පර්සිවෙල් විසින් කැලේස් කඳවුර ගැන “The wild Frontier” නමින් විනාඩි 225 ක වාර්තා චිත‍්‍රපටයක් නිපදවන ලදී. 2015 දී නදීන් ගෞරි විසින් ලියන ලද “The Lightless sky” නම් කතාව ඇෆ්ගනිස්ථානයේ සිට එක්සත් රාජධානිය දක්වා ගිය දොළොස් හැවිරිදි සරණාගත දරුවකු වූ ”ගුල්වාලි පසලේ” ගේ මතක සටහන් සහිත සත්‍ය කතාවකි. මේ ආකාරයෙන් මෙම කැලේස් කඳවුර හා එහි ජීවත් වූවන් පිළිබඳව තවත් බොහෝ නිර්මාණ බිහිවී ඇත.

කොපමණ වැටකඩොලූ දැමුවත් සරණාගතයන්ව එම රටවලට පැමිණීම නවතාලීමට නොහැකි වී ඇති අතර ඔවුන්ට රැුකවරණ දීමට මානුෂික හේතු මත ඒ ඒ රටවල් කි‍්‍රයාකරයි. ඒ අතරම ලොව පවතින ගැටුම් තත්ත්වයන් අනුව ලොව තිබූ විශාලතම සරණාගත කඳවුර වූ මේ කැලේස් සරණාගත කඳවුර වැනි කඳවුරු බිහිවනු ඇත.

1 – පීට් ක‍්‍රයිනර් (Pete Kreiner) ඕස්ටේ‍්‍රලියානු ජාතික කාටුන් ශිල්පියෙකි. සංකේතාත්මක චිත‍්‍ර මගින් කාටුන් ඉදිරිපත් කරන ඔහුගේ මේ කාටුනය නම් කර තිබුණේ ”කැලේස් කැලෑ දැරියගේ ප‍්‍රතිමූර්තිය” යන නමිනි. මෙම කාටූනයේ පෙන්වාදී ඇත්තේ හිජාබය (Hijab) පැළඳ ඇති දැරියකි. සිරියාවේ ඇෆ්ගනිස්ථානයේ සහ තවත් සමහර රටවල කාන්තාවෝ හිජාබය පළඳිති. කාටුනයේ දැක්වෙන දැරියගේ මුහුණ හරහා කටුකම්බි දෙකක් දක්වා ඇත. එයින් ඇය කටු කම්බි වලින් වටකරන ලද කඳවුරක දිවි ගෙවන බව පෙන්වාදී ඇත. බලන්න ඇගේ ඇස් දෙක සහ මුව කාටුන් ශිල්පියා ඇඳ ඇත්තේ කම්බි වැටේ කටු තුනක් ලෙසය. මින් මෙම දැරියගේ කඳවුරු ජීවිතයේ දුක්ඛාංතය ලොවට පෙන්වාදී ඇත.

  1. මෙක්සිකොවේ කාටුන් ශිල්පී ඇන්ටෝනියෝ රොඞ්රිගස් ගාර්සියා (Antonio Rodriguez Garcia) ගේ කාටුනයේ ප‍්‍රංශයේ අයිෆල් අටල්ල ඔළුවෙන් සිටුවා ඇත. එහි පාදයන්හි සම්බන්ධ කර ඇති ලනු දෙකක් පැසකට සම්බන්ධ කර ඇති අතර එම පැස කැලේස් calais යනුවෙන් සඳහන් කර ඇත. පැස තුළ සිටින්නේ කැලේස් හි සරණාගතයන්ය. ප‍්‍රංශයේ සංකේතය මෙසේ පෙන්වා දීමෙන් කාටුන් ශිල්පියා කියා සිටින්නේ ප‍්‍රංශයේ තත්ත්වය මේ කැලෑ කඳවුර නිසා උඩු යටිකුරු වී ඇති බවය.
  2. ප‍්‍රංශ ජාතික කාටුන් ශිල්පි චෞනු (Chaung) ගේ කාටුනයේ දැක්වෙන්නේ ප‍්‍රංශ නිලධාරියකු හා ප‍්‍රංශ පොලිස් නිලධාරීන් හා කැලේස් කැලෑ කඳවුරේ සරණාගතයන් අතර හමුවීමකි. පසෙකින් කඳවුර කඩා දැමීමට ගෙන්වා ඇති කැටපිලර් යන්ත‍්‍රයක් ද දක්වා ඇත. නිලධාරියා පිරිසට කියනවා… ”අපේ මානුෂීය කණ්ඩායම ඔබලා ගැන බලාගනීවි” (ප‍්‍රංශ භාෂාවෙහි) කියා. නිලධාරියා කියන්නේ කඳවුර ඉවත් කිරීම මානුෂීය දෙයක් කියාය. එය සත්‍යයක් දැයි කාටුන් ශිල්පියා නගන පැනයයි.
  3. හනී අබ්බාස් (Hani Abbas) සිරියානු ජාතික කාටුන් ශිල්පියකු වන අතර ඔහු දැන් පලස්තීනයේ වාසය කරයි. අබ්බාස්ගේ කාටුනය නම් කර තිබුණේ ”යුරෝපයේ සරණාගතයන්ගේ අර්බුදය” යනුවෙනි. කාටුනයෙන් සංකේතවත් කර පෙන්වාදී ඇත්තේ සරණාගත කඳවුරක කම්බි වැටකට සිරවී සිටින සරණාගතයන් සමූහයකි. තමා උපන් රටේ සුන්දරත්වය නිදහස ඔවුනට කිසි දිනක නොලැබෙනු ඇත. එයයි සත්‍යය.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment