වී විතරක් නොවෙයි…වගා සියල්ලම කම්බස්

312

ගම්මිරිස් අක්කර සිය ගණනක් විනාශයි

පොල් පුවක් ගස් කරටි කඩා වැටේ

මේ වගේ විනාශයක් මතක ඇති කාලෙක සිද්ධ වුණේ නෑ
ගොවිහූ සුසුම් හෙළති

දැන්වත් වැව් අමුණු ටික පිළිසකර කරන්න.

රජය කියනවට වැඩිය ලොකු විනාශයක් සිද්ධ වුණා,
ගොවීහු චෝදනා කරති.

වෙලාවට වතුර ටික දුන්න නම් මේ විනාශය වෙන්නෙ නෑ

මෙරට කෘෂිකර්මාන්තය සමග මේ වනවිට ස්වභාව දහම ද උරණ වී ඇත. රටට නිසි කලට වැසි වැටෙන්නේ නැත. ජලාශ වැව් අමුණු සිඳී ඉරිතලා ගොස් අවසන්ය. ඈත රජරට, රුහුණ පමණක් නොව දිවයිනේ දිස්ත්‍රික් රැසක් නියඟයෙන් බැට කා අවසන්ය. වැව් දසදහසකට වැඩි ප්‍රමාණයක් නියඟය හේතුවෙන් සිඳී ගොස් ඇතැයි රටේ කෘෂිකර්ම ඇමැතිවරයා විසින් සඳහන් කර ඇත. ඈත දුරබැහැර ගොවිතැන් කටයුතු ආදියේ නිරත ගොවීහු පවසා සිටින්නේ ඇමැතිවරයා පවසන ඉලක්කම නිවැරදි නොවන බවය. ඔවුන් සඳහන් කර සිටින්නේ වැව් තිස්තුන්දහසක් සහිත රටක ඉන් අඩක් පමණ මේ වනවිට මුළුමනින්ම වියළී ගොස් ඇති බවක්ය. ඒ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවිතැන මුළුමනින්ම විනාශයට පත්ව ඇත. විනාශයට පත් කුඹුරු බිම් ප්‍රමාණය අක්කර 20,000ක් බව දැනට ගණනය කර ඇත. විපත්තිය එතෙකින් නතර වන්නේ නැත. මෙරට ගොඩ, මඩ කෘෂි භූමි බොහෝමයක් මේ වනවිට පවතින්නේ එම ඉරණමට යටත්වය.

භව භෝග විනාශය හා ඒ හේතුවෙන් ගොවීන්ට සිදුව ඇති අලාභය පිළිබඳ සිය අවධානය යොමු කරන මෙරට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉකුත් දිනක සඳහන් කර සිටියේ කුඹුරු ගොවිතැන පමණක් නොව පවතින නියඟය හේතුවෙන් පොල්ගෙඩියට පවා හානි සිදු වී ඇති බවත් දැනට සිදු කර ඇති සමීක්ෂණ අනුව පෙන්වාදී ඇති හානියට වඩා වැඩි හානියක් සමීක්ෂණ අවසානයේ දකගත හැකිවනු බවත්ය. එහිදී වැඩිදුරටත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හානියට පත් සියලු වගාවන් සදහා වගා හානි පිරිනැමීමට තරම් ආර්ථික ශක්තියක් මේ වනවිට රට තුළ නොමැති බැවින් වගා හානි පිරිනැමීම කෘෂිකර්ම භෝග කීපයකට පමණක් සීමා කරන්නට සිදුවන බවය.

අප ගොවියන්ගේ හඬට සවන් දීමට තීරණය කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙරට මහ පොළොව අස්වැද්දීම පිණිස දිවා රෑ වෙහෙසන ගොවි ජනතාව අතරින් අහඹු ලෙස මුණගැසුණ ගොවීන් කිපදෙනකු සමග අප ඒ සම්බන්ධව සිදු කළ කතාබහ තුළ ඔවුන් මේ වනවිට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධව වැදගත් කරුණු කාරණ රැසක් හෙළිදරව් කර ගැනීමට හැකි විය.

ඈත රජරට පමණක් නොව මැද රට, රුහුණ ආදී ප්‍රදේශවල සරු පස අස්වැද්දීම පිණිස දහදිය හෙළන ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ ගැටලුව ‘එකක්’ බව හොඳින්ම පැහැදිලි වන්නේ එම පිරිස අතරින් කිපදෙනකුත් සමග සිදු කළ එම කතාබහෙන් අනතුරුවය. පළමුව එම කතාබහ ආරම්භ වන්නේ වලවේ කලාපය මුල්කර ගනිමින්ය. එහිදී අදහස් දැක්වූ වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක මහතා, ‘වලවේ කලාපයට පමණක් නොවෙයි රටේ දිස්ත්‍රික් 18 ක් ආවරණය වෙන පරිදි මේ වනවිටත් දැඩි නියඟයක් පැතිරෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වී ගොවිතැනට වැඩිම හානියක් වෙලා තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඒ පළාතේ ගොවියන් මේ පාර තමන්ගේ වී අස්වැන්න ගෙට ගන්න බැරි වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කියන විදිහට අක්කර 20,000ක කුඹුරු ගොවිතැන කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පමණක් මේ වනවිට විනාශයට පත් වෙලා ඉවරයි. වලව කලාපය කියන්නෙත් ගොවි පවුල් 45000ක් ජීවත් වන ප්‍රදේශයක්. නමුත් පසුගිය දවස්වල මාධ්‍ය මගින් අපි දැක්කා උඩවලව කලාපයේ වගා භූමි ප්‍රමාණය අක්කර 14667.50ක් විනාශයට පත් වෙලා තිබෙනව කියල. ඒ හේතුවෙන් ගොවියන් 5867ක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා. සතියකට පමණ පෙර තමයි ඒ සංඛ්‍යා ලේඛන මාධ්‍යයට නිකුත් කරලා තිබුණේ. නමුත් ඒ වෙද්දිත් ඒ සංඛ්‍යා ලේඛන වැරදියි. දැනට කරන ලද සමීක්ෂණවලට අනුව ඒ සංඛ්‍යා ලේඛන ලබා ගත්ත කියලා තමයි ඇමැතිතුමා කියන්නෙ. එහෙම කියලා ආණ්ඩුව ඇඟ බේරගන්න හැදුවට ගොවියෝ වශයෙන් අපි දන්නවා මේ පළාතට වෙච්ච හානියේ තරම කොච්චර ද කියලා.’

මේ පළාතේ කුඹුරු අක්කර තුන් හාරදාහක් බේර ගත්තා. ගොවියගේ උත්සාහය මත තමයි එහෙම කර ගත්තෙ. නමුත් කලට වෙලාවට වතුර ටික නොලැබීම හේතුවෙන් ඒ කුඹුරු ප්‍රමාණයෙන් වෙනදට ගත්ත අස්වැන්න මෙදාපාර ගන්න බැරි වුණා. තමන් ළඟ තිබුණ අන්තිම සතයත් වියදම් කරලා වෙනදට ලැබෙන අස්වැන්නෙන් භාගයක් බේර ගත්තට මේ වී ටික කොටල හාල් බවට පත් කරද්දී ඒකෙන 50%කට වැඩ ප්‍රමාණයක් සත්ව ආහාර විදිහට තමයි ගෙදර ගෙනියන්න වෙන්නෙ. නමුත් රජය කියනවා අර්ධ හානි සිදුවූ අයට වන්දි දෙන්නෙ නෑ කියලා. නමුත් ගොවියෝ වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා අස්වැන්නට වෙච්ච හානිය ගැන සලකා බලලා ඒ අයටත් වන්දි මුදලක් ලබා දෙන්න කියලා. රටේ ලොකු කුඩා ගංගාවන් 103 ක් තියෙනවා. වැව් අමුණු 33,000ක් තියෙනවා. එහෙම රටක මාස දෙකක් වැස්ස නැත්නම් ගොවියාට වගා කර ගන්න වතුර ටික නෑ. වී අස්වැන්න විනාශ වෙන්න මාසෙකට පෙර අපි රජයට කිව්ව වගාව විනාශ වෙන්න යන්නෙ ඒ හින්ද වතුර ටික දෙන්න කියලා. වෙන මොකුත් අපි ඉල්ලුවෙ නෑ. වතුර ටික විතරයි ඉල්ලුවෙ. අපි කියපු කතාව පිළි අරගෙන වතුර ටික දෙනකොට ප්‍රමාද වැඩියි. ඒ වෙද්දී වෙන්න ඕන විනාශය වෙලා ඉවරයි.”

ජනක චින්තක ( කුඹුරු හිමියෙක්)

‘මම කුඹුරු අක්කර දෙකක් වගා කළා. නමුත් නියඟයෙන් වගාව බේර ගන්න බැරි වුණා. වැඩිම වුණොත් මේ පාර කුඹුරු අක්කර දෙකෙන් බත් කන්න වී කවර හතරක් පහක් හදා ගන්න පුළුවන්. ලක්ෂ තුනහතරක් වියදම් කරලා වී කවර පහක් ගෙට අරන් දුප්පත් අපි මොනවා කරන්න ද තෙල් ටික පොහොර ටික ගත්තෙ කනකර උකස් කරලා. මහවැලියෙන් බෙදා දුන්න වතුර ටිකත් බලපුළුවන්කාරයෝ ගත්තා. අද වෙද්දී මේ පළාතේ ජල කළමනාකරණය මහවැලියෙන් ගිලිහි ගිහින් ඉවරයි. අද වෙනකම් ඇළක් වේල්ලක් පිළිසකර කරලා නෑ. එදා අඩි හයක් තිබුණ ඇළ අද අඩි විස්සක් විසිපහක් විතර පුළුල් වෙලා ඇළේ ඉවුර කැඩිලා. මේ තත්ත්වය කිරිඉබ්බන් වැවට පමණක් සීමා වෙලා නැහැ. හැම තැනකම ඇත්ත තත්ත්වය ඕක තමයි.

අමරවංශ (කුඹුරු ගොවියෙක්)

‘මේ කන්නයට මමත් කුඹුරු අක්කර 2 1/2ක් වැපිරුවා. අපේ ගොවිතැන් තියෙන්නේ ඇළ ආරම්භ වෙන හරියෙ හින්ද වතුර යම් ප්‍රමාණයක් ලැබුණා. නමුත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. ලැබුණු වතුර ටිකෙන් අපිට ගොවිතැන තරමක් දුරට හෝ බේර ගන්න ලැබුණත් වෙනදට ගන්න අස්වැන්නෙන් හතරෙන් කොටසක්වත් මෙවර ගෙට ගන්න බැරි වුණා. කුඹුරු අක්කරයක් අස්වද්දන් අද කාලේ හැටියට ලක්ෂ එකහමාරකට වැඩිය මුදලක් යනවා. අවම වශයෙන් තමයි ඒ වියදම් ඊට වැඩි වෙන අවස්ථා තියෙනවා. අපි එහෙම හරි අස්වැන්නෙන් ටිකක් හරි බේර ගත්ත කියමුකෝ. ඇළේ කෙළවර වෙන්න කුඹුරු ගොවිතැන කරපු ගොවියන්ගේ වගාව සම්පූර්ණයෙන්ම මෙවර විනාශ වුණා. නමුත් ලක්ෂ එකහමාරකට වැඩිය වියදම් කරලා කුඹුරු අක්කරයක් කරපු ඒ අයට පූර්ණ වගා හානි වශයෙන් රජයෙන් ගෙවන්නේ රුපියල් හතළිස්දහසයි. අක්කරයක් වගා කරන්න යන මුදලින් හතරෙන් එකක්වත් නෑ. මේ පාර බත් වෙනුවට අපිට කන්න වෙන්නෙ පස් තමයි…”

එස්. මනම්පේරි (කෙසෙල් වගා කරුවෙක්)

අද කෙසෙල් කැනක් විකුණ ගන්න බෑ. වතුර නෑ පොහොර නෑ. ගොවියෙක් වශයෙන් කාලයක් තිස්සේ මම කෙසෙල් හා වී වගාව කරගෙන ආවෙ. ඒ වගාවන් දෙකෙන් තමයි අපේ ආදායම හදාගත්තෙ. කඹුරකින් වී ගෝනි දහයක් එදා ගත්තනම් අද ගන්න පුළුවන් දෙකයි. මේ පළාතේ අක්කර විසිතිස්දහසක කෙසෙල් වගා කරනවා. බලන්න දුකයි. වතුර නැතිව හැම ගහකම කරටි කඩා වැටිලා. ඇඹිලිපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෝ බිහිවුණේ කෙසෙල් වගාවෙන්. අද අපිට බැංකුවකටවත් යන්න බෑ. ණයකාරයෝ වෙලා ඉවරයි. එදා එහෙම නෑ. කෙසෙල් වගාකරුවන්ට හොඳ පිළිගැනීමක් තිබුණා.

ජී. ඩබ්. සිරිසෝම (ගම්මිරිස් වගාකරුවෙක්)

මගේ ගම්මිරිස් අක්කර තුනක් තිබුණා. නියඟයෙන් ඒ අක්කර තුනම විනාශයි. මේ ප්‍රදේශයේ ගම්මිරිස් වගාකරුවෝ හාරපන්සියක් ඉන්නවා. ආසාවට ගම්මිරිස් අල්ලක් කඩා ගන්න එක වැලක්වත් මේ පාර ඉතිරි වුණේ නෑ. ඒ විතරක් නොවෙයි අපිට වගා වන්දි ගෙවන්නෙත් නෑ. පසුගිය දවස්වල ගම්මිරිස් කිලෝ එකකට රුපියල් 2000ක වගේ මිලක් තිබුණා. අපිට ඉදිරියේ ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ. අලුතින් ගම්මිරිස් වගා කරලා අස්වැන්නක් ගන්න වසර දහයක්වත් යනවා. ගම්මිරිස් පමණක් නොවෙයි. පොල්, පුවක්, කෙසෙල් මේ හැම වගාවකම මේ පාර කරටි කඩා වැටුණා. මේ වගේ විනාශයක් මතක ඇති කාලෙක වෙලා නැහැ.

ඉන්ද්‍රසිරි ( කුඹුරු හිමියෙක්)

වී විතරක් නොවෙයි…වගා සියල්ලම කම්බස්

පහුගිය මැයි මාසේ වැටුන අහස් දියෙන් අපේ රටේ ජලාශ වැව් අමුණු වාන් දැම්මා. නමුත් ඒ වතුර ටික මාස තුනක් රඳවා ගන්න රජයට වැඩපිළිවෙළක් නෑ. අන්තිමට මොකද වුණේ රටේ ප්‍රධානම කෘෂිකර්ම භෝගය මත වී ගොවිතැන විනාශයට පත් වුණා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි රටේ කෘෂිකර්මාන්තය විනාශ වීම. රජයට මේ ගැන වගේ වගක් නෑ. මගේ පුද්ගලික විශ්වාසය තමයි ගොවි වන්දි නොදී හරි ඒ මුදලින් ඔය ජලාශ ටික හාරලා රොන්මඩ ඉවත් කරා නම් ගොවියට ඉදිරියට හරි තමන්ගෙ වගා කටයුතු කරන්න පුළුවන් කියන එක. මට මතක ඇති කාලෙ වැව්වල පතුල පේන තරමට රටේම වැව් ටික තුන් පාරක් හිඳිලා ගියා රොන්මඩ ඉවත් කරන්න ඒක තමයි හොඳම වෙලාව. ඒ ඉවත් කරන රොන්මඩ ටික ගොවියට දෙන්න. අපි සල්ලි දීලා ගන්නම්. මොකද රොන්මඩ කියන්නෙ හොඳම කාබනික පොහොරක්. ගොවියට දීලා ඉවර කරන්න බැරි නම් ඉතිරිය අරන් ගිහින් මුඩු බිම්වලට හලන්න. ඊට පස්සෙ එතැන වගා කරලා බලන්න. අස්වැන්න ගන්න පුළුවන්.

කෘෂිකර්ම ඇමැති කියනවා භෝග හයකට පමණක් වන්දි ගෙවනවා කියලා. අපේ රටේ එළවළුවලින් 90%ක් වගා කරන්නෙ අපේම ගොවියෝ. අද තක්කාලි ගෙඩියක් ,මිරිස් කරලක් ,වම්බටු ගෙඩියක් නෑ. ඒ මිනිස්සු තමන්ගේ වගාව කරන්නෙ 10% පොලියටයි. සල්ලි අරන් මේක හම්බන්තොටට අනුරාධපුරයට පමණක් සීමා වෙච්ච විනාශයක් නොවෙයි. රටේ දිස්ත්‍රික් 18ක තත්ත්වය ඕක තමයි. රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වෙන පරිදි දීර්ඝ වැඩපිළිවෙළක් අවශ්‍යයි. නමුත් එහෙම දෙයක් වෙන පාටක් පේන්න නෑ. රජයට ඕන වෙලා තියෙන්නෙ කෘෂිකර්මය නංවන්න නොවෙයි විනාශ කරන්න. මේ සිද්ධ වෙන දේවල්වලින් ඒක හරි පැහැදිලියි. ගොවියා කියන්නෙ ස්වභාව දහමත් එක්ක බද්ධ වෙලා තමන්ගේ කර්මාන්තය කරගෙන යන පිරිසක්. ඒ හින්ද නියඟයත් එක්ක අපි උරන වෙන්නෙ නෑ. අපි කියන්නෙ වසරින් වසර උදාවෙන නියඟයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලයි. ඒකට දැනට තියෙන හොඳම විකල්පය තමයි රජරට, රුහුණ විතරක් නොවෙයි, රටේම තියෙන ජලාශ වැව් අමුණු ටික හදන ඒක. සප්තමහා සාගරය ගොඩ කරලා වරාය නගර නිර්මාණය කරන්න පුළුවන් රටක කෘෂිකර්මය වෙනුවෙන් වැවක් අමුණක් ප්‍රතිසංස්කරණය කරන්න බැරි නම් ඒ රටට මැති ඇමතිවරුර මොකට ද?

● මී ගව පාලනය

හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්කයන් මෙන්ම රජරට අනුරාධපුරය, පොලොන්නරුව දිස්ත්‍රික් තුළ මී ගව පාලනය බෙහෙවින් සිදුවන්නක්ය. ග්‍රාමීය කර්මාන්තයක් පමණක් නොව බොහෝ දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස ද සැලකෙන මී කිරි නිෂ්පාදනය ද පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අඩාල වී ගොස් ඇත. එම ප්‍රදේශවල ජනතාව ‘මී ගව සම්පත’ නමින් හඳුන්වන එම කර්මාන්තය දැනට පවතින නියඟය හේතුවෙන් නිසියාකාරව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. ප්‍රධාන වශයෙන් මෙරට මීගව පාලනය කරන දිස්ත්‍රික් කීපය නියඟයෙන් දැඩි ලෙස පීඩා විඳින තත්ත්වයක් තුළ තිස්සමහාරාමය, වීරවිල, තණමල්විල, මාගම්පත්තුව, උඩවලව ආදී ප්‍රදේශ මෙන්ම අනුරාධපුර මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ද කිරිගව පාලනය මුළුමනින්ම ඇණහිට ඇත. වැව් සහ අනෙකුත් ජල මූලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් කිරිගව පාලනයේ නිරත කිරි ගොවීන් තම කිරි ගවයන්ට ආහාර හා ජලය සපයා දීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණ දී ඇත. ඒ හේතුවෙන් මධ්‍යම නුවරගම් පළාත ගම්මාන රැසක් වන මානින්ගමුව, කුඩා හල්මිල්ලෑව ඇහැටුවැව, මහහල්මිල්ලෑව, ලෝලුගස්වැව ආදී ප්‍රදේශවල කිරි ගව පාලනයේ නිරත ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත. අවශය තෙතමනය නොමැතිවීම හේතුවෙන් තණපිටි මුළුමනින්ම විනාශයට පත්ව තිබීමත් වැව් පොකුණුවල ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහළ බැසීමත් එම තත්ත්වයට මූලික හේතුව බවට පත්ව ඇත.

ඉහත විස්තර කරන ලද්දේ තවමත් රටේ ප්‍රදේශ කීපයක් මුල්කර ගනිමින් පවතින දැඩි නියඟයත් ඒ හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳ දුක්මුසු කතාවය. රජරට වැව් අමුණු දස දහස් ගණනක් ඇතත් ඉන් බොහෝමයක වැව් පතුල් මේ වනවිටත් ඉරිතලා අවසන්ය. උඩවලව, තණමල්විල, ඇඹිලිපිටිය. හම්බන්තොට ආදී බහුල ලෙස වගා බිම් සහිත ප්‍රදේශවල තත්ත්වය ද ඊට සමානය. වගා බිම් පමණක් නොව දිය සිඳුණු පොළොව මත පිහිටා ඇති රූස්ස ගස් පවා පිපාසිතවය. රජය පෙන්වා දෙන ගණන් ඉලක්කම් ඉක්මවා ගිය විනාශයක් මෙරට කෘෂිකර්මාන්තයට අත්ව ඇති බව පැහැදිලි වන්නේ කොළඹින් බැහැර ඈත ගම්බිම්වල ජීවත් වන ගොවි ජනතාවගේ ඇත්ත කතාව අසා සිටිනවිට ය.

නියඟය යනු එදත් අදත් හෙටත් රට තුළ දකින්නට ලැබෙන ස්වභාවික සංසිද්ධියක්ය. ගොවි ජනතාව ඒ බව හොඳින්ම දන්නා කරුණක්ය. වරක් කාබනික පොහොර ව්‍යාපෘතියක් හේතුවෙන් මෙරට වගාබිම් නිසරුවට පත්වූවා සේම මෙවර එම විපත ගොවි ජනතාව මත කඩා පාත්ව ඇත්තේ ‘නියඟය’ ලෙසින්ය. මේ වනවිට තැන තැන වැසි ඇද වැටෙන තත්ත්වයක් පැවතිය ද රටේ දිස්ත්‍රික් කිහිපයක් තවමත් පවතින්නේ දැඩි වියළි කාලගුණික තත්ත්තවයක් තුළය. වරාය නගර ඉදිවුව ද ගොවිතැන නැති රටකට හෙටක් නැත. එබැවින් මේ වනවිට මෙරට කෘෂිකර්මාන්තයට සිදුවී ඇති හානියට පූර්ණ ලෙස වන්දි ගෙවීමට රජය අසමත් වෙතත් මහ කන්නයේ සිටවත් මෙවන් විපත් සිදු නොවන ලෙස කෘෂිකර්මයට හරි පාර පෙන්වීම යුතුකමට එහා ගිය වගකීමක් ලෙස කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment