වෙරි සිඳුණු පසු (2)

889

කොවිඞ් 19 අස්සේ රට වසා තිබියදී රට පුරා බාර් ඇරීමට අවසර දුන්නේ කවරෙක්ද යන්න අදටත් අබිරහසක්ව තිබෙන හැටි අපි ඊයේ මේ තීරුව ඔස්සේ සාකච්ඡුා කළෙමු. ඒ හදිසි තීරණය නිසා ජනතාව අතට පත්වූ අරක්කු බෝතල් මිලියන ගණනක මූඩි කැඞීමෙන් වායුගෝලයට නිකුත් වූ fresh අරක්කු අංශු අඝ‍්‍රාණය කිරීමෙන් දෝ අපට ද වෙරි ගතියක් ඇතිවිය. දැන් ඒ වෙරි බැස ඇති බැවින් අපට අරක්කු විෂය සම්බන්ධයෙන් අවුලක් නැතිව ලිවිය හැකිය. පසුගිය ලොක්ඩවුන් කාලසීමාවේදී මිනිසුන් එළිපහලියට ගියේ ෆාමසියට යන බව පොලිසියට කීමෙනි. දැන් බාර් එකට යන බව පොලිසියට කියා එළියට යෑමේ අවකාශය නිත්‍යනුකූලවම ලැබී තිබේ. ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වුවද රාජ්‍ය මට්ටමෙන්ම පස්වැනි සිල් පදය කැඞීමට සිදුවී තිබේ. මත්පැන් අලෙවියෙන් රටට ලැබෙන මාසික ආදායම රුපියල් බිලියන 10 ඉක්මවන බව පෙනේ. මෙයින් රජයට ලැබෙන බද්ද ඉතා විශාලය. එබැවින් එදාවේල රැකගැනීමේ අදහසින් ආණ්ඩුව පස්වෙනි සිල් පදය කඩයි. මේ සම්බන්ධයෙන් අපායේ කාර්ය මණ්ඩලය කවර තීන්දුවක් ගනු ඇත්ද යන්න අපට නොතේරේ. කොහොමටත් එය ඉතින් මරණයෙන් පස්සේ නොවැ!

ශ‍්‍රී ලංකාව තුළ අරක්කු පෙරීම සහ විකිණීම නිත්‍යනුකූල කරන ලද්දේ ඉංග‍්‍රීසි ආණ්ඩුවය. ඔවුහු එක්දහස් නවසිය විසි ගණන්වලදී අරක්කු ගැලූමක් රුපියලකට විකිණීමට අවසර දී ඇත. අරක්කු වෙළඳාමේදී ඔවුන්ගේ  Prime Target එක වුණේ වතු කම්කරුවන්ය. උඩහ පළාතේ වතුවල වැඩ කළ ඉන්දියානු කම්කරුවෝ දවල්වරුවේ මත්පැන් බීමට පුරුදුව සිටියහ. ඒ සඳහා ඔවුන් අරක්කු ගුදම්වලට රිංගන විට දවසේ වැඩ කරන පැය ගණනින් පැය භාගයක් පමණ අමතරව විනාශ වූ නිසා වතු අයිතිකාරයන් තුළ ලෝභයක් උපන. එහිදී සුදු ආණ්ඩුව කළේ ජංගම අරක්කු තැබෑරුම් වතුකරයට යැවීමය. මේවා රෝද 4ක් හයිකළ නූතන අච්චාරු කරත්ත හෝ කඩල කරත්ත හා සමානය. දෙමළ කම්කරු ජනතාව දවල් කෑමට පෙර දවසේ පඩියෙන් කැපෙන්නට අරක්කු කාලක් බී දිවා ආහාරය වශයෙන් රොටියක් ගිල දැමූහ. රාත‍්‍රී කාලයේදීත් මෙය මෙසේම පුනරුච්චාරණය විය. 19 වන සියවසේදී බි‍්‍රතාන්‍යයේ කම්කරු ජනතාවගේ දෛනික ආහාරය වූයේ තැම්බූ අර්තාපල් ය. ඔවුහු උදේටත් දවල්ටත් ?ටත් තැම්බූ අර්තාපල්ම පමණක් කෑහ. බි‍්‍රතාන්‍ය සමාජ විද්‍යාඥයන් මේ තත්ත්වය හඳුන්වන්නේ පළමුවත් අර්තාපල්, දෙවනුවත් අර්තාපල්, තෙවනුත් අර්තාපල් යනුවෙනි. මේ ආකාරයෙන්ම ලංකාවේ වතු කම්කරුවන්ගේ ප‍්‍රධාන ආහාරය වුණේ පාන් පිටි රොටී ය. තුන් වේලටම රොටි කෑ ඔවුහු ප්ලේන්ටියක් බීමට පුරුදුව සිටි නමුත් පසුව එතැනට අරක්කු පැමිණියේය. ඒ නිසා ඔවුන්ගේ ජාතික ආහාරය රොටි බවටත් ජාතික පානය අරක්කු බවටත් පත්විය. ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මත්පැන් ආදායමේ අධිකාරිය සිංහල ආණ්ඩුව අතට ගියේය. ඒ අනුව අරක්කු, බීර, විස්කි යන මද්‍යපාන වර්ග තුනම මෙරටදී සාදන ලදී. 1992 දී ආණ්ඩුවට ලැබුණු මත්පැන් බද්ද රුපියල් බිලියන 10.4 කි. වසර 2002 දී එම ආදායම රුපියල් බිලියන 52.3 කි. මේ සියලූ දේවල් අතර ඇති වැදගත්ම දත්ත වන්නේ ශ‍්‍රී ලංකාවේ පරිහරණය කෙරෙන මද්‍යසාර වලින් 50%ක් ම හොර අරක්කු හෙවත් කසිප්පු බවය. 2002 දී මේ රටේ ජනයා බීර ලීටර් පන්කෝටි හැට හත් ලක්ෂයක් පානය කළහ. අරක්කු ලීටර් පන්කෝටි හැටහය ලක්ෂයක් පානය කළහ. ඒ අවුරුද්දේ ඔවුන් පානය කළ රා ප‍්‍රමාණය ලීටර් හැත්තෑ ලක්ෂයකි. රට බීම ප‍්‍රමාණය ලීටර් තිස් ලක්ෂයකි. මේ අනුව මේ රටේ ජනයා වතුරවලට වඩා මත්පැන් පානය කරන බවට ඔබ තුළ සැකයක් ඇතිවෙනවා ඇත. මේ සැකය යුරෝපයේ සමහර රටවල දී සැබෑවක් බවට පත්වෙයි. උදාහරණයක් වශයෙන් ජර්මනියේ වැඩිහිටි ජනතාව වතුර වලට වඩා බීර බොයි.

කොවිඞ් කාලයේදී බාර් ඇරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විරෝධය පළකර තිබුණි. එමගින් ගෘහස්ථ හිංසනය ඉහළ යන බව ඔවුන්ගේ මතයයි. කට ගොන්නක් බීගෙන ගෙදර විත් සිය බිරිඳට පහර දී දූ දරුවන් වෙත ප‍්‍රචණ්ඩත්වය මුදාහරින තිරිසන් පිරිමි අදටත් ලෝකයේ හැම රටකම සිටිති. හැබැයි මෙවැනි ඇතැම් පිරිමියෙක් බිරියගෙන් හෝ දරුවකුගෙන් මන්නා පාරක් කා මිය යයි. මේ සියලූ කරුණු අතර අපගේ අවධානය යොමුවන්නේ සිරෝසිස් වෙතය. කසිප්පු බිව්වත් අරක්කු බිව්වත් විස්කි බිව්වත් අවසන් පලය වන්නේ සිරෝසිස් ය. මත්පැන් සහ දුම්වැටි විකිණීමෙන් ආණ්ඩුවට ලැබෙන බදු ආදායමට වැඩි මුදලක් මත්පැන් සහ දුම්වැටි නිසා හැදෙන ලෙඩ සඳහා ප‍්‍රතිකාර කිරීමට වැයවන බවට ආරංචියක් තිබේ. බාර් ඇරපු එක හොඳ බවත් නැත්නම් කසිප්පු අලෙවිය වැඩිවන බවත් පොහොට්ටු මන්ත‍්‍රීවරයකු කියා තිබිණ. එය ගොන් කතාවකි. කසිප්පු යනු වෙනම සමාජ ස්ථරයකි. අරක්කු තහනම් කළත් කසිප්පු තහනම් කළ නොහැක. කළ හැකි එකම දෙය එය නිත්‍යනුකූල කිරීමය. එසේ නිත්‍යනුකූල කළොත් ශ‍්‍රී ලංකාවේ ගෙවල්වලින් වැඩි හරියක් පිටුපස කුඩා ප‍්‍රමාණයේ ඉස්කාගාර ඇතිවී ශ‍්‍රී ලංකාව කසිප්පුවලින් සහ මිනී මැරුම්වලින් ස්වයංපෝෂිත රටක් බවට පත්වනවා ඇත.

advertistmentadvertistment