වෙඩි තියන මිනී මරණ එක අවම බලයද? – විපක්‍ෂ නායක මැති සබයේදී අසයි

74

මේක ජන ඝාතක ත්‍රස්තවාදී ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගරු කථානායකතුමනි, ආරම්භයේදීම ප්‍රසන්න රණතුංග මේ සභාවට ඉදිරිපත් කළ කරුණු අපි සමගි ජන බලවේගය සහ විපක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා කළේ සම්පූර්ණයෙන්ම මේ සභාව නොමඟ යැවීමක්.

ගරු කථානායකතුමනි,

කරදගස්තැන්න – නාරම්බැද්ද – හිරිවඩුන්න, රඹුක්කන ජීවත් වුණු කේ.ඩී. චමින්ද ලක්ෂාන් දරුවන් දෙදෙනකුගේ පියෙක්. නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු, තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය, කතා කිරීමේ නිදහස උද්ඝෝෂණ කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණු පුද්ගලයෙක්. අපි පැහැදිලිවම කියන්නට කැමැතියි මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වගකියන්නට ඕනේ රාජපක්ෂ රජයේ ම්ලේච්ඡත්වය සහ රාජ්‍ය ත්‍රස්තවාදය බව.

ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තිබෙන්නේ අවම බලය ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමැතියි වෙඩිතියන එක, මිනීමරන එක අවම බලයද? ම්ලේච්ඡත්වය අවම බලයද, රාජ්‍ය ත්‍රස්තවාදය අවම බලයද කියලා. මම දන්නවා ගරු කථානායකතුමනි, මේවා අහන් ඉන්න බැරි නරි, හිවල්ලු කෑ ගහනවා. ඒවට අපි සැලෙන්නේ නෑ. ඔය ආසනේ ඉඳන්ම රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගය කතා කරපු හැටි ඒ අය දන්නෙ නෑ. ඒ නිසා නරි කෑගැහුවට මම බය නෑ.

ගරු කථානායකතුමනි, මම කියන්න කැමතියි මේ ම්ලේච්ඡ, ත්‍රස්තවාදී ආණ්ඩුව මේ මිනීමරන ආණ්ඩුව අද කරන්නේ රටේ ජනතාව මර්දනය කිරීම. මිනීමරන එක අවම බලයද? ටී.56 උණ්ඩ පාවිච්චි කරන එක අවම බලයද? කවුද වෙඩි තියන්න බලය දුන්න එස්.එස්.පී.? මොකක්ද එස්.එස්.පීගේ නම? එස්.එස්.පී. කාගේ කවුද? මොකක්ද එස්.එස්.පී.ගේ සම්බන්ධතාව. මේවා ගැන කරුණාකරලා එළිදරව් කරන්න.

ගරු කථානායකතුමනි, මම කියන්න කැමතියි දැන් ජන පීඩක ආණ්ඩුව දැන් ජන ඝාතක ආණ්ඩුවක් වෙලා. අලුත් පොලිස් ඇමැති මෙහෙමද වැඩ ඇල්ලුවේ? මිනී මරලද වැඩ පටන් ගත්තෙ කියලා මම අහන්න කැමතියි.

ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව දන්නෙ නැද්ද මානව අයිතිවාසිකම් රකින්න ඕනේ කියලා.

ගරු කථානායකතුමනි, මම අහන්න කැමති මේ ආණ්ඩුව දන්නෙ නැද්ද අයි.එම්.එෆ්. සාකච්ඡාව යනවා කියලා. භාෂණයේ, ප්‍රකාශනයේ නිදහස තියෙනවා කියලා මේ ආණ්ඩුව දන්නෙ නැද්ද? මේ මිනිස්සු පාරට ආවේ බවුසර් ගිනි තියන්න නෙවේ. කිරි ටික, සීනි ටික, හාල් ටික, තෙල් ටික, ගෑස් ටික ගන්න. මාස ගණනාවක් පෝලිම්වල හිටපු මිනිස්සු මේ ආණ්ඩුව හිතාමතාම පීඩනයට, තර්ජනයට, ගර්ජනයට, මර්දනයට දැන් ඊයේ දවසේ මිනී මරන්නට පටන් අරගෙන. මම කියනවා මේ රටේ තියෙන්නේ මිනීමරු ආණ්ඩුවක්. මේ මිනීමරු ආණ්ඩුව අපි ඉදිරියේදී ජන බලයෙන් ජන සවියෙන් ඉවත් කරනවා.

ගරු කථානායකතුමනි, මම අහන්න කැමතියි මේ ආණ්ඩුව මිනී මරලා බලයේ ඉන්නද හදන්නේ. බලය රැකගන්නද හදන්නේ. මම මතක් කරන්න කැමති මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවෙම කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගන්ඩාවට ජලය ලබාදුන් ඉතිහාසයක් තියෙනවා. හැබැයි රතුපස්වල ජනතාව ජලය ඉල්ලනකොට මරලා දැම්මා. ධීවරයෝ ඉන්ධන සහනාධාර ඉල්ලනකොට වෙඩි තිබ්බා. මරලා දැම්මා. රොෂාන් චානකව මතකද. ඒ කරපු මිනීමරු ක්‍රියාවන් මතකද? ලසන්ත වික්‍රමතුංගව මැරුවා. ලලිත්ලව කූගන්ලව මැරුවා. මාධ්‍යවේදීන් මර්දනය කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මේ රඹුක්කනින් දුන්න සංඥාව තමයි ජන අරගලයටත් ගහනවා කියන එක. අපි කියනවා එහෙම සංඥා දෙන්න මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. ජන අරගලය ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත්, සමස්ත විපක්ෂයත් පලිහක් හැටියට ඉන්නවා.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment