විසම්මුතියට ඇති අයිතිවාසිකම

1061

ඇඳිරිනීතිය දමා වාරණ නියෝග ගෙන කඩාකප්පල් නොකළොත් අද පැවැත්වෙන මහජන උද්ඝෝෂණය බෙහෙවින්ම සාර්ථක වනවා ඇත. මහජන උද්ඝෝෂණයක් කඩාකප්පල් කළ හැකි මර්මස්ථාන කිහිපයක් තිබේ. විරෝධයට ජනයා රැස්වන තැනදී පහරදී ඔවුන් එළවා දමා විරෝධතාව කඩාකප්පල් කළ හැක. විරෝධතාව පැවැත්වෙන තැනට මහජනයා පැමිණෙන විට ඔවුන් එන බස්වලට හෝ පෙළපාලිවලට පහරදී එය කඩාකප්පල් කළ හැකිය. මේ සියලු බාධක බිඳගෙන මිනිසුන් තිස් හතළිස්දාහක් එක තැනකට රැස්වුණු විට එම රැස්වීමේ බලය පරමාණු බෝම්බ භාගයක බලයට සමාන ය. අපේ රටේ මිනිස්සු ගිනිගහන ප්‍රශ්න මාලාවක් හිස් මත තබාගෙන මාස ගණනාවක් ඉවසූහ. මිනිසුන් ඉවසන ක්‍රමවේදයක් තිබේ. පළමුකොට ඔවුහු ඉවසීමේ සීමාවට ඉවසති. දෙවනුව ඒ සීමාව ඉවර වෙන තැන යළි ඉවසති. තෙවනුව ද එසේමය. එහෙත් මේ සෑම ඉවසීමේ කඩඉමකදීම කිසියම් පිරිසක් ඉවසීම අත්හරිති. එසේ ඉවසීම අත්හරින මිනිස්සු ස්වකීය ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා හිංසාවාදය මෙන්ම අහිංසාවාදය ද තෝරා ගනිති.

හිංසාවෙන් කළ හැකි මඟුලක් නැත. අහිංසාව ඊට වඩා බලවත් ය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එම පදවිය අත්හැර යා යුතු බව මෙයට දෑ අවුරුද්දකට පෙර බලගතු ගෝඨාභයවාදීන් වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 47 දෙනෙක් අද කියති. මේ පිරිස ඉවසීමේ සීමාව අත්හළ මිනිස්සු වෙති. අද කොළඹට රැස්වන සියලු ජනතාව ඉවසීම අත්හැර මේ රටේ සමස්ත ජනතාවගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින පිරිසකි. මේ මිනිසුන්ට පහර නොදෙන ලෙස පොලිසියෙන් මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ මිනිසුන්ට වෙඩි නොතබන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම අනෙකා කුපිත නොකර සිය විරෝධතාව සාධාරණ ලෙසත් බලපෑම් සහගත ලෙසත් කඩාකප්පල්කාරී නොවන ලෙසත් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලමු. මේ විරෝධතාව සෙනසුරාදා දවසක සංවිධානය කරන ලද්දේ ජන ජීවිතය කඩාකප්පල් නොවනු පිණිසය. තමන්ට අනභිමත අදහස බැහැර කරනු සඳහා පෙනී සිටීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනතාවට ඇත. අද පැවැත්වෙන විරෝධතාව එවැනි විසම්මුතියකට ජනතාවට ඇති අයිතිවාසිකම ය.

මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට ඇති කිසිදු ප්‍රශ්නයක් විසඳා නැත. දැනට විසඳෙමින් පවත්නා එකම ප්‍රශ්නය වූ කලී පසුගියදා ගිනිතබන ලද දේශපාලනඥයන්ගේ නිවාසවලට වන්දි ලබාදීමය. කොටසක් වන්දි ගන්නා අතරේදී තව කොටසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී තිබේ. තෙල් පෝලිම්වල සිටි 17 දෙනකු පමණ මේ වනවිට මියගොසිනි. තෙල් නැතිව එදා වේල පිරිමසා ගැනීමට බැරි වූ ලක්‍ෂ ගණනක් නන්නත්තාර වී ගොසිනි. සෙසු ආසියාතික රටවල් හා සාපේක්‍ෂව බලන කල ආණ්ඩුවේ හැසිරීම ඉදිරියේ අපේ ජනතාව හැසිරෙන ආකාරය ඉතාම යහපත්ය.

මේ මොහොතේදී ලිබියාව තුළ ද අපේ රටේ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න තිබේ. ඒ රටේ උද්ධමනය ඉතා ඉහළය. ජනයාට කෑම නැත. සමහර තැනක පාන් රාත්තලක් ගැනීම සඳහා දවස් භාගයක් වැඩ කළ යුතුය. ලිබියාව යනු ඛනිජ තෙල් නිපදවන රටකි. එහෙත් ඒ රටේ මේ මොහොතේදී තෙල් හිඟයක් ඇත. එයට හේතුව ඒ රටේ තෙල් ළිං සියල්ලම ඇමරිකාවට සහ යුරෝපයට අයත් වීමය. ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් සමූහයක් දිගින් දිගටම ලිබියාවට බෝම්බ දමා එය අත්පත් කරගෙන මුවම්මර් ගඩාෆි ද මරා දැමූහ. ඉන්පසු ඇමරිකාවේ වුවමනාවට ලිබියාව තුළ භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලදී. මේ භාරකාර ආණ්ඩුවෙන් පසු ලිබියාව මෙයට අවුරුදු සිය ගණනකට පැවතියාක් මෙන් කුඩා ගෝත්‍රික රාජ්‍ය සමූහයකට කැඩී ගියේය. ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානයට කළේත් මෙයමයි. තලේබාන් සංවිධානය එරට අල්ලාගත් අවස්ථාවේදී ඇමරිකානුවෝ එරටට බෝම්බ දමා යුරෝපයට ගැති හමීඩ් කර්සායි නමැති ජනාධිපතිවරයා පත් කළේය. ඉන්පසු ඇෆ්ගනිස්ථානය ද කැබලි විය. මේ මොහොතේදී ඇෆ්ගනිස්ථානයේ ප්‍රශ්නයට වඩා ලිබියාවේ ප්‍රශ්නය වඩාත් දරුණුය. ලිබියා ජාතිකයෝ පීඩනය ඉවසාගත නොහැකිව පසුගියදා පාරට බැස්සාහ. ඉන්පසු ඔව්හු රටේ පාර්ලිමේන්තුව ගිනි තැබූහ. මෙය නොම්මර එකේ ගොන් වැඩකි. පාර්ලිමේන්තුවක් ගිනි තැබුවේ යැයි කියා තෙල් මිල නොබසී, ආහාර මිල පහත නොයයි, කෙත් වතුවලින් වැඩි අස්වැන්නක් නොඑයි.

මේ සියල්ල ඇත්තය. එහෙත් ජීවන බර සහ මානසික ආතතිය නිසා පීඩාවට පත් ජනයා එක්තරා අවස්ථාවකදී තමන් කරන කියන දෙයින් ඇති විය හැකි පසු ඵලය ගැන නොසිතයි. පසුගිය දවසක පොලොන්නරුවේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියගේ හිසට පොරවෙන් ගසා මරා දමන ලදී. මේ සිද්ධිය ගැන ඇගේ සැමියා බොහෝ දුක් විය. වෙනකක් තබා ඔහු රූපවාහිනි නාලිකා ඉදිරියේ හඬා වැළපුනේය. අන්තිමේදී පොලිසිය විසින් ප්‍රශ්න කරගෙන යනු ලබද්දී හෙළිවූයේ බිරිඳගේ මිනීමරුවා ඇගේම සැමියා වූ බවය. මේ සිද්ධියේ වරද තනිකරම ඇත්තේ සැමියා අත බව බැලූ බැල්මට පෙනෙයි. හරි හෝ වැරැදි හෝ ඔහු එය සිදුකර ඇත. හිතට ආවේගය ආ අවස්ථාවේදී දුරදිග බැලූ ඔහු මේ මිනිමැරුම සිදු කරන්නේ තමන්ට බේරීමට අවස්ථාවක් ඇති බව සිතමිනි. මේ වූ කලී මනුෂ්‍ය චිත්තය ක්‍රියාකරන ආකාරයයි. අද උද්ඝෝෂණය සඳහා රැස්වන ජනතාව ද කුපිත කරනු ලැබුවහොත් ඉතා භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට රටට සිදුවෙයි. එබැවින් මේ භාරදූර අවස්ථාවේදී උද්ඝෝෂණකරුවන් සාමකාමී ලෙස කළමනාකරණය කරගන්නැයි අපි ආරක්‍ෂක අංශවලින් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment