ප්‍රවීණ පරිවර්තක දැදිගම වී. රුද්‍රිගු සූරීන් අතින් සිංහලයට නැගී මෙරට රුසියානු සාහිත්‍ය ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතොව්ගේ ‘The First Teacher’ හෙවත් ‘ගුරු ගීතය’ මෑතක දී සිනමාවේදී උපාලි ජයලත් අතින් සිනමා නිර්මාණයක් බවටත්, පුවත්පත් කලාවේදී විදුර අබේනායක අතින් වේදිකා නාට්‍යයක් බවටත් පත්වී ය.
එම අපූරු නවකතාව ප්‍රතිභාපූර්ණ නාට්‍ය නිෂ්පාදකයකු වන සුමුදු පතිරාජ අතින් මේ වනවිට සංගීත ඔපෙරාවක් බවට පත්ව තිබේ. එම ‘ගුරු ගීතය’ සංගීත ඔපෙරාව ලබන 11 වැනිදා සවස 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී මෙරට රසික ප්‍රජාව වෙත පිරිනැමෙයි. මෙම සංවාදය ඒ නිමිත්තෙනි.

‘ගුරු ගීතය’ ඔපෙරාව ගැන අපට කෙටියෙන් කියන්න….

විස්මිත සංගීතාස්වාදයක වින්දනීය අත්දැකීම ගුරු ගීතය ඔපෙරාව

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය බලගන්වන්නට ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ම නිපදවන ලද සිංහල සහ රුසියානු භාෂා සම්මිශ්‍රණයකින් යුත් රුසියානු ඔපෙරාවක් කියා එය කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. රුසියාවෙන් පිටත දී පැවැත්වෙන විස්මිත සංගීතාස්වාදයක් ලබාගත හැකි ද්විභාෂික පළමු සිංහල-රුසියානු ඔපෙරාවත් මෙය යි.

‘ගුරු ගීතය’ ඔපෙරා ලිබ්‍රතෝව රචනා කිරීමට පසුබිම් වූ වාස්තවික තත්ත්වයන් මොනව ද?

සිංහල ඔපෙරා කලාව ආරම්භ වුණේ එහි පුරෝගාමියා ලෙස සැලකෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙතින්. ඔහු අතින් ‘දොරමඬල’, ‘සොඳුරු වර්ණ දාසී’ සහ ‘අග්නි’ වැනි දැවැන්ත සිංහල ඔපෙරා නාට්‍ය කිහිපයක් ම වේදිකාගත වුණා. ඉන්පසුව සිංහල ඔපෙරාව පිළිබඳ සමාජ අවධානය ගිලිහී ගියා. ඒ නිසා, එවන් නිර්මාණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව තදින් ම දැනෙන මොහොතක තමයි ‘ගුරු ගීතය’ ඔපෙරාවේ ලිබ්‍රතෝව ලියවෙන්නෙ.

‘ගුරු ගීතය’ සංගීත ඔපෙරාවක් සඳහා තෝරාගන්න ඔබ අදහස් කළේ ඇයි?

මගේ දෙවන ගුරු ගෙදර තමයි රුසියාව. මගේ රැකියාව ගුරු වෘත්තිය. ගුරු සිතත්, සිසු සිතත් යා කරන පාලම වෙන්නේ අධ්‍යාපනය යි. තමන්ගේ ඉහ මොළ පෑදූ ගුරුවරු වෙනුවෙන් තම මෙහෙවර ඉටුකිරීමට ඔවුන්ගෙන් ඉගෙන ගත් දරුවන් අසමත් වීමත්, ඒ යුතුකම් සහ වගකීම් පිළිබඳව සියුම් වටිනාකම් අපට ලබාදුන් ‘ගුරු ගීතය’ නවකතාව කියවූ අපෙන් ඒ උතුම් සාරධර්ම ගිලිහී යෑමත්, එමගින් චිංගීස් ආත්මාතොව් සාහිත්‍යයට ලබාදුන් ඒ අපූරු ආලෝක කදම්භය අපට හරිහැටි උකහාගන්නට නොහැකි වීමත් මෙම තෝරා ගැනීමට හේතු වූ මූලික කාරණා කීපයක්. ඒ වගේ ම ආත්මාතොව්ගේ සිත තුළ කැකෑරෙන නිර්මාණාවේගයන් සිතුවම් කරන්නට ඔහු කරන අරගලය තුළින් ජීවමාන කලාකරුවකු අපට මුණගස්වන බව මට වැටහී ගියා. තව ද, ‘ගුරු ගීතය’ නවකතාවේ අපට හමුවන ‘පොප්ලර් ගස් දෙක’, ‘නැන්දා සහ සයිකාල් අතර සිදුවන මහා විවාදය’ ප්‍රබල යුග ගායනාවන් බවටත්, එහි එන ‘ලෙනින්ගේ මරණය’ විලාපාත්මක සමූහ ගායනයක් ලෙසත්, ‘කළු ගැහැනිය’, ‘සුලයිමානවා’, ‘අල්තීනායි’, ‘නැන්දා’, ‘කරතන්බායි’ වැනි ප්‍රධාන චරිත දීර්ඝ ඒකල ගායනාවන් ලෙසත් ඉදිරිපත් කළ හැකි බව හඳුනාගන්නට හැකිවීමත් මෙම තෝරාගැනීමට හේතු වූ අනෙකුත් කාරණා වෙනවා.

‘ගුරු ගීතය’ ඔපෙරාව නිර්මාණය කිරීමේ දී මුල් කෘතියේ නිරූපිත පරිසරය සහ චරිත ඔබේ ඔපෙරාවට උකහා ගැනීම සඳහා කුමන විදිහේ උපායමාර්ග ද ඔබ භාවිත කළේ ?

ඔපෙරාවකට මූලික වෙන්නෙ ගායනාවන්. ඒවා විවිධාකාරයි. ලිබ්‍රතෝව ලිවීමේ දී මා සැලකිලිමත් වුණේ ඒ විවිධ ගායනා විලාසයන් පිළිබඳව යි. උදාහරණ ලෙස මා මුලින් ද සඳහන් කළ ආකාරයට එහි එන සමහරක් දෑ ප්‍රබල යුග ගායනාවන් (Duo) ලෙසටත්, තවත් සමහරක් සමූහ ගායනාවන් (lament) ලෙසටත් නිර්මාණය කළා. ඊට අමතරව ඒ අතරට නාටකීය භාෂණත් එක්කළා.

විස්මිත සංගීතාස්වාදයක වින්දනීය අත්දැකීම ගුරු ගීතය ඔපෙරාව

විශේෂයෙන් ම රුසියානු සාහිත්‍ය කෘතියක් සන්ධ්වනියකට නැගීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ ඊට ම ආවේණික සංගීත සම්ප්‍රදායක් ඒ සඳහා භාවිත කළයුතු වන නිසා. මේ අභියෝගය ඔබ ජයගත්තෙ මොන විදිහට ද?

මුලින් ම මෙහි සංගීත සංරචනය සඳහා සංගීතවේදියකු සොයා යන්න මට සිදු වුණා. රුසියානු භාෂණ අඬහැර පුහුණුව සඳහා පැමිණ සිටි අය අතරේ සිටි තරුණ සංගීතවේදියකු වන පෘථිවි විජේසිරි මේ අභියෝගය භාරගන්න කැමැත්ත පළ කළා. ඒ වන විට රුසියානු වචන උච්චාරණය ඔහු ඇතුළු කණ්ඩායමට මා උගන්වා තිබුණා. පළමුවෙන් ම ඔහුට මා ලබාදුන්නේ ‘සුලයිමානවා’ ගීතය යි. ඉන් අනතුරුව යි ඔහුට ඔපෙරාවේ සංගීත සංරචනයට මා ආරාධනා කළේ. ලිබ්‍රතෝව ඉල්ලා සිටින භාවයන් සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු සමත් වුණා.

සිංහල සහ රුසියානු භාෂා දෙකෙන් ම මෙම ඉදිරිපත් කිරීම් සිදුකරන්නට ඔබ තීරණය කළේ ඇයි?

ඔපෙරාවක භාෂාව සංගීතය යි. නමුත්, මිනිස් හඬ තුළින් එම සංගීතය උපදවා ගන්නට අප කතා කරන භාෂාව මෙවලමක් සේ භාවිත කළයුතු වෙනවා. සිංහල භාෂාවෙන් ඔපෙරාමය ගායනයන් පුහුණු කරන බොහෝ අවස්ථාවල දුරවබෝධ කාරණා පැහැදිලි කරන්නට කේමදාසයන් විවිධ උදාහරණ ගනිමින් සමහරවිට එහි එන දෙබස් ඉංග්‍රීසි බසින් උච්චාරණය වන ආකාරය නිරූපණය කරමින් පැහැදිලි කළ සැටි අපට මතක යි. සංගීතය සංරචනය කරනවාට වඩා වැඩි කාලයක් හා ශ්‍රමයක් ඔහුට වැය කරන්නට සිදුවුණේ, එවැනි පැහැදිලි කිරීම් තම නිරූපණ ශිල්පීන්ට කියා දෙන්නට යි. ඒ අත්දැකීම්වලින් මා උගත් කාරණය වන්නේ ඔපෙරා ශිල්පියකු භාෂා කීපයක් උගත් අයකු නම්, තම මව් භාෂාවෙන් කරන එවැනි ඔපෙරාමය ගායනාවන් වඩා උසස් ලෙස ඉදිරිපත් කරන්නට ඔහුට හැකිවන බව යි. බොහෝ විට රුසියානු මෙන් ම, අන් භාෂා කතා කරන අතිදක්ෂ ඔපෙරා ගායක ගායිකාවන් පවා වසර කිහිපයක් ඉතාලියේ ගතකරමින් ඉතාලි භාෂා භාවිතය හුරුකර ගන්නේ තම ඔපෙරාත්මක ගායනය වඩාත් මටසිළුටු කර ගන්නට එයින් හැකියාව ලැබෙන බැවිනුයි. ඒ වගේ ම, නව භාෂාවක හැඩතල දරුවන්ට සහ වැඩිහිටියන්ට හඳුන්වා දෙන්නට පටන් ගත් කාලයේ සිට ඔවුන් ඉතා ප්‍රියජනක ලෙස තමන්ගේ භාෂා ඥානය වර්ධනය කර ගන්නට දක්වන උනන්දුව සහ දක්ෂතාව මා සියැසින් දැක තිබෙනවා. එවැනි කාරණා නිසයි මෙම ඔපෙරා ලිබ්‍රතෝව සිංහල සහ රුසියානු භාෂා දෙකෙන් ම නිෂ්පාදනය කරන්නට අදහස් කළේ.

සිංහල භාෂාවෙන් ඔපෙරා නිෂ්පාදනය කළයුතු යැයි තීරණය කරන්නට ඔබට කිසියම් විශේෂ හේතුවක් තිබෙනව ද?

සත්තකින් ම ඔව්! අන්තර්ජාලයේ සැරිසරන විටෙක දුටු සටහනක් මට මෙහි දී මතක් වෙනවා. එහි මෙහෙම කියා තිබෙනවා. ලෝකේ තියෙනවා අකුරු සහිත හා අකුරු රහිත කියලා භාෂා වර්ග දෙකක්. ජර්මන් භාෂාවට, ප්‍රංශ භාෂාවට අකුරු නෑ. ඉංග්‍රීසි, ජර්මන් හා ප්‍රංශ අය භාවිත කරන්නේ රෝමන් අකුරු. හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ. සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා, හැබැයි අකුරු නෑ. සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්. හින්දි, ගුජරාට, මරාටි කියලා භාෂා තියෙනවා. හැබැයි මේ එකකටවත් අකුරු නෑ. ඒවායේ බස ලියන්නේ දේවනාගර අකුරුවලින්. හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ. සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියකුක් තියෙනවා. සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා. එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත් ම නෑ. සිංහල අකුරු භාවිත වෙන ලොව එක ම භෂාවත් සිංහල විතරම යි. අකුරෙන් ලියන දේ කටින් කියන්නත්, කටින් කියන දේ ඒ විදියට ම අකුරෙන් ලියන්නත් පුළුවන් ලෝකේ තියෙන එක ම එක භාෂාව තමයි සිංහල භාෂාව. ඒ වගේ ම ‘ඇ’ කාරය තියෙන ලෝකේ එක ම භාෂාවත් සිංහල. සරලව ම කීවොත්, සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්. ඒ නිසා ම සිංහල භාෂාව ලොව පුරා ප්‍රචලිත කරන්නත් ඔපෙරාව හොඳ ම මාධ්‍යයක් කියල යි මට නම් හිතෙන්නේ.

විස්මිත සංගීතාස්වාදයක වින්දනීය අත්දැකීම ගුරු ගීතය ඔපෙරාව

ඔපෙරා කලාව පිළිබඳව මීට පෙර ඔබ ලබා තිබෙන අධ්‍යයනයන් සහ පුහුණුවීම් ගැන සඳහන් කළොත්?

ඔපෙරා පිළිබඳව මා මුලින් ම අසා දැන ගන්නේ මීට හරියට ම අවුරුදු තිහකට පමණ කලින්. ඒ, 1993 වසරේ පමණ ආචාර්ය කේමදාසයන් විසින් ආරම්භ කරන ලද ‘කේමදාස පදනම’ට නවකයකු ලෙස ඇතුළත් වූ දින පටන්. මා ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි කුසලතා පිරි තරුණ තරුණියන් වෙනුවෙන් එතුමා විසින් මෙහෙයවන ලද එම වැඩසටහන මගින් මා පෙර සඳහන් කළ ‘දොරමඬල’, ‘සොඳුරු වර්ණ දාසී’ සහ ‘අග්නි’ යන සිංහල භාෂීය ඔපෙරා තුන දායාද කරන්නට සමත් වුණා. එම දැවැන්ත ඔපෙරා නිර්මාණවලට දායක වීමෙන් මා ලද ගුරුහරුකම් සහ අත්දැකීම් අපමණ යි. එවන් ශ්‍රී ලාංකික ඔපෙරා ඉතිහාසයක හැඩතල ඔස්සේ යමින් නව පරපුරට තම හැකියාවන් පෙන්වන්නට හැකි වේදිකාවක් තනා දීම වෙනුවෙන් තමයි මෙම ‘ගුරු ගිතය’ ඔපෙරාව නිර්මාණය වෙන්නේ.

සිංහලෙන් සහ රුසියානු බසින් දිග හැරෙන ‘ගුරු ගීතය’ ඔපෙරාව නිෂ්පාදනය කිරීමේ දී එහි චරිත නිරූපණයේ යෙදෙන රංගන ශිල්පි ශිල්පිනියන්ට එම භාෂා උච්චාරණය ලබාදෙන්නට ඔබ කටයුතු කළ ආකාරය විස්තර කළොත් ?

1996 වසරේ දී රුසියාවේ උසස් අධ්‍යාපනය ලබන්නට වරම් ලද මා රුසියානු භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ රුසියාවට ගියායින් පසුවයි. අධ්‍යයන කටයුතු නිමකර මව්බිමට පැමිණියායින් පසුව වසර ගණනාවක් යනතුරු රුසියානු භාෂා භාවිතයෙන් මා ඈත්වී සිටියත්, එහි දී රුසියානු භාෂා ගුරුවරු එම බස අපට කියා දුන් ආකාරය මගේ සිතේ තදින් ම තැන්පත් වී තිබුණා. ඉරීනා ඊගරිව්නා මගේ මුල් ම රුසියානු ගුරුතුමිය ඇගේ ළයාන්විත හඩින් තම සිසුවා හෝ සිසුවිය ගැන මහත් විශ්වාසයකින් සහ ඉවසීමකින් යුතුව රුසියානු භාෂාවෙන් ම නවකයන්ට ගුරුහරුකම් දුන් අයුරු විශිෂ්ටයි. ඒ සොඳුරු අතීතය සිහිපත් කරගත් විට අදටත් දරුවන් හෝ වැඩිහිටියන් රුසියානු භාෂාවට හුරු කරවීම මට මහත් පහසුවක්.

මම ඔපෙරාවේ පුහුණුවීම් කටයුතු ආරම්භ වන්නේ ‘ලිබ්‍රතෝවේ භාෂණ අඩහැර’ පුහුණුව තුළින් යැයි ඔබ සඳහන් කළා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

ඔපෙරාවක් යනු දැවැන්ත කලා නිර්මාණයක් වගේ ම දැවැන්ත කලා ශ්‍රමයක්. එම කලාත්මක ශ්‍රම දායකත්වය උකහා ගන්නට නම් නවකයකු ඉතා ක්‍රමවත්ව පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ස්වර ගායනයට වඩා ඔපෙරාවක සංගීත සංරචනය මත සිට පෙළ රචනා කියවීම වඩා දුෂ්කර යි. කේමදාසයන්ගේ ඔපෙරා නිර්මාණ තුළදීත් වඩා දුෂ්කර වූයේ එවැනි දෙබස් ඛණ්ඩ උච්චාරණය කිරීමයි. ගායනයට පෙර සමූහ භාෂණ අභ්‍යාස පුහුණුවීම්වල යෙදී සිටීමේ වැදගත්කම මතුවන්නේ එවිට යි. හඬ මෙන් ම, සාත්වික අභිනය ද ඉතා ක්‍රමවත්ව ඔපෙරාවක් වෙනුවෙන් පුරුදු පුහුණු කරගැනීමට නවකයකුට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

ඔබගේ පුහුණුවට සහභාගි වන්නන් ඔබ හඳුන්වා දෙන්නේ ‘තරුණ සක්‍රීය ඔපෙරා නියුක්තිකයන්’ හැටියට යි. එසේ හඳුන්වාදීම ගැන යමක් කිව්වොත්?

දැනුම අද සුලබ යි. නමුත් එය නිතර ප්‍රගුණ කළ යුතු යි. දැනුම ප්‍රගුණ කිරීම නතර කළහොත්, එය වැඩකට නැති දෙයක් බවට පත්වෙනවා. තම දැනුම නිතර භාවිතයට ගන්නා පුද්ගලයා සැබැවින් ම ‘සක්‍රීය නියුක්තිකයෙක්’. මා ඔවුන් එලෙස හඳුන්වන්නේ ඔවුන් නිරන්තරව තමන් සතු දැනුම ප්‍රගුණ කරමින් සිටින පිරිසක් නිසයි.

ඔබ ඔය කියන තරුණ සක්‍රීය ඔපෙරා නියුක්තික කමිටුවේ වර්තමාන තත්ත්වය කොහොමද?

යුනෙස්කෝව අනුබද්ධ අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ සහයෝගීතා සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2014 වසරේ ආර්මේනියාවේ දී පැවැති ප්‍රාසාංගික කලා ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව, එම වසරේ ම ආරම්භ කළ ‘තරුණ සක්‍රීය නියුක්තික කමිටුව’ අද වනවිට මහා රසිකත්වයක් ගොඩනැගිය හැකි වැඩබිමක් බවට පත්ව තිබෙනවා. 2023 ජනවාරි 01 වැනිදා ආරම්භ කළ ‘පතිරාජ ඔපෙරා නිවස’ එහි ප්‍රතිඵලයක්. එසේ ම, I am Theatre නම් මාර්ග ගත රුසියානු භාෂාව සහ ලිබ්‍රතෝව පුහුණුව, Confident Voices – ප්‍රායෝගික රුසියානු-සිංහල භාෂණ සහ රංග වින්‍යාස පුහුණුව, Bricks එද Marble (ගඩොලින් කිරි ගරුඬට) නිර්මාණශිලී දක්ෂතා කලඑළි දැක්ම, Thank you Opera – Awards ප්‍රගති සමාලෝචන වැඩසටහන එමගින් සිදුකරන කාර්යයන්ගෙන් කිහිපයක් පමණයි.

‘ගුරු ගීතය’ ඔපෙරාවේ කෝරසයට එකතු වන එම්. තාරික්, ධනික විජේසිරි, සෙනුක තුලාන්, ඩියෝන් නෙත්වින්, චන්දික ආරච්චිගේ, කිතුජ සිල්වා, ඔමා සෙනෙවිරත්න, හිරුන්යා ආකාශි, ඔනෙලි වත්මාවි, සෙහන්සා තිරන්දි, ධනුරි ආරච්චිගේ, අමායා සිල්වා පතිරාජ යන පිරිස ඔපෙරා නිවසේ පළමු සක්‍රීය නියුක්තික කණ්ඩායම යි.

මෙරට සිටින එවැනි දක්ෂ දරුවන්ට ඉදිරියේ දී ඔබේ ඔපෙරා පාසලට ඇතුළු වී ඒ කලාව හැදෑරීමට අවස්ථාවක් තියෙනව ද?

තරුණ සක්‍රීය නියුක්තිකයන් ඕනෑ ම අයකුට තම කුසලතා සංවර්ධනයට අවශ්‍ය උපදෙස් සහ පුහුණුව ලබාදීමට අපි දැන් සූදානම්. ඒ සඳහා 071 40 65506 / 077-8346060 අංක මගින් වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

විස්මිත සංගීතාස්වාදයක වින්දනීය අත්දැකීම ගුරු ගීතය ඔපෙරාව

ගුරු ගීතය ඔපෙරාවට ඔබ සමග එකතු වන අනෙක් අය ගැනත් දැන ගන්න කැමැතියි?

මනීෂා විජේසිංහ, නිහාරි සෝමසිරි, ඉන්දිකා උපමාලි, නිලූකා තිශාරි, සුබුද්ධි ලක්මාලි, දිනිත් අභිශේක්, චානක තිසේරා, ශෙනෝන් කාවින්ද මෙම ප්‍රසංගයේ ආරාධිත ශිල්පීන්. ‘ගුරු ගීතය’ සිංහල ඔපෙරා ලිබ්‍රතෝව රුසියානු බසට නැගුවේ රුසියානු භාෂා ගුරු උපදේශකයකු වන ෆීලික්ස් ප්‍රනාන්දු. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුකරනු ලබන්නේ කථිකාචාර්ය රොහාන් රණතුංග විසින්. රුසියානු ජාතික ලේඛක අනතෝලි රුදෝෆ්ගේ උච්චාරණ පුහුණුව වසර දෙකක පමණ කාලයක සිට ඔහු අපට ලබාදෙනවා. රංග වින්‍යාසය නිලාන් මලිගැස්පගෙන්. කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන්ගෙන්. නිෂ්පාදන අධීක්ෂණය ඩික්මේන්ද්‍ර බණ්ඩාර. පසුතල නිර්මාණ සැකසීම දුලාන් ප්‍රනාන්දු, රුක්මල්, ප්‍රේමවර්ධන ඇතුළු කණ්ඩායමෙන්. ඇඳුම් නිර්මාණය රේණු කන්දගේ. වේෂ නිරූපණය චාමර අනුදත්ගෙන්. ඡායාරූපකරණය දයාන් විතාරණ සහ දයාවංශ විජයලත්ගෙන්. සම්බන්ධීකරණය රන්දික විමලසූරිය. පටිගතකරණය සමනල අතාවුදහෙට්ට්.

මෙවැනි දැවැන්ත නිෂ්පාදනයක් කිරීමේ දී මෙරට සාහිත්‍ය කලා ආයතනවලින් සහ ජනමාධ්‍යයෙන් ලැබුණු සහයෝගය ගැන සඳහනක් කළොත්.

පෙර පුහුණුවීම් සඳහා කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන ශාලාව ලබාදුන්නේ එහි විධායක අධ්‍යක්ෂක බුද්ධප්‍රිය රාමනායක මහතා. ජාතික රූපවාහිනිය ඉරිදා ආයුබෝවන් තුළින් ඉඩක් වෙන්කර දුන්නේ, නිලාර් එන්. කාසිම් මහතා යි. මෙරට මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන රැසක් ම ඔවුන්ගේ නොමසුරු සහාය අප වෙත ලබාදෙමින් සිටිනවා. ඔවුන්ගේ සහාය මෙන් ම, විචාරක අදහස් ද අප දිරිගන්වනවා. මේ රුසියානු ලේඛක ඇනතෝලි රුදෝෆ් ‘ගුරු ගීතය ඔපෙරාව’ ගැන පළකළ අදහසක්. ‘සුසංයෝගී සංගීතමය සොයාගැනීම් මෙන් ම, සංකීර්ණ සාහිත්‍යමය හැඟුම් සංගීත වියමනක් ඔස්සේ ප්‍රාසාංගිකකරණයට ලක්වන මෙවැනි නිර්මාණයකට හිමි වන්නේ ගෞරවය සහ සතුට පමණකි’

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment