විසි වැනි සියවසේ විශ්වීය කලාව විසිතුරු කළ පෙරළිකාරය ස්පාඤ්ඤ චිත‍්‍ර ශිල්පී  සල්වදෝර් ඩාලි

170

Salvador Dali (1904-1989)
අධියථාර්ථවාදී චිත‍්‍ර ශිල්පයේ නිර්මාතෘ

‘‘සැබෑ චිත‍්‍ර ශිල්පියකු යනු හිස් වැලිකතරක් මැද සිට වුවද කදිම දර්ශනයක් චිත‍්‍රයට නැගිය හැක්කෙකි’’.

සැබෑ චිත‍්‍ර ශිල්පියකු යනු හිරිහැරකාරී පසුබිමක සිට වුවද පෙයාර්ස් ගෙඩියක් ඇඳ පින්තාරු කළ හැක්කෙකි. උන්මත්තකයකු හා මා අතර ඇත්තේ එකම වෙනසකි. උන්මත්තකයා තමාට ප‍්‍රකෘති සිහියක් ඇතැයි සිතයි. මා දන්නවා මා පිස්සකු බව. මෙවන් ප‍්‍රකාශයක් කොට ඇත්තේ සැබෑ උන්මත්තකයකු නම් නොවේ. ලෝ පතළ චිත‍්‍ර ශිල්පි සල්වදෝර් ඩාලි විසිනි. විසි වැනි සියවසේ අධියථාර්ථවාදී කලා නිර්මාණ විශාල ප‍්‍රමාණයක් ලොවට දායාද කොට විශ්ව කීර්තියට පත් ඩාලි මියගොස් වසර තිස් තුනක් පමණ ගතව ඇති මේ මොහොතේ ඔහුට උපහාර වශයෙන් මේ පුවත් පත් ලිපිය සැකසුණි.

‘අධියථාර්ථවාදී චිත‍්‍රශිල්පයේ පියා ලෙස ගරුත්වයට පාත‍්‍ර වී ඇති සල්වදෝර් ඩාලි අනෙකුත් චිත‍්‍ර ශිල්පීන් අතර සුවිශේෂී වන්නේ චිත‍්‍ර කලාව මතු නොවැ කැටයම් හා මූර්ති කලාව ඡායාරූපකරණය, සිනමා, නාට්‍ය හා කාටූන් කලාව, ආභරණ හා ඇඟලුම් විලාසිතා, ග‍්‍රන්ථ සම්පාදනය ආදි විවිධ කලා ක්‍ෂේත‍්‍රවල දස්කම් පෑ ශ්‍රේෂ්ඨ කලාකරුවකු බැවිනි. ඩාලිගේ ජනප‍්‍රිය කලා නිර්මාණ අතර අලංකාර මුහුදු දර්ශන, විවිධ හැඩැති පහන් කූඩු, ද්‍රවයක් මෙන් ගලායන ආකාරයට ඇඳි ඔර්ලෝසු මෝස්තර, ක‍්‍රිස්ටියන් ඩියෝ (Christian Dior) සුවඳ විලවුන් බෝතල් මෝස්තර, ‘‘ලැවයින්’’ (Lavine) චොක්ලට් අලෙවිය සඳහා දැන්වීම් පුවරු, ලොලිපොප් නිෂ්පාදනයක් වූ චුප – චූප් (Chupa- Chup) ලාංඡුනය, ක‍්‍රිස්තු ප‍්‍රතිමා, විශාල කොට ඇඳි ඡායාරූප, විශ්වීය ග‍්‍රන්ථ සඳහා ඇඳි පින්තූර, මැක්වෙස්ට් නම් නිළියගේ තොල්වල හැඩය ගත් ගෘහ භාණ්ඩ විලාසිතාව (මැක් වෙස්ට් සෝපාව) හා එම හැඩය ගත් කමිස මෝස්තර, පොකිරිස්සාගේ හැඩය ගත් දුරකථන ආදිය වෙයි. ඩාලි විසින් තමා උපන් ස්ථානයේ (pubol) ඉතා අලංකාර මාලිගයක් ද ගොඩනඟා තිබේ. එම මැඳුර (Dream of venus) ඩාලි විසින් සැලසුම් කරන ලද අධියථාර්ථවාදී ගෘහ නිර්මාණ ශිල්ප ක‍්‍රම උපයෝගී කොටගෙන නිමවූවකි. කලා ලොවේ අපූර්වත්වය මෝස්තරවලට පමණක් සීමා නොකළ ඩාලි සිනමාවට ද නාට්‍ය ක්‍ෂේත‍්‍රයට ද අතගැසීය.

විසි වැනි සියවසේ විශ්වීය කලාව විසිතුරු කළ පෙරළිකාරය ස්පාඤ්ඤ චිත‍්‍ර ශිල්පී  සල්වදෝර් ඩාලි

අධියථාර්ථවාදී සිනමාවේ පුරෝගාමියා වන ලුවිස් බුඤුවෙල් (Luis Bunuel) ගේ චිත‍්‍රපට කීපයක් සඳහා ඩාලි තිර රචනා ලියා ඇති අතර ඒවාට සම්මාන පිට සම්මාන ලැබිණි. ඩාලිගේ කාටුන් සිනමා කලාව ද ප‍්‍රශංසනීය වෙයි. ලෝක ප‍්‍රසිද්ධ Destino (ඉරණම) චිත‍්‍රපටය සඳහා වෝල්ට් ඩිස්නි සිනමාවේදියාට ද moon side චිත‍්‍රපටය සඳහා ‘‘ජීන් ගබීන්’’ (Jean Gahin) සිනමා වේදියාට ද උපරිම සහායක් ලබාදුන් මෙතෙම හොලිවුඩ් සිනමාවට ද පිවිස ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් සිනමාවේදියාගේ Spellbound චිත‍්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් ද සහාය විය.

විශ්වීය නාට්‍ය සඳහා ඩාලිගේ සහභාගිත්වය ද සුළුපටු නොවේ. සමකාලීන මහා කවි පේදෙරිකෝ ගර්සියා ලොර්තා (යෙර්මා නාට්‍යයේ නිර්මාතෘ Federico Garcia Lorca) ගේ රොමෑන්තික නාට්‍යයක් වන මරියානා පිනේඩා (Mariana Pineda) බැලේ නිෂ්පාදනයක් ලෙස කරළියට ගෙන ඒමේදී වේදිකා සැරසිලි නිර්මාණය කර දී ඇත්තේ ඩාලි විසිනි. ලෝක ප‍්‍රසිද්ධ ඔපෙරා කලාව කෙරෙහි ද හෙතෙම උනන්දු වීය. ග‍්‍රන්ථ කතුවරයකු ද වූ ඩාලි විසින් එළිදක්වන ලද කෘති අතර Lavida Secreta de Salvador Dali (ඩාලිගේ රහසිගත දිවිය) නමැති චරිතාපදානයත් Caras Ocultas (සැඟවුණු මුහුණු) නවකතාවත් අධියථාර්ථවාදී සිනමාව ගැන ලියූ Bababuo නම් ග‍්‍රන්ථයත් සිතුවම් පැහැදිලි කිරීම් ඇතුළත් Diary of Genius කෘතියත් නව නිර්මාණ විමසන අයට අත්වැලක් වී තිබේ. සල්වදෝර් ඩාලිගේ චිත‍්‍ර නිර්මාණ ජ්‍යාමිතික හැඩතල අනුව ඇඳි අරුම පුදුම විෂමයාකාර ඒවාය. එම අසාමාන්‍ය ප‍්‍රතිරූපවල ගති ලක්‍ෂණ වෙනමම හැදෑරිය යුතුය. තමන්ගේම තෘප්තිය උදෙසා අමුතු දේවල් ඇඳීම, ඔහු තුළ නිරායාශයෙන් ඇතිවූවකි. පින්සලට ආරූඪ කරගන්නා අවලක්‍ෂණ විරූපී චරිතවලට ඇතැම් විචාරකයන් කෝපගැන්වීය. සවි ශක්තිය නොමැති වැහැරුණු, හැඩතල දෙපැත්තට ඇඳි ප‍්‍රතිරූපවලින් හෙතෙම අපූර්ව විශ්වයක් නිර්මාණය කළේය. සල්වදෝර් ඩාලිගේ අමුතු පෙනුමට ද ජනයා වශී වූහ. මීටර් 1.72 ක් පමණ උස කෘශ ශරීරයකින් හෙබි ඔහුගේ සම ඉතා පැහැපත්ය. දෙපසට වැඩුණු දිගු කළු කෙස්වැටියත් ඉහළට වක්වන පරිදි කරකවා සකස් කර ගත් රැවුලත් ඩාලිගේ රුවට මවිත උපදවන විලාසයක් ලබා දුණි. විටෙක අත්කොට කබායක් ඇඳ උස මේස් කුට්ටමක් පැලඳ හැරමිටියක් අතට ගන්නා ඩාලි මෙසේ පවසයි.

විසි වැනි සියවසේ විශ්වීය කලාව විසිතුරු කළ පෙරළිකාරය ස්පාඤ්ඤ චිත‍්‍ර ශිල්පී  සල්වදෝර් ඩාලි

‘‘සෑම උදයකම අවදි වු සැණින් මා ‘‘සල්වදෝර් ඩාලි’’ වීම ගැන උපරිම සතුටක් විඳිනවා.

ඩාලිගේ නිර්මාණ මෙන්ම ජීවිත පුවත් ද කුතුහලය දනවනසුලුය.

1904 මැයි මස එකොළොස් වැනිදා ස්පාඤ්ඤයේ කතලුඤ්ඤා (Cataluna) ප‍්‍රාන්තයේ පිහිටි ‘පිගුඑරා’ (Figuera) නගරයේ මධ්‍යම පාන්තික පවුලක දෙවැනි දරුවා ලෙස ‘සල්වදෝර් දොමින්ගෝ ෆෙලිපේ ජසින්තෝ ඩාලි ඉ. ඩොමිනෙක් (Salvador Domingo Felipe Jacinto Dali I Domenec) යන උපත් නාමයෙන් බිලිඳෙක් උපන. උපත් නාමය කෝච්චියක් මෙන් දිග බැවින් කවුරුත් ඔහු ඇමතුවේ ‘සල්වදෝර් ඩාලි’ නමිනි. ළමා වියේ පටන්ම පියා විසින් තද විනය නීති පනවන ලද බැවින් කුඩා දරුවා නිවසේ කොනකට වී නිහඬව පැන්සලෙන් කුරුටුබලි ඇඳීමට පටන් ගත්තේය. ක‍්‍රමයෙන් වැඩෙත්ම චිත‍්‍ර ඇඳීම කෙරෙහිම උනන්දු වූ ඩාලි ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ, චිත‍්‍ර කර්මය විෂයය සඳහාම වෙන්වුණු පුද්ගලික පාසලකය. එහිදී ඔහුට ප‍්‍රංශ බස ඉගෙනීමට ද හැකි විය.

පාසල් නිවාඩුවේ තමා හා එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ ‘පිචොට්’ (Pichot) නම් අසල්වැසි සිත්තරකු සමඟ ප‍්‍රංශය බලා යෑමට පුරුදු වූ ඩාලි එහිදී අධියථාර්ථවාදය පිළිබඳ පොත්, සඟරා ආදිය කියැවීමට පුරුදු විය. පසළොස් හැවිරිදි වියේදීම තමා උපන් නගරයේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට තරම් ඩාලි චිත‍්‍ර විෂයයෙහි දක්‍ෂ සිසුවෙක් විය. 1920 වසර, ඩාලිගේ ජීවිත ගමනේ මෙන්ම නිර්මාණ දිවියේදී හැරැවුම් ලක්‍ෂ්‍යයක් වුයේ උසස් අධ්‍යාපනය සඳහා මැඩ්රිඩ් නගරයේ සෞන්දර්ය කලා නිකේතනයට (Acadamia de Bellas Artes) ඇතුළත් වීමත් සමඟය. කලායතනයට සමීප Residensia de Estudiates ශිෂ්‍ය නේවාසිකාගාරයේම නවාතැන් ගෙන සිටි සිසුන් තිදෙනකු හඳුනාගැනීමට ඩාලිට අවස්ථාවක් උදාවීමත් සමඟය. එවකට නීතිය හා දර්ශන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි කර්සියා ලොර්කාක් සිනමාව හදාරමින් සිටි ලුවිස් බුඤුඑල් (Luis Bunuel) සිසුවාත් වෛi විද්‍යාව හදාරමින් සිටි පෙපින් බෙයියෝ (Pepin Beiio) ක් සමඟ සැබෑ මිතුදමක් ගොඩනඟාගත් ඩාලිගේ ඉදිරි ජීවිතය ආලෝකවත් වන්නට පටන් ගත්තේය.

ඒ නිහඬ, දර්ශනීය පරිසරයේ එකිනෙකා ගත කළා වූ අර්ථවත්, ප‍්‍රබෝධවත්, විනෝදකාමී ජීවිතය හා බැඳුණු කතාබහ, විහිළු නහළු ආදිය එකිනෙකාගේ නිර්මාණ කාර්යය වඩාත් ඔපවත් වීමට හේතු විය. ඔවුන්ගේ ජීවිත කොතරම් සාර්ථක වීද යත් ලොර්කා මහා කවියකු හා නාට්‍යවේදියකු ලෙසින් ද, ලුවිස් බුඤුුඑල් අධියථාර්ථවාදී සිනමාවේ පියා ලෙසින් ද, පෙපින් බෙයියෝ හාස්‍යෝත්පාදකයකු ලෙසින්ද විශ්ව කලා ඉතිහාසයට එක් වූහ. එමතු නොව ඔවුන් සිව්දෙනා ‘විශ්වීය මිත‍්‍ර චතුරස‍්‍රය’ නමින් කලා ලොවේ බුහුමන් ලැබුහ. එමෙන්ම නේවාසිකාගාරයේ ඔවුන් ගතකළ ජීවිතය පිළිබඳව ග‍්‍රන්ථ පවා ලියැවිණි.

කෙසේ හෝ ඩාලි විසිවැනි සියවසේ බිහි වූ හොඳම චිත‍්‍ර ශිල්පීන් අතර සුවිශේෂී චරිතයක් විය. ලෝකයේ කෞතුකාගාර දෙකකටම (Salvador Dali Museum, Theatre museum Florida) හිමිකම් කියූ එකම කලා ශිල්පියා ඩාලි විය. යොවුන් වියේදී ඩාලි නිහඬ, බියගුලු චරිතයක් බව පෙපින් පවසයි. ඩාලි සමග ගතකළ අසිරිමත් ජීවිතය පිළිබඳ පෙපින් බෙයියෝ සමකාලීන මිතුරා මෙසේ පවසයි. ආයතනයට එනවිට මට වයස අවුරුදු දහසයයි. ඩාලි මගේ වයසේමයි. පැමිණි මුල් දිනවල දිගු කළු කෙස්වැටිය නිසා කිසිවෙක් ඔහුව ගණන්ගත්තේ නැහැ. ඩාලි කාලයට නොගැළපෙන ඇඳුම් ඇන්ද අමුතුම චරිතයක්. ඒ දවස්වල මුදලක් ගණින්නවත් වෙලාව කියන්නවත් කඬේකට ගොස් බඩුවක් මිලට ගන්න හැටිවත් ඔහු දැන සිටියේ නැහැ. බයාදු, නිහඬ නමුත් කඩවසම් ඉලන්දාරියෙක්.

පසු කාලයේ අපේ මිතුරෙක් වුණා. අපටම වෙන් වූ බුද්ධිමත් ලොවක් තිබුණා. අප ඒ ලෝකයේ නිදහසේ හැසිරුණා. අසාමාන්‍ය විකාර චිත‍්‍ර ඇන්දා දිව පැටලැවෙන වචන අමුණා කවි හදා හතර දෙනාම එකට ගායනා කළා. ඒවා සාහිත්‍ය රසය පිරුණු කවි. එදා අප සැචූ සෞන්දර්යාත්මක ලෝකයේ මතක තමයි, ඩාලියි බුඤුුඑලුයි පසු කාලයේ අධියථාර්ථවාදී චිත‍්‍රපට සඳහා යොදා ගත්තේ. එම චිත‍්‍රපටවලටයි පෙදෙරිකෝගේ නාට්‍යවලටයි හාස්‍ය මුසු කළේ මමයි.

මේ ආකාරයෙන් යොවුන් වියේ ඩාලි සමග ගතකළ ජීවිතය පිළිබඳ සමකාලීන මිතුරන් විසින් තබන ලද සටහන් ස්පාඤ්ඤ සාහිත්‍යයට එකතු වී තිබේ. 1928 වනවිට ඩාලි නාමය ලෝක ප‍්‍රසිද්ධියට පත් වී තිබිණි. ඩාලි සිය පෙම්වතිය වූ ගාලා (Gala) ගේ සහයෝගය ඇතිව ඉතා වැදගත් වෘත්තීයමය චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීය. එකල ඩාලි විසින් යෝජනා කරන ලද අධියථාර්ථවාදී සැලැසුම් ක‍්‍රමයක් ප‍්‍රවේශයට නැඟුණි.

1931 දී ඩාලිගේ උසස්තම චිත‍්‍ර නිර්මාණ එකතුව The Persistense of memory කලා ලොවට හඳුන්වාදීමත් සමඟම ඩාලි චිත‍්‍ර ශිල්පියකු වශයෙන් ලැබිය හැකි ඉහළම කීර්තිය ලබා තිබුණි.

1934 දී පෙම්වතිය සමඟ අතිනත ගෙන ඇමෙරිකාවට ගිය ඩාලි එහිදී තවත් ප‍්‍රදර්ශන කීපයක්ම පැවැත්වීය. එම අවධියේ වූ රසවත් සිදුවීමක් මිත‍්‍ර ලුවිස් බුඤුුඑල් විස්තර කළේ මෙසේය. ‘චිකාගෝ නගරයේ පැවැත්වූ කෝලම් සාදයකදී ඩාලි හා බිරිය දරුවකු හා ගෝනි බිල්ලකු ලෙසින් වෙස්වලාගෙන හිටියා. මේ ක‍්‍රියාව ගැන අධියථාර්ථවාදයේ නායකයා අන්ද්‍රේ බ්‍රෙතොන් තදින් කෝප වී සමාව අයැදින ලෙස ප‍්‍රකාශ කළ විට ඩාලි මෙසේ පැවැසුවා.

‘මා, මා ම අධියථාර්ථවාදියෙක්’

1954 සුප‍්‍රසිද්ධ ආයතනයක (Euro Vision) අනුග‍්‍රහය යටතේ මැඩ්රිඩ් නගරයේ සිනමා හලක (Royal Theatre) පවත්වනු ලැබූ උත්සවයක් සඳහා ඩාලි විසින් ලෝහ පිළිරුවක් කැටයම් කරන ලදී. එකල පිට පිටම ඩාලි ගැන රූපවාහිනී වැඩසටහන් ද විකාශනය විය. 2007 වසරේ විකාශනය වු රූපවාහිනී වැඩසටහනකදී ‘බ‍්‍රයන් සෙවෙල්’’ නම් විචාරකයා විසින් තමාට 1960 දී ඩාලි මුල්වරට හමුවූ අවස්ථාව මතකයට නංවන ලදී.

‘එදා ඩාලි පිටුපසින් කඩාහැලෙන කලිසමක් ඇඳ, වැල්ලේ වැතිර ඡායාරූප ගනිමින් සිටියා’

1964 දී ස්පාඤ්ඤ රජයෙන් චිත‍්‍ර ශිල්පියකු ලබන විශිෂ්ටතම සම්මානය (Grand Cross of Isabel) ලබා ගත්තේය.

ඩාලිගේ අවසන් වසර කීපය ගත වී ගියේ රෝගී සයනයේය. 1980 දී බෙහෙතක් විෂවීමෙන් ඩාලිගේ දකුණු අත වෙව්ලන්නට විය. එතැන් සිට කලා කටයුතු සම්පූර්ණයෙන්ම නැවැතිණි.

1982 දී ස්පාඤ්ඤ රජතුමා ජුවාන් කාර්ලෝස් ඩාලි විසින් ගොඩනඟන ලද මාලිගය අගයා Marquis de pubol පුබෝල් පෙදෙසේ වංශක්කාරයා නමැති නම්බුනාමය පිරිනමන ලද මොහොතේ පෙරළා කෘතඥතාවය පළකර ඇත්තේ අවසන් වරට තමා විසින් අඳින ලද චිත‍්‍ර නිර්මාණයක් වෙව්ලන සුරතින් දරා ගනිමින් රජුන් වෙත තිළිණ කරමිනි.

එම වසරේම බිරිඳ මියගිය අතර වියෝ දුක දරා ගත නොහී ඩාලි දිවි තොරකර ගැනීමට පවා තැත්කොට තිබේ. 1989 ජනවාරි මස විසිතුන් වැනිදා ඩාලිගේ අදහස් හා සිහින ඇතුළත් ‘ටි‍්‍රස්ටානා’ චිත‍්‍රපටය නරඹමින් සිටියදී ඩාලිගේ දෙනෙත් සඳහටම පියවුණි. ඩාලිගේ නිසල දේහය ඩාලි කෞතුකාගාරයේ ගුහා ගෘහයේ තැන්පත් කරන ලදී. විශ්ව සාහිත්‍යයට සහ කලාවට සෞන්දර්යවත් මතක සිතුවම් හා සිහින ඉතිරිකොට සමුගෙන ගිය ශ්‍රේෂ්ඨ චිත‍්‍ර ශිල්පී සල්වදෝර් ඩාලි නාමය එදා, අද මෙන්ම හෙටත් කලා ලොවේ අමරණීය බවට පත්වනු නිසැකය.

ඉන්ද්‍රානි රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment