වෙඩි කෑව දෙමටගොඩ කමල්ගේ ගිනිඅවි සොයාගැනේ

566

ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයකුව සිටි දෙමටගොඩ කමල් නමැත්තා විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස් ඝාතන රැසක් සඳහා යොදාගත් බවට සැකකරන විදේශයක නිෂ්පාදිත ස්වයංක්‍රිය පිස්තෝල දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ස්වයංක්‍රිය අවි දෙක සඟවාගෙන සිටි වාහන සේල් හිමියකු සහ ව්‍යාපාරිකයකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන අයෙකි. අනෙක් පුද්ගලයා හොරණ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

දෙමටගොඩ කමල් නමැති පාතාල නායකයා මීට වසර කීපයකට උඩදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්විය. මෙම පාතාල නායකයා කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක මිනිස් ඝාතන ගණනාවක් සඳහා යොදාගත් පිස්තෝල දෙක මොහු ඝාතනයට ලක්වීමෙන් පසු අතුරුදන්ව තිබිණි.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු සතුව ඉන් එක් අවියක් තිබෙන බවට ලැබුණු තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී සොයාගැනීමට හැකි විය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම අවිය දෙමටගොඩ කමල් නමැති පාතාල නායකයාට අයත්ව තිබූ එකක් බව හෙළි වී තිබේ.

ලලිත් කන්නංගර නමැති පාතාල නායකයාගෙන් එල්ල වී තිබෙන ජීවිත තර්ජන නිසා මෙම අවිය තම ආරක්ෂාවට සන්තකයේ තබාගෙන සිටි බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් ගිනිඅවිය හොරණ, දඹර, මීවනපලාන ප්‍රදේශයේ පුද්ගලයකු සතුව තිබී සොයාගැනීමට හැකි විය.

ගිනිඅවිවලට තමන් දක්වන ආශාව නිසා එය සන්තකයේ තබාගෙන සිටි බව සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින මෙම සැකකරුවන් දෙදෙනා පෙර වැරදි කිසිවකට සම්බන්ධ අය නොවන බව විමර්ශනවලින් හෙළි වී ඇත. හොරණ සහ හංවැල්ල පොලිසි මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment