වෙනිවැල්පිටියේ එන්නත ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

53

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියන් සඳහා ලබාදුන් ‘එච්.පී.වී. එන්නත’ හේතුවෙන් ඔවුන් සංකූලතාවන්ට ලක්වූයේ දැයි සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

අදාළ එන්නත ලබාදුන් සිසුවියන් විසිහය දෙනකු අතුරින් පස්දෙනකු පසුව රෝගාතුරවී ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස ගත හැකි වුව ද රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පවතින අවිශ්වාස හේතුවෙන් එය පරීක්ෂාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයක් ලෙස බැහැර කළ නොහැකි බව ද එම සංගමය පවසයි.

අදාළ එන්නත ලබාදීමෙන් මඳ වේලාවකට පසු එම පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පස්දෙනකුට හිසේ කැක්කුම, උදර වේදනාව හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වී තිබෙන අතර මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් විසින් ඔවුන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මෙරටට ගෙන්වනු ලබන ඖෂධ සහ එන්නත් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව තමුන් දිගින් දිගටම පෙන්වාදෙනු ලැබූවත් ඖෂධ නියාමන අධිකාරිය ඒ පිළීබඳව තවදුරටත් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති අගමැති හරිනි අමරසූරිය මෙනෙවියගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර


advertistmentadvertistment