යම් නඩුකරයක් පැවරීමේදී එකී චෝදනා සනාථ කිරීමට නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ලේඛනවල පිටපත් චෝදනා පත්‍රය සමගම විත්තියට ලබාදිය යුතු වුවත් සිය සේවාදායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට පවරා ඇති මෙම නඩුවේදී නීතිපතිවරයා එම ක්‍රියාදාමය අනුගමනය නොකිරීම නිසා විත්තියට බලවත් අගතියක් සිදුවන්නේ යැයි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (9 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී පැවසීය.
පැමිණිල්ල විසින් විත්තිකරුවන්ගේ බැංකු ගිනුම්වල විස්තර යැයි පෙන්වා දෙමින් කිසිදු අත්සනක් නොමැති ලේඛන කීපයක් විත්තියට ලබාදී තිබියදී අත්සන් සහිත ගිනුම් වාර්තා කීපයක් අධිකරණයට ඉදිරිපත් කොට ඇතැයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය. එකී අත්සන් සහිත ගිනුම් වාර්තා සාක්ෂිකාර බැංකු නිලධාරියා මගින් අධිකරණය හමුවේදී තහවුරු කිරීමට පැමිණිල්ල උත්සාහ දැරීම වැරදි සහගත වන්නේ යැයි ද පැවසූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා නීතිපතිවරයාගේ එකී ක්‍රියාදාමයට විරෝධතාවය දැක්වීය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටින උගත් ජනාධිපති නීතිඥවරයා කළ එම කරුණු දැක්වීම යුක්ති සහගත බව තම අධිකරණයටද පෙනී යන්නේ යැයිද විවෘත අධිකරණය හමුවේදී පැවසූ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම ලේඛන පමණක් නොව පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කරන සෑම වැදගත් ලේඛනයකම පිටපත් විධිමත් ආකාරයෙන් විත්තියට ලබාදෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මියට නියෝග කළේය.
හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි හයකට අධික මුදලක් ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කිරීම ඇතුළු චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා හා ඔහුගේ ඥාතියකු යැයි කියන සමීර උදාර නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුවේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 25 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
නීතිඥ රවීනුක රහුල් ප්‍රේමශාන්ත, කවිත්‍රි උබේසේකර, අමිල පල්ලියගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විත්තිය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක