විශේෂ බද්දට ඇතුළත් කරන භාණ්ඩ දැන්ම කියන්නේ නෑ – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ

103

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සඳහා ඇතුළත් කරන භාණ්ඩ ගැන තමා දැන්ම හෙළිනොකරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

එම භාණ්ඩ දැන්ම හෙළිකිරීමෙන් අවාසිදායක බලපෑමක් ඇතිවිය හැකි බවද මුදල් ඇමැතිවරයා පෙරේදා (13දා) උදේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කීවේය.

ඉතා ඉක්මණින් එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකරන භාණ්ඩ සහ ඉන් නිදහස් කරන භාණ්ඩ මොනවාද යන්න දැනගැනීමට ලැබෙනු ඇති බවත් එසේම ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවලට මේ බද්ද අය නොකරන බවට තමාට සහතික විය හැකි බවත් බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා කීවේය.

මේ බද්ද 2022 ජනවාරි 01 දින සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවත් ඒ සඳහා බදු අයකර ගන්නා ක්‍ෂේත‍්‍ර කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඇමැතිවරයා කීවේය.

තමා දේශපාලනඥයකු ලෙස එම බදු අයවන භාණ්ඩ හෙළිකිරීමට කැමැති වුවත් ඊට ඇතුළත් කරන භාණ්ඩ මොනවාද යන්න මුදල් ඇමැතිවරයා ලෙස නොකියන ලෙස තමාට උපදෙස් ලැබී ඇති බවද මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා කීවේය.

එසේම මොන ආකාරයකින්වත් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැති බවද ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කිරීමට පුළුවන්කමක් නැති බව තමා වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment