වේදිකාවට ආයෙත් ඇවිත් පොදු අපේක්ෂකයා

237

දැන් යළිත් කරළියට පිවිස ඇත්තේ පොදු අපේක්‍ෂක කතාවය. ඒ අර්ජුන රණතුංග මහතා කරන ලද කාතාවක් නිසාය. හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඉදිරි ඡන්දයකදී පොදු අපේක්ෂකයා වන ලෙස ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකැමැත්තක් නැති බව රණතුංග මහතා සඳහන් කළේය.

2005 ජනාධිපතිවරණයට පෙර කේ. ඞී. ලාල් කාන්ත පවසන ලද කතාවකින් පොදු අපේක්ෂක පදනම කිව හැකිය. ආණ්ඩු පක්‍ෂ ඡන්ද සියල්ලම බුලත් කොළයට දෙනමුත් ආණ්ඩුවට විරුද්ධ ඡන්ද ලබා දෙනුයේ එක්එක් තැන්වලටය. මේ නිසා ආණ්ඩු විරෝධය එක තැනකට ගොනු නොවන බව ලාල්කාන්ත මහතාගේ අදහස වී තිබිණි. පොදු අපේක්‍ෂකයකු මතු වන්නේ හෝ විපක්ෂයක් පොදු අපේක්ෂකයෙකු සොයන්නේ මේ කටයුත්ත සඳහාය.

විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළදා පටන් සිටි සෑම විපක්ෂයක්ම මේ පොදු අපේක්ෂක සිහිනය දුටුවේය. 1982 ජනාධිපතිවරණයේදීත්, 1988 දීත් ශ‍්‍රීලනිපය ජ.වි.පෙ. ඇතුළු විපක්ෂය මේ දුක වින්දේය. 1994 දී ඒ දුකින් විපක්ෂය ගැලවුණේ විපක්ෂයේම තිබුණු හැකියාවකට වඩා ජනාධිපති විජේතුංග විසින් සිදුකළ දේශපාලන වැරැද්දක් නිසාය. 1994 දී යම් හෙයකින් ජනාධිපති විෙඡ්තුංග විසින් ජනාධිපතිවරණයක් මුලින් තබා පසුව මහ මැතිවරණයක් පැවැත්වූවා නම් එයින් විපක්ෂයට ජය ගැනීම පහසු වන්නේ නැත.

චිලි රාජ්‍යයේ සිදුවූ පරිදි ඊළඟ වාරයේ පොදු අපේක්ෂකයා නිර්මාණය විය. ‘‘චිලි දේශයේ සමාජවාදී පසුබිමක් සහිත ඇලන්ඬේ පරාජය කිරීම සඳහා යොදා ගැනුණේ හමුදාපතිවරයා ලවා කුමන්ත‍්‍රණයක් කරවීමය. 1973 දී හමුදාපති ජෙනරාල් පිනොසේ ලවා කරන ලද කුමන්ත‍්‍රණයක් මගින් ඇලන්ඬේ බලයෙන් පහකර දමන ලද්දේය. 2010 ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් සිදු වූයේ එයය.

පැරණි වම හැම විටම උත්සාහ දරන ලද්දේ විප්ලවයක් මගින් බලය අල්ලා ගැනීමටය. ඒවා හැඳින්වූයේ රතු විප්ලව ලෙසය. පසුගිය කාලයේ ලතින් ඇමරිකානු කලාපයේදී සමාජවාදීන් විසින් ආණ්ඩු බලය අල්ලා ගන්නා ලද්දේ, මැතිවරණවලට ඉදිරිපත් විය. ඒවා ‘රතු විප්ලව’ නොවූ අතර ‘රෝස විප්ලව’ විය. එසේම සෘජුව හමුදාව හරහා ආණ්ඩු පෙරළීමේ ක‍්‍රමය (කොළ විප්ලව) වෙනුවට හමුදාපති පොදු අපේක්ෂක ලෙස දේශපාලනයට ගෙනැවිත් මැතිවරණ සඳහා ඉදිරිපත් කර (ලා කොළ විප්ලව) කිරීමට සැලසුම් කළ ද එය ද අසාර්ථක විය.

ඉන් පසු පොදු අපේක්ෂකයා නිර්මාණය වීම සඳහා පදනම සැකසුණේ, පාකිස්තානයේ සිදුකරන ලද ආකෘතිය පරිදි, විධායකය හා අධිකරණයේ ගැටුමය. පාකිස්තාන් 18 වැනි අග‍්‍රවිනිශ්චයකාරවරයා වූ ඉෆ්තිකාර් මුහමුද් චෞද්රි, එම තනතුරට පත්කරන ලද්දේ, ජනාධිපති මුෂාරෆ් විසිනි. පසු කාලයේදී විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කරමින් චෞද්රි විසින් මුෂාරෆ්ගේ රජය සමඟ සීමාව ඉක්මවා ගැටුමකට යෑම සමගය. මෙහි ආදර්ශයක් සරත් සිල්වා මහතා අග‍්‍රවිනිශ්චයකාර ධුරය දැරූ කාලයේදී යම් තරමකින් ඇති වූ අතර ඊට සමාන තත්ත්වයක්, මුළුමනින්ම ඇතිවුණේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සමයේය. විපක්ෂය විසින් ඒ මොහොතේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පොදු අපේක්ෂක ඔටුන්න සඳහා සූදානම් වුවද එය නම් කිරීමක් දක්වා හෝ දුර දිග නොගියේය.

2010 දී විපක්ෂය ලැබුණු පොදු අපේක්ෂයා රටම ආදරය කළ වීර චරිතයක් වී සිටි අයෙක් වුවත්, ඔහුට පොදු අපේක්ෂක ලෙස 2005 දී රනිල් වික‍්‍රමසිංහ තනිවම ලබාගත් ඡන්ද ප‍්‍රමාණයවත් ලබාගන්නට නොහැකි විය. එසේ තිබියදී 2015 දී නවතම ආකාරයේ පොදු අපේක්ෂකයෙකු පෙරට ආවේය. පළ දුන් එකම පොදු අපේක්ෂක ප‍්‍රයත්නය බවට පත්වෙමින්, පක්ෂයේ නායකයාට එදිරිව, පක්ෂයේ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපති පදවියට පත්විය. ඒ සමග පොදු අපේක්ෂකයා සඳහා, ජය තහවුරු වීමේ වටිනාකමක් එකතුවිය. මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් පසුව ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක රැල්ලක් එන්නේ එම ආදර්ශය පෙරට ගෙනය. ව්‍යාපාරිකයෙකු වූ රොහාන් පල්ලෙවත්ත, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ආදීන් ඒ සඳහා මුල සිටම සැලසුම් කළේය. ජනාධිපතිවරණය ආසන්න වන විට පොදු අපේක්ෂකයෝ ගණනාවක් සිය නම ලබාදීම සඳහා පෙළ ගැසී සිටියහ.

දැන් ආණ්ඩුව සිටින්නේ වසර දෙකක් නිමා වූ තැනය. ජනාධිපතිවරණය යනු පුද්ගල කේන්ද්‍රීය වූ ඡන්දයකි. මේ නිසා පුද්ගලයා මූලික කර ගනිමින්, විපක්ෂය එකතැනකට පත්වීම අත්‍යවශ්‍යය. ජවිපෙ සමග එක්වීම සඳහා ශ‍්‍රීලනිපය සූදානම් යැයි දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා කරන ලද ප‍්‍රකාශය දෙස බලන විට ද ඊළඟ රැල්ල සඳහා විපක්ෂය පොදු අපේක්ෂක තත්ත්වයකට ගමන් කරවීමට දිරියක් ලබාදී තිබේ. එසේ වුවත් විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයෙන් ඒ සඳහා අත්‍යවශ්‍ය සංඥාව තවම ලැබී නැත. ඊට හේතුව වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාය. ඔහු තවම නව පක්ෂයේ නායකයා ලෙස මුහුණ දී ඇත්තේ එක් මැතිවරණයකට පමණය. එජාප අපේක්ෂකයා ලෙස 2020 ජනාධිපතිවරණය සඳහා ඔහු මුහුණ දුන්නේය. සජිත්ට තවම කාලය තිබේ. ඒ නිසා සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම අතිශයින්ම පොදු අපේක්ෂකයා සඳහා වැදගත්ය. දැනට පොදු අපේක්ෂක කතාව ඇත්තේ එතැනය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment