වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ නසී  

233

ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී වෙඩි වැදී බරපතළ තුවාල සහිතව ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙක් බැව් කියන සමන් රෝහිත පෙරේරා හෙවත් “පස් පොඩ්ඩා” පෙරේදා (27 වැනිදා) සවස මියගොස් තිබේ.

ගම්පහ මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩුවකට පෙනී සිට ආපසු නිවස බලා යමින් සිටියදී වැගන්ආර් රථයකින් පැමිණි සන්නද්ධ මැර කල්ලියක් විසින් ටී 56 ගිනි අවියකින් පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනකුට වෙඩි තැබුවේ පෙරේදා (27 වැනිදා) දහවල් 12.30 ට පමණය.

පාතාල කල්ලි අතර ඇතිව තිබෙන ආරවුලක් මුල් කරගෙන විරුද්ධ පාතාල කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

“පස් පොඩ්ඩා” නමැති මියගොස් සිටින පුද්ගලයාට අමතරව වෙඩි වැදුණු අනෙක් තිදෙනාද බරපතළ තුවාල සහිතව ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයද බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මියගොස් සිටින සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා නමැත්තා ගණේමුල්ල සංජීව නමැති පුද්ගලයා මෙහෙයවන පාතාල කල්ලියේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් කුලී මිනීමැරුම්, කප්පම් ගැනීම්, පස් ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකටම චෝදනා ලැබ සිටින අපරාධකරුවකු යැයිද පොලිසිය පවසයි.

ඩුබායිවලට පලා ගොස් සිටින පාතාල කල්ලි නායකයකු විසින් දෙන ලද උපදෙස් මත පස් පොඩ්ඩා ඇතුළු සිවුදෙනාට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. ඩුබායිවල සැඟවී සිටින බව කියන මෙම පාතාල නායකයාගේ පියා වසර කිහිපයකට උඩදී පස් පොඩ්ඩා ඇතුළු පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි හෙළි වී තිබේ.

ඝාතනයට ලක්ව සිටින පාතාල සාමාජිකයකු බව කියන පස් පොඩ්ඩා ඇතුළු සිව්දෙනා පෙරේදා (27 වැනිදා) ගම්පහ මහාධිකරණයට පැමිණ ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන අසිත නමැත්තා ඇතුළු පිරිසක් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බසයකට වෙඩි තබා සිදු කරනු ලැබූ ඝාතනයක් සම්බන්ධ නඩුවකට පෙනී සිටීමටය. එහිදී බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්විය.

බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරති. ගම්පහ මහාධිකරණය ඉදිරිපිට මහදවාලේ සිදු කළ මෙම ඝාතනයට සම්බන්ධ පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද කිසිම අපරාධකරුවකුට නීතියෙන් බේරී පලා යෑමට ඉඩ නොතබන බවද විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම් කියා සිටිති.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment