වෙසඟ සැමරීම : බෞද්ධ අයිතිය

166

අධර්මයෙන් ජීවත්වීම ය, ධර්මයෙන් මරණයය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම් යැයි ධර්මයේ සඳහන්ව ඇත. මනුෂ්‍යයෝ පරලොව යහපත – පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍රය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැඟිල්ලක් සේ දුබල ය. දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. නමුත් අද අපි කතා කරන්නේ වෙසඟ ගැනය. වඩා උතුම් ලෙස සැලකෙන්නේ වෙසක් පොහොයයි. ලෝකයේ ථෙරවාද, මහායාන යන සෑම රටකම වෙසක් උත්සවය සම්බන්ධව සැමරීම් කළ ද, ශ්‍රී ලංකාව ඉතාමත් ගෞරවයෙන් උත්කර්ෂවත්ව සුවිශේෂී උත්සවයක් ලෙස මේ පොහොය සැමරීම විශේෂත්වයකි. ලෝකයේ වෙනත් කිසිදු රටක වෙසක් උත්සවය මේ ලංකාවේ ආකාරයෙන් සමරන්නේ නැත. වෙසක් පුන් පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.

ශ්‍රී ලංකාවෙහි ඉතිහාසය ගත විට නියම වශයෙන් සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක ය. මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ගේ වර්ෂයක් පාසා කැරෙන උපසම්පදා මහෝත්සවය පැවැත් වූයේත් වෙසක් පොහෝ දිනයක ය. මහාවංශය අනුව දඹදිව අශෝක රජුගේ අනුග්‍රහය ඇතිව දෙවනපෑතිස් රජු පළමු රාජ්‍ය අභිෂේකය වෙසක් පසළොස්වකදා ලබා තිබේ.

අප මහ බෝසතාණන් වහන්සේ සසරේ එක්තරා ආත්ම භවයක සුමේධ තාපසයාණන්ව, දීපංකර බුදු පියාණන්ගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි. සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදුපියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමාමහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය වූ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා ඔවුනට ධර්ම දේශනා කර ශ්‍රී පාද පද්මය පිහිටුවා අනෙකුත් ස්ථානයන්ට වැඩම කිරීම සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.

අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට සිංහලයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි. අපේ ඉතිහාස කතාව එනම් මහා වංශයේ සඳහන් ආකාරයට අනුව සෑම රජකුම වෙසක් උත්සව පවත්වා ඇත. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 27 ක් පැවැත්වූ බව, මහා වංශයේ 32 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරාම සඳහන් වන “මහාවේශාඛ පූජා” යන වචනයට අනුව මහා වෙසක් උත්සව උත්කර්ෂයෙන් පැවැත්වූ බවට එහි අර්ථ ගැන්වේ. මහාවංශයට අනුව, දුටුගැමුණු රජතුමාගෙන් පසු භාතිය රජතුමා වෙසක් උත්සව 28 ක් පැවැත්වූ බවට තොරතුරු මහාවංශයේ 34 වන පරිච්ජේදයේ සඳහන් වේ. වසභ රජතුමා ඔටුණු පළන් වර්ෂයේ සිට පිළිවෙළින් වෙසක් උත්සව 44 ක් පැවැත්වූ බව මහාවංශයේ 25 වන පරිච්ජේදයේ සඳහන් ය. වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය පවත්වා දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ගෝඨාභය හා ජෙට්ඨතිස්ස රජතුමා වෙසක් උත්සව පැවැත්වූ ආකාරය මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරා වෙසක් උත්සව පවත්වාගෙන පැමිණි ආකාරය ඓතිහාසික සාධක තුළ සඳහන් ව ඇත. එම සෑම ස්ථානයකදීම පවත්වන ලද වෙසක් උත්සවයන්හි සිරිත් විරිත් හා වෙසක් උත්සව පැවැත්වීමට හේතු වූ කාරණාවන් ඓතිහාසික සාධක තුළින් උකහාගත හැකි ය. පළමු පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය ප්‍රබල සමාජ උත්සවයක් ලෙස පැවැත්වූ ආකාරයත්, මිහින්තලා සෙල් ලිපියෙහි සඳහන් “මඟුල් ජෙටක්” යන වචනයෙන් ප්‍රධාන මංගල්‍යයක් ලෙස පැවැත්වූ බවටත් මිහින්තලා සෙල් ලිපිය උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. කෙසේ නමුත් පෘතුගීසි හා ඕලන්ද යුගවල වෙසක් උළෙල පහතරටින්, යටපත්ව ගියේය. 1815 පසු උඩරට ද එය යටපත් විය. එයට හේතුව ක්‍රිස්තියානිය පැතිර යෑමයි. පානදුරාවාදය නිසා බෞද්ධ ප්‍රබෝධය වේගයෙන් පැතිරෙන්නට විය. 1885 ඕල්කට්තුමා පැමිණ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීය. 1885 බෞද්ධ කොඩිය ආරම්භය – මිගෙට්ටුවත්තේ ගුණානන්ද හා හික්කඩුවේ සුමංගල වැනි හිමිවරුන්ගේ කැපවීම – සරසවි සඳරැස වැනි පත්‍ර කළ සටන නිසා යළිත් ජාතික ප්‍රබෝධයක් ඇති විය. වෙසක් පෝය රජයේ නිවාඩුවක් බවට පත් විය. 1885 මාර්තු 27 වැනි දින අංක 4648 දරන ගැසට් පත්‍රය මඟින් වෙසක් පොහොය දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, 1886 අංක 4 දරන ආඥා පනත මඟින් නීතිගත කරන ලදි. ‘සරසවි සඳරැස’ පුවත්පත මේ බව වාර්තා කර තිබුණේ මෙසේය. “මෙම මස විසිඅට වැනිදාට (1885 අප්‍රේල් 28) පැමිණෙන වෙසඟ පුර පසළොස්වක දින ආණ්ඩුවේ නිවාඩු දිනයක් කොට ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර තිබේ. ඉතින් මෙවක් පටන් සංවත්සරයක් පාසා පැමිණෙන වෙසඟපුර පසළොස්වක් දින බෞද්ධයන් උදෙසා ආණ්ඩුව විසින් දෙන නිවාඩු දවසක් ලෙස ලංකාවේ ව්‍යවහාර වන බව මෙයින් සැලකිය යුතුයි.” (සරසවි සඳරැස 1885 අප්‍රේල් 03)

වෙසඟ සැමරීම ද ආමිස පූජාවකි. ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. ආමිස පූජාව බෞද්ධ සමාජයේ ප්‍රගමනයට හේතුවෙයි. බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට කුඩා අටපට්ටමේ සිට මහා තොරණ දක්වා විහිදෙන පහන් ආලෝකයට හැකිය. වෙසක් දිනයට නොයෙක් නොයෙක් සැරසිලි, වෙසක් කූඩු, තොරණ හැදීම වැනි සංස්කෘතික කාරණා ලෝකයේ අන් රටවල දැකිය නොහැකිය. අපගේ සංස්කෘතික නිර්මාණවලට ලෝකයා වසඟ වී තිබෙන්නේ අපටම අනන්‍ය සිංහල බෞද්ධ හැඩයක් එම නිර්මාණවල තිබෙන නිසාය. ලෝකයේ වෙසක් නිර්මාණ යම් ප්‍රමාණයකට තිබුණත් අපේ රටේ නිර්මාණ තරම් මවිත වීමක් එම නිර්මාණවලින් සිදුවන්නේ නැත. වෙසක් කාලයේ පවත්වන දන්සල්වලට බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගම්වලට අයත් පිරිස් ද සහභාගි වෙති. එයින් ලෝකයාටම කියාපාන පණිවුඩය වන්නේ ආගමික සහජීවනයයි. වෙසඟේ ඉදිකෙරෙන සෑම බෞද්ධ නිර්මාණයක්ම භාවිත කළ යුත්තේ හුදු ප්‍රදර්ශනාත්මක අදහසින් නොව බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කිරීමේ අදහසිනි.

වෙසඟ සැමරීම බෞද්ධ අයිතියකි. එයට කිසිවකුට බාධා කළ නොහැක. 2022 වෙසක් පොහොය අරගල අඳුරට බිලි විය. කළු පාටින් වෙසඟ සමරන්නට බෞද්ධ විරෝධීන් කටයුතු කළ ආකාරය මතක් වන විට අපට ඇතිවන්නේ බලවත් සංවේගයකි. එය මෙරට බෞද්ධ සංස්කෘතියට කළ නිග්‍රයකි. වෙසක් යනු උත්සවයකි. එය ශෝක දිනයක් නම් නොවෙයි. මීට වසර හැට අටකට පෙර බුද්ධ ජයන්තිය මහත් උත්කර්ෂයෙන් පැවැත්විණි. ඒ කාලයේ කිසිවකු ආමිස පූජාව සුදුසු නැතැයි පැවසුවේ නැත. ඉතා ජයට වෙසක් උත්සවය පැවැත්විණි. ලෝකයේ ලොකුම තොරණ වෙසක් පෝයට පානදුරේ ඉදිකරන බව මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබිණි. මෙය අගය කළ යුත්තකි. නමුත් බෞද්ධ විරෝධීන් නම් මේ තොරණ ඉදි කිරීම සඳහා පුවක් ගස් 400ක් කපා දමා ඇතැයි ශෝක වෙති. එහෙත් නිවාස සාදන්නට ඉරන කපන ගස් ගැන මොවුන් කතා කරන්නේ නැත. මෙය සැබවින්ම තක්කඩිකමකි. නන්දිවානිජ ජාතක කථා වස්තුව රැගත් පානදුර තොරණ ගිනස් වාර්තාවක් පිහිටුවනු ඇතැයි සංවිධායකයෝ කියති. වෙසක් පහන් කූඩුව වෙසක් සමය පිළිබිඹු කරන ප්‍රධාන සංකේතයක් බවට පත්ව තිබේ. බහුතර බෞද්ධයෝ අටපට්ටම් කූඩුව නිර්මාණය කිරීමට වැඩි කැමැත්තක් දක්වති. අටපට්ටම් කූඩුව අනෙකුත් පෙර සඳහන් කළ කූඩුවලට වඩා බුදු දහමේ උත්තරීතර දර්ශනය ඇතුළත්ව හෙළ කලා ශිල්පීන් අතින් නිමවූවකි. සංසාර ගමනත් අවසානයේ දී නිවන පිළිබඳවත් මෙම අටපට්ටම් කූඩුව දෙස බලද්දී අපට කියා දෙන පණිවිඩය සුවිශේෂ වේ. අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරුම වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නො හැකි ය. ඉහළම ප්‍රභූවරයාගේ මන්දිරයේ සිට ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන ගැමි ජනයාගේ නිවස දක්වා ම පොල්තෙල් පහන් හෝ දල්වා අඳුර පලවා හැර ධර්මයේ ආලෝකයෙන් ලොව බැබලවීමට සියල්ලෝ කටයුතු කරති. එය ඉතා වැදගත්ය. පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නො ලැබිය හැකි ය. මේ කරුණුද සිහිතබාගෙන බැතියෙන් වෙසඟ සැමරීමට කටයුතු කළ යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment