විසුරුවා හැරිය නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩු 19 කට අලුතින් 16ක් පත් වෙලා

3087

වාර අවසාන කිරීම් 4ක් : සභා වාර 5ට දින 390ක් රැස් වෙලා

විසුරුවා හරින ලද නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 19 ක පුරප්පාඩු ඇති වූ අතර ඒ අනුව අවස්ථා 18 කදී මන්ත්‍රීවරුන් 16 දෙනකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වී මන්ත්‍රීවරුන් 241 ක් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස් වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුවට ජයන්ත කැටගොඩ මහතා යළි පත් කර ඇත.

එමෙන්ම මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුනට ඒ.එච්.එම්. ෆවුසි මහතා පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ අසුන සඳහා මුජිබර් රහුමාන් මහතා නැවත පත් කර තිබේ. පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරයට නව මන්ත්‍රීවරයකු පත් කර නැත.

නවවැනි පාර්ලිමේන්තුව සුවිශේෂී කරුණු රැසක් හේතුවෙන් ජනතා අවධානයට වඩාත් ලක්වූ අතර එහිදී සුවිශේෂී සිදුවීමක් වූයේ මෙරට 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරී පත්වීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නව මන්ත්‍රීවරයකු පත්වීමත් සමග නව මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවට පත්වී ඇත.

නවවැනි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4 කට ලක්වී ඇති අතර පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කොට ඇත. තෙවැනි සිව්වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබේ. එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.

අකිත පෙරේරා


advertistmentadvertistment