වෙනසක් අවැසි ලාංකේය පාසල්

188

අධ්‍යාපනය යනු පුද්ගල ජීවිත සාර්ථකව බලගැන්වීමේ එන්නතයි. නමුත්, එය හුදෙක්ම පොත පතට පමණක්ම සීමාවූවක් නොව පොත පතින් ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීමක් ලෙස නිවැරදිව අර්ථකථනය විය යුතුය. මෙතෙක් කලක් අපරට තුළද එවන් අධ්‍යාපන ක්‍රමයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නම් අද වන විටත් බොහෝ දරු දැරියන්ට අනාගතය ජයගැනීමේ දොරටු කල්තියා විවර වී අවසන්ය. ඒ කෙසේ වෙතත්, අධ්‍යාපනයේ මූලික අඩිතාලම සියල්ලටම පෙර ශක්තිමත් විය යුතුය. එනම්, පාසල තුළින් සිසුවාට අධ්‍යාපනය ලබන්නට නොව අධ්‍යාපනය මුළුමනින්ම අත්විඳින්නට ඉඩ ප්‍රස්තාව විවර විය යුතුය.

ලාංකේය පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සිසුවා පමණක් නොව ගුරුවරයාද රාමුවක සිරවී ඇත. ලොව අනෙකුත් රටවල පාසල් අධ්‍යාපන ක්‍රම සමග සසඳා බලන කල්හි අපරට තුළ පවතින පාසල් අධ්‍යාපන ක්‍රමය යල් පැනගිය ස්වභාවයකින්ද, නව ප්‍රවණතා අත්හදා බැලීමේදී තරමක් මන්දගාමී ස්වභාවයකින්ද පරිපූර්ණ වී ඇත.

රජය විසින් වසරක් පාසා පාසල් දරු දැරියන් සඳහා තිළිණ කෙරෙන පෙළ පොත් මයිනන් ගිරවුන් මෙන් වනපොත් කොට කඩයිම් විභාග ජයගෙන විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම ලාංකේය අධ්‍යාපයේ සාම්ප්‍රදායික ගමන් මාවතයි. එය මුළුමනින්ම චක්‍රීය ගමන් මාවතක් මිස මෙතෙක් කලක් එහි කැපී පෙනෙන දියුණුවක් සිදු නොවුණි. මෙම ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් කොතරම් ප්‍රතිසංස්කරණ අධ්‍යාපන වේදිකාවට ගෙන ආවද දිගුකාලීනව ඒවා පවත්වාගෙන යෑමට අපට නොහැකිවී ඇත. අඛණ්ඩව මෙවැනි ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යෑමට නම් ගුරුවරයා හා සිසුවා එම නව ප්‍රතිසංස්කරණ සමග යුහුසුළුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම, වාර අවසානයේ ලබාදෙන ප්‍රශ්න පත්‍රයකින් පමණක් සිසුවාගේ ප්‍රගතිය සටහන් කිරීම තවදුරටත් සිදුකෙරෙන අනුවණ ක්‍රියාවකි. එමගින් සිදු කෙරෙන්නේ සිසුවා මානසික වශයෙන් සිරකර තැබීමකි. මෙහිදී අනවශ්‍ය ලෙස පීඩනයට ලක්වන සිසුවා තුළ ආකල්පමය වශයෙන් හෝ චර්යාත්මක වශයෙන් ධනාත්මක සංවර්ධනයක් සිදුවනු දැකීම ඵල රහිත වී ඇත. වර්තමාන සිසු දරුපරපුර තුළ මුල්බැසගත් ලකුණු පසුපස හඹායෑමේ තරගකාරී මානසිකත්වය අතුගා දමා ඒ ඒ සිසුවාට අනන්‍ය කුසලතා වැඩිදියුණු කර ගනිමින් ස්වකීය අනන්‍යතාවක් පාසල තුළදීම ගොඩනඟා ගැනීම සඳහා ඉඩ ලබාදීම මානුෂීය කාරණාවකි.

විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි සංකීර්ණ යැයි සැලකෙන විෂයන්හිදී පමණක් නොව කලාව, සෞන්දර්යය, ක්‍රීඩාව, තාක්ෂණය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේද දක්ෂතා දක්වන දරු දැරියන්ට එක සමාන වරප්‍රසාද ලබාදී සවිබලගැන්වීම අත්‍යවශ්‍ය වී ඇත. සිසුවාට අධ්‍යාපනයේ න්‍යායාත්මක පැතිකඩ පමණක් නොව තමා න්‍යායාත්මකව උකහාගත් දැනුම ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සඳහා ඉඩ විවර කිරීම තුළින් උපරිම ප්‍රගතියක් ළඟාකරගත හැකි බව නොඅනුමානය.

එලෙස ප්‍රායෝගික වශයෙන් අභ්‍යාස, පැවරුම්, ව්‍යාපෘති ආදිය මග නොහැර ඒකල වශයෙන් හෝ සමූහ ලෙස සිදුකිරීමට අවශ්‍ය පහසුකම් හා වටපිටාව සෑම සිසුවෙකුටම ලබාදිය යුතුය. විද්‍යාව වැනි විෂයන් සඳහා නියමිත පර්යේෂණ අත්හදා බැලීමටත්, එම පරීක්‍ෂණ සිදු කරන ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමටත් පාසල් දරු දැරියන් අතිශය ප්‍රියතාවක් දක්වයි. ඒ සඳහා තවමත් අවශ්‍ය විද්‍යාගාර පහසුකම් හෝ අන්තර්ජාල පහසුකම් දිවයිනේ දුෂ්කර පාසල් තුළ නොතිබෙන්නට පුළුවන. නමුත්, තවමත් ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන් විසින් කැපවීමෙන් සොයාබලා කටයුතු නොකරන්නේ මැන්දැයි ප්‍රශ්නාර්ථයකි. ගුණාත්මක පාසල් අධ්‍යාපන ක්‍රමයක පෙරනිමිති දැකබලා ගැනීමට නම් ඒ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් විසින් ඔවුන්ට පැවරී ඇති කාර්යභාරය වගකීමෙන් යුතුව තම හෘදසාක්ෂියට අවනතව ඉටුකළ යුතුය. එපමණක් ද නොව, අනාගතය විනිවිදව දකින වගකීම් සහගත අභිමානවත් ගුරු පරපුරක් හිමි ලාංකේය පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ තවදුරටත් ශිෂ්‍යයා හා විෂය නිර්දේෂය හුදෙකලාව දෙතැනක මංමුලාවී සිටිනු දැකීම උචිත නොවේ. තම චින්තනය මෙහෙයවා ස්වාධීනව කටයුතු කිරීම සඳහා ගුරුවරයා විසින් ශිෂ්‍යයාට අදාළ විෂය පථය තුළ දී අත්වැලක් විය යුතුය.

ඉහළ සාක්ෂරතාවයකින් පරිපූර්ණ නිර්මාණශීලී අගනා පුරවැසියෙකු රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජාතියට දායාද කිරීම පාසල තුළින් ඉටුවිය යුතුමය. වරප්‍රසාද ලත් රැකියා හිමි තෘප්තිමත් පුරවැසියකු එලෙස බිහිවීම තුළින් සිදුවන්නේ අධ්‍යාපනය යනු කුමක් දැයි නිවැරදිව අර්ථකථනය වීමකි.

මේ පරිද්දෙන් නවමු සංකල්ප ලාංකේය පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ රෝපණය කිරීමෙන් හා ගෝලීය වශයෙන් දැකගත හැකි නව අධ්‍යාපන ප්‍රවණතා අප රටට උචිත පරිදි යොදාගැනීමෙන් අත්වන ප්‍රතිඵල සුළුපටු නොවේ

● පමෝදි සසදරා

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment