අත්අඩංගුවේ දී පොලිස් සැරයන්වරයෙක් එක්ක සිගරටුත් බීලා….
ඩුබායි කුඩු ලලිත්ගේ සල්ලිවලට වහ වැටුණු කටුනායක ගුවන්තොටුපළ පොලිසිය…
පාතාලේ අංක එකේ කුලී ඝාතකයෙක්…
ලලිත් කන්නන්ගර පාතාල සාමාජිකයෙකි. අපරාධ රැසකට සම්බන්ධ මොහු දැනට සැඟවී සිටින්නේ ඩුබායි දේශයේය. හෙරොයින් ජාවාරම, කුලීයට මිනී මැරීම මොහුගේ ප්‍රධාන ආදායම් මාර්ගවේ. මොහු හරක් කටා සහ රත්ගම විදුර යන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ ජාලයට සම්බන්ධ අයෙකි. ඩුබායි සිටියද තම ගෝල බාලයින් ලවා හෙරොයින් ජාවාරම ඔහු මෙරට ජයටම සිදු කරගෙන යයි. එයට හරක් කටාගේද ආශිර්වාදය නොඅඩුව ලැබෙයි.
දිනක් හරක් කටා සහ ඔහු මෙලෙස කතාබස් කළහ.
“මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.”
“ඒ මොකක්ද ලලිත්.”
“මගේ බිස්නස්වලට විරුද්ධ කෙනෙක් ඉන්නවා. මිනිහව ඉවරයක් කරන්න ඕනා.”
“කවුද මිනිහා.”
“මුස්ලිම් මනුස්සයෙක්. හංවැල්ල පැත්තේ කඩයක් කරනවා. මිනිහා මහා ඇණයක් වීගෙන එනවා.”
“අයියෝ ඕක මොකක්ද?” මම දෙන්නම් සුපිරි බුලට් එකක්. දැනටමත් විස්සකට විතර ගහලා තියෙනවා.”
“එහෙමද?”
“ඔව් දැනට ඉන්න හොඳම වැඩ්ඩෙක්. පාතාලේ ඉන්න අභිරහස් ඝාතකයා මිනිහ තමයි.”
“නම මොකක්ද?”
“නම රවිඳු සංඛ. පාතාලේ නම බූරු මූණා. පෝද්දල පැත්තෙ කොල්ලෙක්. ඉස්සෙල්ලා නාවික හමුදාවේ ඉඳලා තියෙන්නේ.”
“එහෙම නම් මට ඉක්මනටම සෙට් කරලා දෙන්න.”
“හරි අද හෙටම සෙට් කරලා දෙන්නම් ඔයා විස්තර ටික දෙන්න මට.”
ඒ අනුව හරක් කටා ලලිත්ට බූරු මූණා නොහොත් රවිඳු සංඛ නැමැති අති භයානක කුලී ඝාතකයාව හඳුන්වා දුන්නේය. ලලිත් ඝාතනය කළ යුතු පුද්ගලයාගේ සියලු තොරතුරු ඔහුට ලබා දුන්නේය. කුලී ඝාතකයා එම කොන්ත්‍රාත්තුව භාර ගත්තේ ලක්ෂ ගණනක මුදලක්ද අය කරමින්ය.
දිනය පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදාය. හංවැල්ල ප්‍රදේශයේ මොහොමඩ් නැමැති මුස්ලිම් ව්‍යාපාරිකයා රාත්‍රි කාලයේ තම හෝටලය වසා ගණන් මිනුම් සකසමින් සිටියේය. හෝටලයේ එක් දොරක් පමණක් විවෘත කර තිබුණි. ජැකට් එකක් සහ මුහුණ ආවරණය වන සේ හිස්වැසුමක් පැළඳ ගත් බූරු මූණා හෝටලය තුළට පැමිණියේය. ඔහු එහි සිටි සේවකයකු ගෙන් දුම්වැටියක් ඉල්ලුවේය. සේවකයා මොහොමඩ්ට එය පැවසූ පසු ඔහු දුම්වැටියක් ලබා දුන්නේය. ඒ සමගම ක්‍රියාත්මක වූ බූරු මූණා ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය අතට ගෙන මොහොමඩ්ට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. නොසිතූ මොහොතක එල්ලවූ එම වෙඩි ප්‍රහාර හමුවේ ඔහුට කිසිවක් කරගත නොහැකි විය. අවසානයේ ඔහු තවත් එක් පාතාලයකුගේ බිල්ලක් බවට පත්විය.
හෝටලය තුළ තිබූ සීසීටීවී කැමරාවක එම වෙඩි තැබීම මනා ලෙස සටහන් වී තිබුණි. පසුව එය සමාජ මාධ්‍ය තුළද සංසරණය වන්නට පටන් ගත්තේය. ඒ අනුව ආන්දෝලනාත්මක එම ඝාතන සිද්ධිය පිළිබඳ බොහෝ පිරිස් කතා කිරීමට පටන් ගත්හ. පොලිසිය ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුනට මෙම සිද්ධියට සම්බන්ධ හය දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ පිරිස අතර ඔත්තු බැලූ, ඝාතකයන්ට යතුරුපැදිය,
ගිනි අවිය සැපයූ සහ නවාතැන් පහසුකම් සැපයූ අය ද සිටියහ. පොලිසිය හඳුනාගත්තේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වෙඩි තැබූ කුලී ඝාතකයා බවයි. පසුව ඔහු පොලිසියට චණ්ඩි පාට් දමන්නට ගොස් පොලිස් වෙඩි පහරකින් මියගියේ ය. පසුව හෙළිවූයේ එලෙස මියගිය සැකකරු කුලී ඝාතකයා නොවන බවත් යතුරුපැදිකරු ඔහු බවත්ය.
අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයක් පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවිය. එම ඡායාරූපයේ සිටි පුද්ගලයාව පොලිසියෙන් පහසුවෙන්ම හඳුනා ගත්තේය. ඒ රවිඳු සංඛ පෙරේරා නොහොත් බූරු මූණාය. එසේත් නොමැති නම් හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුය. එහෙත් එම විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවල සටහන්ව තිබුණේ වෙනත් පුද්ගලයකුගේ විස්තරයි.
එම විදෙස් ගමන් බලපත්‍රයේ නම ලෙස සටහන්ව තිබුණේ කෝරලේ කන්කානම්ගේ රවිඳු වර්ණ රංග ලෙසයි. පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එහිදී අනාවරණය වූයේ වෙනත් පුද්ගලයකුගේ නමින් බූරු මූණාගේ ඡායාරූපය භාවිතා කරමින් ව්‍යාජ ලෙස එම ගමන් බලපත්‍රය සකසා ඇති බවයි. පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එම පුද්ගලයා තම විදෙස් ගමන් බලපත්‍රය නැතිවූ බවට පොලිසියේ පැමිණිල්ලක් දමා මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය බූරු මූණාට සාදාදී තිබේ. මෙම විදෙස් ගමන් බලපත්‍රය ඔහු සාදාගෙන තිබෙන්නේ හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයාට වෙඩි තැබීමටත් පෙරය.
පොලිස් නිලධාරීන් මෙම විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කරමින් පුද්ගලයකු මෙරටින් පිට වී ඇත්දැයි සොයා බැලුවේය. එහිදී අනාවරණය වූයේ කිසිදු පුද්ගලයකු එම විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කරමින් මෙරටින් පිට වී නොමැති බවයි. ඒ අනුව එම විදෙස් ගුවන් ගමන් බලපත්‍රයේ තොරතුරු සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරමින් එම විදෙස් ගමන් බලපත්‍රය දරන පුද්ගලයාට රටින් පිටව යෑම වළක්වමින් විදෙස් ගමන් තහනමක් ලබා ගත්තේය. එය අදාළ අංශ වෙත යොමු කිරීමට ද පොලිස් නිලධාරීහු පියවර ගත්හ.
මේ කිසිවක් නොදත් බූරු මූණා පොලිසියට කට්ටි පනිමින් ඩුබායි බලා පිටත් වීමට සිහින මවමින් සිටියේය. ඔහුව ඩුබායි වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ ලලිත් සූදානම් කරමින් සිටියේය. සියලු වැඩකටයුතු අවසන් වූ පසු ලලිත් දිනක් බූරු මූණාට මෙලෙස පැවසුවේය.
“උඹගෙ වැඩකටයුතු සේරම ඉවරයි. කිසි දේකට බය වෙන්න එපා. 24 වැනිදා මෙහෙට එන්න ලෑස්ති වෙයන්.”
ලලිත්ගේ කීමට අනුව පසුගිය 24 වැනිදා බූරු මූණා ඩුබායි බලා පිටත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. ඒ තවත් යුවළක් සමගින් කුලියට ගත් කුඩා වෑන් රථයකිනි. එම යුවළට සමුදුන් බූරු මූණා ඩුබායි බලා පිටත්වීම සඳහා කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයට ඇතුළු විය. එලෙස ඇතුළු වූ බූරු මූණා සවස පහයි තිහට පමණ ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. ඉන් පසු එම නිලධාරීන් විසින් සවස හයයි තිහට පමණ සැකකාර බූරු මූණාව කටුනායක ගුවන්තොටුපළ පොලිසියට භාරදෙන ලදී. එලෙස භාරදුන් සැකකරුව සිර මැදිරියේ දමා ඒ පිළිබඳ තොරතුරු දකුණු දිසා අපරාධ කොට්ඨාසයට දැනුම් දිය යුතුව තිබුණත් රාත්‍රී දහය වන තුරුත් ඔහුව භාරදීමට හෝ ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් කර නොතිබුණි.
පුදුම දනවන කරුණ වන්නේ නැතිබැරිකමට පොල් ගෙඩියක් සොරාගත් මිනිසකු පොලිස් අත්අඩංගුවට පත්වූ පසු කෙලින් කටින් හිටගන්නවත් බැරි වන සේ ගුටිබැටදී පොලිස් සිර මැදිරියට දමන අතර මෙවැනි දරුණු ගණයේ කුලී ඝාතකයකු අත්අඩංගුවට ගත් පසු පොලිස් සිර මැදිරියේ සිර නොකිරීමයි. එපමණක් නොව මෙම සැකකරු පොලිස් සැරයන්වරයකු සමග පොලිසිය ඉදිරිපිට දී දුම්පානය පවා කර ඇති බවයි. එම අවස්ථාවේදී මෙම සැකකරු ඩුබායි සිටින ලලිත්ට තමන් පොලිස් අත්අඩංගුවට පත්වූ බවද පවසා තිබේ. එය ඇසූ ලලිත් බූරු මූණාව බේරා ගැනීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක විය. ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කිරීමට ද ඔහු සූදානම් වී සිටියේය.
හෙට්ටිපොළ රිට්ටාදෙණිය ශ්‍රී ජයලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේවෙල ඉන්ද්‍රසාර භික්ෂූන් වහන්සේ ඩුබායි ලලිත්ගේ ළඟම හිතවතෙකි. ලලිත් එම භික්ෂුව හඳුනන්නේ හොරණ ප්‍රදේශයේ ඇති පිරිවෙනක පිරිවෙන් අධ්‍යාපනය හදාරන සමයේදීය. හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් එම විහාරස්ථානයට සහ භික්ෂූන් වහන්සේගේ වියදම සඳහා ලලිත් නිරතුරුව ලබා දෙයි. එම නිසා භික්ෂුව පාතාලයේ ලලිත් සමග ළඟම හිතවත්කමක් පවත්වාගෙන යයි.
ඒ හිතවත්කම මත ලලිත් එම භික්ෂුවට ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.
“ස්වාමීන් වහන්ස, මගේ කොල්ලෙක්ව එයාර්පෝට් පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. මිනිහා අහිංසක කොල්ලෙක්. දැන්ම ගිහින් මොකක් හරි කරන්න. සල්ලි ගැන මම බලාගන්නම්.”
එය ඇසූ භික්ෂුව විහාරස්ථානයේ සිටි දිවුල්වැවේ දීපානන්ද සහ තවත් අවුරුදු 11 ක් පමණ වයසැති සාමණේර නමක් සමග හෙට්ටිපොළ සිට කටුනායක වත්තල පොලිසිය වෙත පැමිණියහ. එලෙස එම භික්ෂූන් වහන්සේලා පැමිණ තිබුණේ රතු පැහැති වර්ගයේ මෝටර් රථයකිනි. එලෙස පැමිණි භික්ෂූන් වහන්සේලා එම පොලිසියේ ස්ථානාධිපති සමඟ බොහෝ වේලා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළහ. එවිට වෙලාව රාත්‍රී 9:30 පසුවී තිබුණි. එහිදී විහාරාධිපති භික්ෂුව පවසා ඇත්තේ “තමන් හොඳින් දැන හඳුනන මෙම තරුණයා අහිංසකයකු බවත් එම නිසා ඔහුව නිදහස් කරන ලෙසත්ය.” එයට අමතරව එම සැකකරුට භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම් අනුව ඉස්තරම් වර්ගයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලැබී තිබේ. ඒ අතර කාලය තුළ විහාරාධිපති භික්ෂුව ඩුබායි සිටින ලලිත් සමග ද තොරතුරු හුවමාරු කරගෙන තිබේ.
කොටින්ම කිවහොත් මෙම දරුණු ගණයේ අපරාධකරුව බේරා ගැනීම සඳහා පොලිසිය සමග ගනුදෙනු කර ඇත්තේ මෙම භික්ෂූන් වහන්සේලා දෙනමයි. අවසානයේ එහි ප්‍රතිඵලය වූයේ රාත්‍රී 12.00 පසුවී මිනිත්තු කීපයක් ගතවූ පසු එම දරුණු ගණයේ අපරාධකරු ඉතා සූක්ෂම ලෙස පොලිසියෙන් පැන යෑමයි. එලෙස ඔහු පැන ගොස් තිබුණේ කොළඹ – මීගමුව මාර්ගයෙනි. එලෙස ඔහු පැන ගොස් තිබුණේ මෝටර් රථයකිනි. පොලිස් අත්අඩංගුවට පත්වූ එම දරුණු ගණයේ අපරාධකරු පැන යෑමත් සමග මෙම සිද්ධිය පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. එපමණක් නොව සමාජය තුළද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. එහිදී බොහෝ දෙනෙක් පැවසුවේ භික්ෂූන් වහන්සේලා දෙනමකගේ බලපෑම යටතේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කොට ඇති බවයි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් කිහිපදෙනකුගේ අනුදැනුම ඇතිව මෙම සැකකරු පලාගොස් ඇති බවයි. තවද මෙම අපරාධකරුව ආගමන විගමන නිලධාරීන් විසින් පොලිසියට භාරදුන් පසු ඔහුට සලකා ඇත්තේ සැකකරුවකු වශයෙන් නොව තම මිතුරකු ලෙසින්ය. අඩුම තරමේ විනාඩියකට වත් ඔහුව සිරමැදිරිය තුළට දමා නොතිබුණි. ඔහු භාවිතා කර තිබුණේ පොලිස් නිලධාරීන් භාවිතා කරන වැසිකිළියයි. පොලිසිය තුළ සිටි පැය කිහිපය ඔහු ගත කර ඇත්තේ ඉතාමත් සුඛෝපභෝගී ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රෙහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නායකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
එම විමර්ශනයේ දී හෙළි වූ තොරතුරුවලට අනුව කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර, පොලිස් සැරයන් සේනාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ලබන මාර්තු 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ අතර අනෙක් තිදෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. තවද මෙම සැරයන්වරයාගේ සා කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් ද කර තිබුණි. එයට අමතරව මෙම ලිපිය ලියන විටත් භික්ෂූන් වහන්සේ දෙනම ද අත්අඩංගුවට ගෙන තිබූ අතර සාමණේර භික්ෂුන් වහන්සේව වෙනත් පන්සලකට යොමු කිරීමට පියවර ගෙන තිබුණි. සැකකාර භික්ෂූන් වහන්සේලා දෙනම අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන විත් ඇත්තේ විහාරස්ථානයද වසා දමමිනි. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යමින් පවතී.
ගයාන් සමරසිංහ