වේගයෙන් පැතිරෙන කොරෝනාවෙන් ආර්ථිකයට මොනවා වෙයිද?

464

දිනපතාම පාහේ කොරෝනා මරණ වාර්තා අලූත් වෙමින් මෙරටින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ වාර්තා වෙමින් තිබේ. මේවා තවදුරටත් අලූත් විය හැකිය. රෝහල්වල කොවිඞ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා යමින් බිම වැතිර සිටින  රෝගීන් බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ දරමින් සිටින දසුන් දකින අපට සිහිපත් වන්නේ මීට මාස ගණනකට පෙර අප සංවේගයෙන් බලා සිටි ඉන්දියාවේ තත්ත්වය නොවේ ද? එවන් නරක තත්ත්වයකට රට පත් වීම වළක්වා ගැනීමට තවමත් ඉඩ තිබේ.

ඩෙල්ටා ප‍්‍රභේදය හමුවේ කොරෝනා වසංගතයේ බලපෑම තවත් නරක අතට හැරී තිබේ. දිනපතා වාර්තා වන කොවිඞ් ආසාදිතයින් ගණන තුන්දහසකට ආසන්න වෙමින් දෛනික මරණ ප‍්‍රමාණය සියයද ඉක්මවා ගොස් තිබේ. මේ අනුව වෛද්‍ය අංශ පවසන්නේ වසංගතය පැතිරීම පාලනය කර ගැනීම සඳහා රට වසා දමන ලෙසයි. මේ අනුව වේගයෙන් පැතිර යන කොවිඞ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. අප දන්නා පරිදි රෝගීන් සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණ තිබේ. මේ නිසා කොවිඞ් සෞඛ්‍ය වියදම් ද ඉහළ යමින් තිබේ. එසේම මිය යන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකිය. මෙලෙස සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා මර්දනය කිරීමට නිසි සහ ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග නොගැනීමේ විපාක ලෙස ජනයාට කොරෝනාවෙන් මිය යන්නට සිදු වන තත්ත්වයක් නිර්මාණය වීම ඉතා කනගාටුදායක කරුණකි. බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඞ් මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඞ් රෝගීන්ගෙන් පිරී පවතී. මෙසේ ආර්ථිකය බේරා ගැනීමට කියා මිනිස් ජීවිත කොරෝනාවට බිළි වන්නට ඉඩ දී බලා සිටිය හැකි ද? මේ නිසා රට වැසීම කෙසේ වෙතත් (පුර්ණ ලෙස රට වසා දැමීමක් කිසිවෙක් යෝජනා කරන්නේ නැත.)  මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට ප‍්‍රමාණවත් වන මට්ටමට කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග දැඩිව අනුගමනය කළ යුතුව තිබේ.

වේගයෙන් පැතිරෙන කොරෝනාවෙන්  ආර්ථිකයට මොනවා වෙයිද?

මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ නිසි වෙලාවට නිසි ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකිරීමේ සහ අවශ්‍ය තීරණ ගැනීමට ප‍්‍රමාද වීමේ විපාක ජනතාවට කොරෝනාවෙන් වැඩි වැඩියෙන් මිය යන්නට සිදු වීමයි. රට නොවසා වසංගතය පැතිරීමෙන් ආර්ථික කටයුතු බේරා ගත හැකිද? මෙයද ප‍්‍රශ්නයකි. කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නිසා ආර්ථික කටයුතු අකර්මණ්‍ය වුවත් ඒ නිසා වසංගත තත්ත්වය පාලනය වීමෙන් ආර්ථික කටයුතු වේගයෙන් නැවත පණ ගන්වා ගැනීමට අවකාශ සැලසේ. මේ නිසා අප නම් සිතන්නේ ආර්ථිකය බේරා ගැනීමටය කියා කොරෝනා මර්දනය කිරීමේ ක‍්‍රියාමාර්ග එනම් සංචරණ සීමා පැනවීම නිසි වෙලාවට නොකිරීමෙන් වන්නේ ආර්ථික විපාක ද වඩා වැඩිවන බවයි. රජය විසින් එන්නත්කරණය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටියත් එහි ආරක්ෂාව ලැබීමට (ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වීමට) සති කිහිපයක් ගත වන බව සෞඛ්‍ය අංශ පවසා ඇත. ඒ නිසා මේ මොහොතේ ඩෙල්ටා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීම පාලනය කර ගැනීමට දැන් සිදු කරගෙන යන එන්නත්කරණයෙන් කෙටිකාලීනව ප‍්‍රතිඵලයක් නොලැබේ. එසේ නම් සෞඛ්‍ය අංශ කියන පරිදි රට වසා දැමීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ සම්බන්ධයෙන් රජය දැනටමත් ප‍්‍රමාද වී ඇති අතර දැන් අප මුහුණ දී තිබෙන්නේ එහි විපාකවලටය. කොරෝනා සීග‍්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට ප‍්‍රමාද නොවී පියවර නොගතහොත් එහි ආර්ථික විපාක ද තවත් වැඩි වීමට ඉඩ තිබේ. මේ නිසා මේ වසර (2021) සඳහා සියයට 5 දක්වා මහ බැංකුව විසින් අඩු කළ ආර්ථික වර්ධනය පවා ලබාගත නොහැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

ඇතැම් අය පවසන්නේ දැනටමත් ‘ඩෙල්ටා අශ්වයා’ පැන ගොස් ඇති බවයි. ඒ නිසා දැන් ඉස්තාලය වසා දැමුවත් බොහෝ දුරට වෛරසය පැතිර ගොස් හමාරය. එය තවදුරටත් පැතිරීම වහාම වළක්වා ගැනීමට පියවර ගන්නා අතරම බලධාරින් දැන් රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ද වහාම ගත යුතු වේ. නැත්නම් කොරෝනා වැළඳී රෝහලේ ඇඳක්වත් නැතිව අසරණ ලෙස රෝගීන් මිය යාම ගැන ජනපතිගේ සිට තීන්දු තීරණ ගන්නා අනෙක් සියලූ බලධාරීන් වෙත ජනයා ශාප කරනු ඇත. ිඅපි තමයි හොඳටම කරේ’ යන්න වචනයට සීමා නොවී ක‍්‍රියාවෙන්ම ඔප්පු කළ යුතුව තිබේ. මිනිසුන් බල්ලන්, බළලූන් ගාණට මිය යන්නට ඉඩ හැර ආර්ථිකය බේරා ගැනීමෙන් ඵලක් නැත. එසේ කළ හැකි ද නොවේ. ආණ්ඩුවේ ඇතැමුන් එසේ සිතුවාට අන්තිමට වන්නේ ආර්ථික විපත ද දරුණු වීමයි. ඒ නිසා කොරෝනා සීග‍්‍ර ව්‍යාප්තිය වළක්වා ගැනීමට වහාම පියවර ගත යුතුමය. ගිය වසරේ (2020) කොරෝනා මර්දනය කිරීමට නිරෝධායන ඇඳිරි නීතිය පණවමින් ගත් ක‍්‍රියාමාර්ග නිසා ගිය වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 16.3 කින් ඍණ වී 2020 වසරේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 3.6 කින් පසුබෑමට ලක් විය. එහෙත් වසංගතය හොඳින් පාලනය කර ගැනීමට හැකි වීමෙන් වේගයෙන් ආර්ථික කටයුතු යළි පණ ගන්වා ගැනීමට ද හැකි විය.

කොළඹ නගර සීමාවෙන් හඳුනාගත්  ආසාදිතයින්ගෙන් සියයට 75 කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා තිබුණි. සෑම පැයකටම කොරෝනා රෝගීන් තිදෙනෙක් මිය යන තත්ත්වයක් ඇතිව තිබේ. දිනපතාම පාහේ කොරෝනා මරණ වාර්තා අලූත් වෙමින් මෙරටින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ වාර්තා වෙමින් තිබේ. මේවා තවදුරටත් අලූත් විය හැකිය. රෝහල්වල කොවිඞ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා යමින් බිම වැතිර සිටින රෝගීන් බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ දරමින් සිටින දසුන් දකින අපට සිහිපත් වන්නේ මීට මාස ගණනකට පෙර අප සංවේගයෙන් බලා සිටි ඉන්දියාවේ තත්ත්වය නොවේ ද? එවන් නරක තත්ත්වයකට රට පත් වීම වළක්වා ගැනීමට තවමත් ඉඩ තිබේ. එන්නත්කරණය වේගයෙන් ව්‍යාප්ත කරන නිසා මැදි සහ දිගුකාලීනව එහි ආරක්ෂාව රටටත් ජනතාවටත් ලැබෙන බවට කිසිම සැකයක් නැත. එහෙත් සෞඛ්‍ය සහ වෛද්‍ය අංශ අනතුරු අඟවන්නේ මේ අවස්ථාවේ පවතින ඉතා දැඩි අවදානම් තත්ත්වය ගැනය. මෙවැනි තත්ත්වයක් යටතේ සේවකයන් ද සීමිතව වැඩට කැඳවීම සුදුසුය. සති කිහිපයක් යනතුරු අපට මේ වෛරසය තවදුරටත් ජනයා අතර පැතිරීම වළක්වා ගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වනු ඇත. නැතහොත් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම මරණ ගණන වැඩි වීමට අමතරව කොරෝනා සෞඛ්‍ය වියදම් මෙන්ම ආර්ථික කටයුතු අකර්මණ්‍ය වීම තවත් වර්ධනය වනු ඇත. මේ නිසා අපට තීරණයක් ගැනීමට තිබේ. ඒ කිසියම් දුරකට ආර්ථික කටයුතු අකර්මණ්‍ය වුවත් වඩාත් දරුණු තත්ත්වයකට රට පත් වීම වළක්වා ගැනීමටය.

එසේම මේ වන විට රට දරුණු විදේශ විනිමය හිඟයකට ද මුහුණ දී සිටී. රට මුහුණ දී සිටින විදේශ මුදල් ප‍්‍රශ්නය හමුවේ කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම ද අත්‍යවශ්‍ය ප‍්‍රමුඛතම කරණා දෙකකි. මේ කාරණා දෙක සම්බන්ධයෙන්ම රජයේ ක‍්‍රියාමාර්ග ගැනීමේ බලවත් අඩුපාඩු අපට දකින්නට ඇත. සංචාරක කටයුතු ඇතුළු රටේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට නම් කොවිඞ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා තවමත් ක‍්‍රියාත්මක වන සීමාකාරී තත්ත්වයන් ක‍්‍රමයෙන් ලිහිල් කරගත යුතුය. එහෙත් මේ මොහොතේ වේගයෙන් කොවිඞ් පැතිරේ නම් එම ක‍්‍රියාමාර්ග ලිහිල් කරන්නේ කෙසේ ද? ඒ නිසා වසංගත තත්ත්වය පාලනය කිරීමට නිසි පියවර නොගෙන ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට ද දුෂ්කර බව ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලූ ආර්ථික බලධාරීන් තේරුම් ගත යුතුය. කිසිවෙක් රට වසා තැබීමට කැමති නැති බව ඇත්තය. ආණ්ඩුවට අවශ්‍ය කෙසේ හෝ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමටය. එහෙත් මේ වසංගත තත්ත්වය ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබෙන සහ ඒ ගැන සෞඛ්‍ය හා වෛද්‍ය අංශ අනතුරු අඟවා තිබෙන තත්ත්වය හමුවේ ඒ ගැන සැහැල්ලූවෙන් සැලකීමට පුළුවන්කමක් නැත. වසංගත තත්ත්වය පාලනය කර ගැනීම, ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට අත්‍යවශ්‍යම සාධකය බව අප තේරුම් ගත යුතුමය. එසේ කරන්නේ කොරෝනා රෝගීන් වාර්තා වීම සහ මරණ ගණන අඩු කර ගැනීමට පමණක් නොවේ. අනාගතයේ වැඩි දින ගණනක් රට වැසීමට සිදුවීම නිසා ඇති වීමට ඉඩ තිබෙන වඩා වැඩි ආර්ථික හානිය ද අවම කර ගැනීමටය. එහෙත් ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතුවනු ඇති බව කාට කාටත් සිහිපත් කළ යුතුව තිබේ. විදේශ විනිමය ප‍්‍රශ්නය හමුවේ අපේ සංචාරක කටයුතු පණ ගන්වා ගැනීමට ද රජයට අවශ්‍ය වී ඇත. එහෙත් අප කොරෝනා වසංගත තත්ත්වය හොඳින් පාලනය කර ගැනීමට අසමත් වුවහොත් අපට සංචාරකයන් ගෙන්වා ගැනීමට ද අපහසුය. මේ අප කියන්නේ සංචාරක කටයුතු පණ ගන්වා ගැනීමට කොවිඞ් තුරන් වනතෙක් සිටිය යුතු බව නොවේ. අප කියන්නේ ද කොවිඞ් සමගම සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම ගැනය. එහෙත් දිනකට විශාල පිරිසක් මිය යමින් දිනපතාම විශාල වශයෙන් ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් තිබේ නම් අප විසින් සංචාරක ප‍්‍රවර්ධනයට දරන උත්සාහයන් ද ඵල රහිතය. මෙසේ කොවිඞ් යළි හිස ඔසවමින් ඒ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබෙන තත්ත්වය පොදුවේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට ඉතා අහිතකර තත්ත්වයකි. මේ ආර්ථික අර්බුදයේ තවත් පැතිකඩක් වන විදේශ විනිමය අර්බුදය හමුවේ කිරිපිටි මෙන්ම ගෑස් හිඟයක් ද දැන් ඇ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

දෛනික ආදායම් උපයන පිරිසත්  අප අමතක නොකළ යුතුයි

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

මේ මොහොතේ රටේ තීන්දු තීරණ ගැනීමේදී මෙරට මාසික වේතනයන් අරගෙන ජීවත් වෙන ජනතාව මෙන්ම දෛනිකව ආදායම් ලබා ජීවත් වන පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ. වර්තමානයේ ඇතැම් කණ්ඩායම් රජයට එරෙහිව මෙරට 88-89 කාලය තුළ මෙන් අවි ආයුධ අරගෙන කටයුතු නොකළත් එම කණ්ඩායම වෙන නම්වලින් අද වන ඒ අවි ආයුධ අරගෙන සිදු කළ අප‍්‍රසන්න තත්ත්වය නැවත නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි කිසිම අවස්ථාවක රට හා ජනතාව වෙනුවෙන් වැරදි තීන්දු, තීරණ අරගෙන නෑ. අපේ රටේ අදටත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වෙනවා. ඒ වගේම සෞඛ්‍ය රෙගුලාසි සහ සෞඛ්‍ය අංශ කියන විදිහට තමයි අපි මේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ වගේම අපි තීන්දු වෙනස් කළ යුතු තැන්වලදී තීන්දු වෙනස් කරන්න පසුබට වෙන්නේ නෑ. හැබැයි අපි සියලූ දෙනාම තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රට ඉදිරියට යන්න ඕන කියන කාරණය. රටේ මාසික වේතනයන් අරගෙන ජීවත් වෙන ජනතාව මෙන්ම දෛනිකව ආදායම් ලබා ජීවත් වන පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ. රට ගැන අපි තීන්දු තීරණ ගන්නේ ජනතාව ගැන කල්පනා කරලයි. මෙරට එන්නත්කරණ වැඩසටහන මේ වන විට සෞඛ්‍ය අංශ ලබා දුන් විස්තර අනුව තොරතුරු අනුව එන්නත්කරණය කළ යුතු කාණ්ඩ සහ එම ප‍්‍රදේශ අනුව අපි ප‍්‍රමුඛතාවය ලබා දීලා ජනාධිපතිතුමන් පෞද්ගලිකව මැදිහත්වෙලා ඒ කාර්යය සිදු කරගෙන යනවා. අපිට පේනවා එක පැත්තකින් ආණ්ඩුව එන්නත්කරණය සිදු කරලා රට සෞඛ්‍ය ආරක්ෂිත කරන්න උත්සහ කරද්දි ඒක කඩාකප්පල් කරන්න කණ්ඩායමක් ඉන්නවා කියන එක.

advertistmentadvertistment
advertistmentadvertistment