වෙසක් පෝයදා සිල් ඇදුමින් කළ උද්ගෝෂණයක්

272

තෙමඟුල සිහි කරමින් බෞද්ධයන් විසින් වෙසක් පොහොය දිනයේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීම තුළ අමුතුවෙන් කතා කරන්නට තරම් දෙයක් නැත. එදිනට දාන ශීල භාවනා සඳහා මුල් තැන දෙමින් කටයුතු කිරීමට බොහෝ දෙනෙක් වගබලා ගන්නා බව සියල්ලන්ම හොඳින් දන්නා කාරණාවකි. වෙසක් පොහෝදා සිල් සමාදන් වීම සඳහා පැමිණි උපාසක උපාසිකාවන් පිරිසක් විරෝධතාවයක යෙදුණු සිදුවීමක් පිළිබඳව පුවතක් පසුගිය සතියේ දී ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.දාන, සීල, භාවනාවල නිරතවෙමින් සිත කය වචනය සංවර කර ගැනීමේ බලාපොරොත්තු පෙරදැරිව විහාරස්ථානයට පැමිණි උපාසක උපාසිකාවන්ටත් විරෝධතාවයන් දැක්වීම සඳහා හේතු කාරණා සැකසෙන තරමටම දැන් රට තුළ ඇත්තේ යහපත් වාතාවරණයක් නොවේ. සරලවම කියනවා නම් පරලොව සුගතිය උදාකරගැනීමට තියා මෙලොවදී සුවෙන් සතුටින් ජීවත් වීමටත් මිනිසාට ඇති නිදහස ක්‍රමක්‍රමයෙන් දියාරු වෙමින් පවතී.කෙසේ වෙතත් වෙසක් පොහොය දිනයේ දී ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරයේ දී නිහඬ විරෝධතාවයකට එක් වුණ උපාසක උපාසිකාවන් පසුව කියා සිටියේ විහාරස්ථානයේ ආදාහන මළුවේ සිට පහත මළුව දක්වා තනවා ඇති අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම වලින් කොටසක් පළාත් ඉඩම් කොමසාරිස්වරයා විසින් ගලවා ඉවත් කරන්නට නියෝග කළ නිසා මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.එකල පැවැති ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා වළගම්බා රජතුමා විසින් බුදුරුවකන්ද ගල සහිත පරිශ්‍රයේ පිහිටි ගල් ගුහාවක් භාවිත කළ බවත් පසු කාලීනව රාජ්‍ය බලය ලබා ගැනීමත් සමඟ මෙම ස්ථානයට කෙරෙන කෘතගුණ සැලකීමක් ලෙස මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකර බුදු සසුනට පූජාකළ බවත් පැරණි පුස්කොළ පොත්වල සඳහන් වේ.එකල විහාර ගෙය, බෝධීය, චෛත්‍යයකින් හා මිහින්තලා ගලට සමානව ඇති ගල් පර්වතයක බුදු හිමියන්ගේ ශ්‍රී පාදය සලකුණු කොට තිබූ බව බුදුරුවකන්ද විහාරයේ වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත හේරත්ගම සිරි උපනන්ද හිමියයෝ පවසති.

වෙසක් පෝයදා සිල් ඇදුමින් කළ උද්ගෝෂණයක්

එමෙන්ම රහතන් වහන්සේලා වැඩ සිටි බවට සැලකෙන පුරාවිද්‍යා වටිනාකම් සහිත කටාරම්, ගල් ඇද, ගල් පහන්, සෙල්ලිපි සහිත ගල්ගුහා 64 ක් ද මෑතකදී සොයා ගෙන ඇත.
ඓතිහාසික සිදුවීම් නිසා මෙන්ම හෙළ වෙදකම නිසාද බුදුරුවකන්ද රජමහා විහාරය මහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. අදටත් මෙම විහාරයේදී ඇදුම, පීනස, පිත, ඉරුවාරදය, වාත අමාරු යනාදී රෝග බොහොමයක් නිට්ටාවටම සුව කෙරෙන රාජකීය තෙලක්ද ජනහිත සුව පිණීස ලබා දෙන්නට විහාරාධිපති හිමියෝ කටයුතු කරති. එම තෙල් ලබා ගැනීමට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් පැමිණෙන බවත් එම බෙහෙත් වට්ටෝරුව වලගම්බා රජු සැඟවී සිටි ගල් ගුහාවේ තිබූ පුස්කොල පොතකින් හමු වී විහාරස්ථානයේ වැඩ විසූ විහාරාධිපති හිමිවරුන් විසින් පාරම්පරිකව පවත්වාගෙන එන්නක් බව වත්මන් විහාරාධිපති හිමියෝ පවසති.2020 වර්ෂයේ අග භාගයේ දී පමණ විහාරාධිකාරි පන්නල අමිතානන්ද හිමියන් විසින් පන්සලේ අදාන මලුවේ සිට පන්සල් භූමිය දක්වා මාර්ගයේ පසෙකින් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම නෙළීම ආරම්භ කර ඇත. මේ වන විට එම කාර්යය අවසන් කර ඇතත් එම පිළිමවලින් කොටසක් ගලවා ඉවත් කිරීමට පළාත් ඉඩම් කොමසාරිස්වරයා විසින් කටයුතු කරමින් සිටින බවට විහාරාධිපති හිමියන් චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව දැනුම්වත් කළත් ඉන් එලක් වී නොමැති බව විහාරස්ථාන දායක සභාවේ සභාපතිවරයාගෙන් කියා සිටියි.

“පන්සලේ අයිති ඉඩම විතරක් නෙමෙයි බුදුරුවකන්ද කියන ගමේ සියලු ඉඩම්වල අයිතිය ඉස්සර තිබුණේ පන්සලට. හැබැයි කාලෙන් කාලෙට ආව ඉඩම් නිලධාරියෝ ඒවා රජයට අරගෙන මිනිස්සුන්ට බෙදල දුන්නා. අපි විරුද්ධ වුණේ නෑ, මොකද ගම් 32 ක දායකයෝ ඉන්න පන්සලක් මේක. පන්සලට ඉඩම් තියන් මොනව කරන්නද? දායකයොන්ට තමා මේ හැමදේම අයිති. මෑතකදී අපේ පොඩි හාමුදුරුවෝ මගෙත් ආශිර්වාදයක්ද ඇතුව දායක සභාවත් එක්ක එකතු වෙලා පන්සලේ ආදාන මලුවේ ඉඳන් පහත මලුවට එනකම් තියෙන පාරේ පැත්තකින් අසූමහා ශ්‍රාවක පිළිම නෙළන්න ගත්තා. බොහොම වටින වැඩක් උන්වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. හරිනම් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන්න ඕන වැඩ මේවා. මන් හිතන්නේ මේ වැඩේට ලක්ෂ පනස් ගාණක් වියදම් ගිහින් තිබ්බා. එක රුපියලක් රජයෙන් දීල නෑ සියලුම මුදල් වියදම් කළේ දායකයෝ.

අපේ කලින් ලොකු ස්වාමීන් වහන්සේගේ සොහොන් කොත ගාව ඉඳන් මකර තොරණ ගාවට එනකම් තියෙන කොටස පන්සලට අයිතියක් නෑ කියල ඒක ගලවලා දාන්න කියල ගමේ ග්‍රාමසේවක නෝනා කියනවා. අපි අපවත් වුණාම ආදාහනය කරන්න තියෙන කොටසත් රජයට ගන්න තියෙන අයිතිය මොකක්ද කියල මන් අහන්නේ. ඒ මදිවට ගිහින් පොලිසියේ පැමිණිල්ලකුත් දාලා. එතුමියගේ රාජකාරි කෙරිල්ල ගැන ගමේ මිනිස්සුන්ගෙන් අහුවනම් කියයි. කැකිල්ලේ රජ්ජුරුවෝ එතුමියට වඩා හොඳයි කියලයි මගෙ නම් අදහස. මේව අපි මැරෙද්දි අරන් යන්න නෙමෙයි මේ හදන්නේ. අපේ ශාසනයේ අනාගත චිරස්ථිතිය වෙනුවෙන්. ශාසනේට දායද කරන දේවල්වලට අකුල් හෙලන එක බරපතළ අකුසල කර්මයක්. ග්‍රාම නිලධාරිවරිය අපි ගාවට ඇවිල්ල අපි කියන දේවල් හොරෙන් වීඩියෝ කරලා ගිහින් ඉහල නිලධාරීන්ට පෙන්නලා පන්සල ගැන තියෙන ප්‍රසාදය නැති කරලා නිලධාරි නොමඟ යවනවා. ඒකෙන් තමයි බුදු පිළිමයක් ගලවලා ඉවත් කරනවා කියන බරපතළ තීන්දුවක් ගන්න තරම් ඉහළ නිලධාරීන් දරදඬු වෙලා තියෙන්නේ. මන් හිතන්නේ නෑ ගම් 32 ක දායකයෝ ඒක කරන්න ඉඩ තියයි කියලා… එහෙම වුණොත් ලොකු ආරවුලකින් මේක නවතින්නේ… ගම් වලට නිලධාරි පත් කරන්නේ ගිනි නිවන්න මිසක් ගිනි අවුලන්න නෙමෙයිනේ මහත්තයෝ… පන්සල සලකන්නේ ඔහොම නම් ගමේ මිනිස්සුන්ට කොහොමට සලකනව ඇත්ද කියල තේරෙනව ඇතිනේ..”වර්තමානය වන විට විහාරස්ථානය තුළ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියෝ එලෙසින් අදහස් දැක්වූහ.මෙම ඉඩම් පන්සල සතු පෞරාණික විහාර ඉඩම් බවත් ඒවා භුක්ති විඳීමට පන්සලට ඇති අයිතිය කිසිවකුටත් අහිමි කළ නොහැකි බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ දායකයෝ එක හඬින් කියා සිටිති. ඒ වෙනුවෙන් පොහොය දිනයේ දී ද ඔවුහු ප්‍රධාන මාර්ගයට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වූයේ කෙසේ හෝ තමන්ගේ ආගමික අයිතිය ආරක්ෂා කර කර ගැනීමේ අභිප්‍රාය ඇතිව ය.වසමේ ග්‍රාම නිලධාරිවරියගේ වගකීමෙන් තොර අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ඉහළ නිලධාරීන් තුළ වැරදි ආකල්ප ගොඩනැඟී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු වන්නේ බුදුරුවකන්ද වසමේ ග්‍රාම නිලධාරීවරිය බවත්
ගම්වාසීන්ගේ මතයයි.

කුමා රත්නසිංහ.

advertistmentadvertistment
advertistmentadvertistment