වේදිකාවේ තුන්වැනි ඇහැ… සුගත් දෙස පසුපසින් බැලීමි

537

මින්පසු කවර හෝ ගුරු කුලයකින් නම් කම් නැත. සූත්‍ර අවශ්‍ය නොවේ: කවර මාදිලියක හෝ ප්‍රමිතීන් තිබිය යුතු ද නොවේ. ඇත්තේ ජීවිතය පමණ ය. ජීවිතය වූකලි යෝධ ක්‍ෂේත්‍රයකි. ඒ ඒ පුද්ගලයා විසින් හදාරා සිතැඟි පමණින් නිර්මාණය කළ හැකි යෝධ ක්‍ෂේත්‍රයකි. කිසිම ගුරු කුලයකට මා අයත් නොවන්නේ මා හැම නිකායක් ම, හැම පද්ධතියක්ම බැහැර කරන මානව සත්‍යයේ පිහිටි බැවිනි. ආදර්ශය විය යුත්තේ ජීවිතය ය.

ප්‍රංශයේ එමිල්සෝලාගේ මේ අවධාරණය උද්ධෘත කොට දක්වන්නේ ලංකාවේ සුගතපාල ද සිල්වා ය. ඒ ඔහුගේ ‘හඬනළුව හෙවත් ගුවන්විදුලි නාට්‍යය’ නම් වූ ග්‍රන්ථයේ හැඟවීමේ (පූර්විකාවේ) ආරම්භයේ ය. අපට හැඟෙන දැනෙන ආකාරයෙන් නම් ඒ කතාව කියන්නේ සුගතපාල ද සිල්වා ම ය. ඒ, ඔහු කිසිදු ගුරුකුලයකට අයත් නොවන නිසා ය. සුගතපාල ද සිල්වා ජීවිතය දුටුවේ ද යෝධ ක්ෂේත්‍රයක් ලෙස ය. ඔහුට අනුව සියල්ලට, සැමට ආදර්ශය විය යුතු වන්නේ ජීවිතයයි.

ජීවිතයට පෙම් බැඳි සුගතපාල ද සිල්වා නම් වූ මානවවේදියා උපයා සපයාගෙන තිබුණේ ගෙවී නොයන තාරුණ්‍යයකි. සොබාදහමේ ප්‍රදානයක් නොවන එය ඔහු විසින්ම, ස්වශක්තියෙන්ම ගොඩනගා ගෙන තිබුණේ ආශ්චර්යජනක ලෙසිනි. ඒ චින්තනමය තාරුණ්‍යය, අලුත්කම පිළිබඳ විමතියක් යළිත් වරක් අප තුළ හටගැනුණේ සුගතපාල ද සිල්වාගේ ශාරීරික අභාවය සිදු වී දශක දෙකක් ඉකුත්වීම ප්‍රස්තුතව ලියැවෙන මේ ලිපිය සඳහා ඔහුගේ නිර්මාණ කිහිපයක් නැවත ද වරක් උඩින් පල්ලෙන් කියවා බැලූ අවස්ථාවේදී ය. නව සමාජයේ අවශ්‍යතා, ගැටලු සමග සමපාත වන ඒවා සමකාලීන සමාජ දේශපාලන ප්‍රවණතා සමග බද්ධ වන අයුරු පුදුමසහගත ය. නිදසුනක් වශයෙන් සුගතපාල ද සිල්වාගේ ‘බිත්ති හතර’ නවකතාවේ පත්තර මිතුරන් දෙදෙනකු අතර හුවමාරු වන මේ දෙබස් ඛණ්ඩය දෙසට හැරෙමු.

‘පත්තර රස්සාවෙ එක හොඳක් තියෙනවා, හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගේ වැඩක් කියලා හිතෙනවා.’

‘මොකට කියනව ද? මාසෙ අන්තිමට පේ (පඩි) පැකට් එක බලාගෙන අයිතිකාරයන්ට ඕනෑ ඒවා කුරුටු ගානවා. කොහොම ද යෝදයෝ, ඒකට කියන්නේ තමන්ගේ වැඩක් කියලා?’

සුගතපාල ද සිල්වාගේ ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාවේ ‘පිදුම’ තුළින් රශ්මි විහිදුවන්නේ සැමදා ඔහු තුළ කැකෑරෙමින් පැවැති මානව ප්‍රේමය හා සාමූහික හැඟීම ය. සකසුරුවම් ලෙස වචන ගොනුකරමින් ඔහු එය සටහන් කරන්නේ මෙසේ ය.

අපේ කට්ටියේ
ඊයේ සිටි, අද සිටින, හෙට එන,
පුද්ගලයා මිය යන බවත්
සමූහයා සදා ජීවත්වන බවත්
සිතන සැමට ආදරයෙනි.

සුප්‍රකට ඉතිහාසඥයකු වූ ආචාර්ය ඇලන් බුලොක්ගේ කෘතියක් කියවීමෙන් ලත් උත්තේජනය හේතුවෙන් නිර්මාණය වුණේ යැයි කියවෙන ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාවේ පූර්විකාවෙහි ඔහු මෙවැනි සටහනක් තබයි.

මෙම කෘතිය කිරීමෙන් එකක් උගතිමි; ඒ ආඥාදායකයන් ඕපපාතිකව බිහිවී, පෝෂණය වන අද්භූත සත්ත්ව කොට්ඨාසයක් නොවන බව ය.

ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය අව්වැසි සුළං සපයනුයේ අප විසින්ම වන බැවිනි. ඔවුනට අම්ලකරය පිඹින්නේ ද අපම ය.

තමා ජීවත්වන සමාජය හා පුරවැසියකු අතර පවත්නා සම්බන්ධතා කවරේ ද? ස්වකීය ක්‍රියා සම්බන්ධයෙන් ඔහු (පුරවැසියා) කොතෙක් දුරට වගකිව යුතු ද?…. කොතරම් දුරට ඔහුට සිය පෞද්ගලික වගකීමෙන් නිදහස් විය හැකි ද?

ඔහුගේ රජය (පවතින රජය) ‘සමස්ත සමාජයේ යහපත අරමුණු කොටගෙන’ යන්නට මුවාවෙන් පනවන නීතිය, තමන්ගේ විශ්වාසයන් හා ඝට්ටනය වේ නම් ඔහු ඊට විරෝධය පෑ යුතු ද? එසේ නම් ඒ කවදා ද? කෙසේ ද?

මෙය අපගේ නිදිගැට බිඳහරිනසුලු සිංහරාවයක්, කාහල නාදයක් වැනි ය’ ‘පුරවැසිය! ඔබට එපමණක් සිතීමට මේ නවකතාව (හිට්ලර් එල්ලා මරයි) ඉවහල් වන්නේ නම් මෙවැන්නක් කිරීමට ක්ෂය කළ මගේ කාලය අපතේ නොගියේ යැයි සිතමි’ යි ඔහු වැඩිදුරටත් කියයි. විශ්ව සාහිත්‍යයේ නූතන ප්‍රවණතා ගැන, පශ්චාත් නූතනවාදි ලේඛක ලේඛිකාවන්ගේ ලේඛනවිධි ගැන බරසාර කතාබහ, විමර්ශන, අසන්නට ලැබෙන මේ කාලයේ අප විස්මපත් කරවනසුලු වන්නේ අවුරුදු 30 කට ප්‍රථම නිකුත් වූ ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාවේ මුල් පිටුව හා ඒ ආරම්භක වැකියයි.

‘දත් හිඩැසි අතර අඩස්සිගත වූ ආහාර කැබලි දඩයම් කරමින් ගමන් කළ අමනත්තුවකුගේ නොසංසුන් දිවක්, දිරාපත් දතක් වටා දැවටෙන්නට විය. මඳ වේලාවක් දිවට සතුටු වන්නට ඉඩහළ මේ පුද්ගලයා, ගිනිකූරු පතුරක් ගෙන දත් කුහරය ගවේෂණය කරන්නේ, දිව උරා ගත් අමිරහ ලොබින් අමන්දානන්දව දත උරන්නට වූවේ ය.’

සම්භාව්‍ය සාහිත්‍යය, නූතනත්වය හා කලතමින් බීභත්ස රසය ද ඊට මුසුකරන මෙවැනි ශක්‍යතාවක්, භාෂා ප්‍රාගුණ්‍යයක් අපට දැකගන්නට ලැබෙන්නේ කොතරම් කලාතුරකින් ද? ඔහුගේ ‘බල්ලෝ බත් කති’ වැනි නවකතාවල ජීවගුණය තවමත් ක්ෂය වී ඇත්තේ ද?

නාට්‍යවේදී, සාහිත්‍යවේදී වැනි විශේෂණ පදයකින් තොරවම සුගතපාල ද සිල්වා යැයි කියන්නට අප එඩිතර වූවේ ඒ සියල්ලට වැඩියෙන් ඔහු තුළ වූ සරලකම, මනුස්සකම නිසා ය. මගේ පෞද්ගලික විශ්වාසයේ හැටියට කලා ලෝකයේ, සාහිත්‍ය ලෝකයේ මට හමු වූ ඉතාම නිර්ව්‍යාජ මිනිසා වන්නේ ද සුගතපාල ද සිල්වා ය. ඔහු හොඳ දේට හොඳ යැයි කීවේත්, නරක දේට නරක යැයි කීවේත් කිසිදු න්‍යායපත්‍රයකින් තොරව ය. 1984 වසරේ සිට මේ දක්වා ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නට අවශ්‍ය ජවය, බලය මට සැපයුවේ ද සුගතපාල ද සිල්වාම යැයි කීම අතිශයෝක්තියෙන් තොර ය. තමන් හඳුනාගත් දක්ෂතා ගැන පිරිසක් මැදදී මෙන් ම ප්‍රසිද්ධ වේදිකාවලදී ද නොබියව කියන්නට තරම් ඔහු නිර්භීත වූවේ ය. ඒ වූ කලී වර්තමාන කලා, සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි කළුනික බවට පත්ව ඇති දුර්ලභ ගුණාංගයකි.

කුඩා ශරීරයකින් යුතු වුණ ද ඔහුට ලොකු හදවතක් තිබුණේ ය. ගුවන්විදුලියේ ලියැවුණු හා නොලියැවුණු ආචාරධර්ම පද්ධතියක් සුගතපාල ද සිල්වා අතින් මනාව සුරැකුණ බව මම පෞද්ගලිකව දනිමි. පිළිකා රෝගිනියක වෙනුවෙන් සාමාන්‍ය කටවහරේදී කියවෙන එහෙත් මාධ්‍යයකින් එළිදැක්විය යුතු නොවන කිසිවක් වරක් මා අතින් ද ලියැවී තිබිණ. යට දැක්වෙන්නේ එයයි.

‘ඕක කරුම ලෙඩක් නේ ළමයෝ’
‘අපි ඒක අයින් කරමු’ යි සුගතපාල ද සිල්වා කාරුණිකව කීවේ ය.
‘මේ නාට්‍යය අහගෙන ඉන්න පිළිකා රෝගියකුට ඒක හිත් තැවුලක් වෙන්න පුළුවන් නේ ද?’

ප්‍රසිද්ධ මාධ්‍යයකට අදහසක් පළකිරීමේදී, ගුවන්විදුලි නාට්‍යයක් ලිවීමේදී කොතරම් නම් පරිස්සම්සහගත විය යුතු ද යන්න එදා මම උගත්තෙමි.

මෙකල අපට වැඩියෙන්ම මුණගැසෙන්නේ කලාකරුවන් ද, සාහිත්‍යකලා සංවිධායකයන් ද යන සංකීර්ණ ප්‍රශ්නය වරින්වර අප තුළ විදුලි කොටමින් පවතින්නේ කලක සිට ය. අපගේ නිර්ණායකයන්ට අනුව නම් කලාකරුවා, සාහිත්‍යකරුවා යැයි කියන්නේ (බොහෝදුරට) හුදෙකලා කල්පනා ලෝකයක නිමග්න වෙමින්, ජීවිතය හා ලෝකය ගවේෂණය කරමින් නිර්මාණ බීජ සොයා සපයා ගන්නා තැනැත්තාට ය. සිය ගවේෂණයන් මගින් අරුත්ගන්වනු ලැබූ ජීවන පරමාර්ථයන් සාධනය කරගැනීමේ උත්සුක වන ඔහු, තමාගේ හෘදසාක්ෂිය සමග ඍජු ගනුදෙනුවක යෙදෙමින් පාඨකයාට, ශ්‍රාවකයාට, ප්‍රේක්ෂකයාට ක්ෂේම භූමි මුණගස්වයි. සැබෑ කලාකරුවා සිටින්නේ ගුරුකුලවලින් බැහැරව ය; න්‍යායපත්‍රවලින් තොරව ය. දේශපාලන ක්ෂේත්‍රයේ, කලා ක්ෂේත්‍රයේ බලවතුන් හඹායමින් ඔවුන් හා නිරන්තර සබඳතා සාධනයේ යෙදෙමින් තමා වෙනුවෙන් කරළියක් වෙන් කරගැනීමට ඔහු කිසිසේත් නොවෙහෙසෙයි. සංස්කෘතික ක්ෂේත්‍රයේ මර්මස්ථාන නියෝජනය කිරීමේලා තමාගේ සුදුසුකම් බලධාරින්ට ඉදිරිපත් කිරීමේ නිර්ලජ්ජී ව්‍යායාමයෙහි යෙදෙන්නා ද කලාකරුවකු වන්නේ නැත. ඉතා අඩුතරමින් සැබෑ කලාකරුවා වන්නේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයකට තමාගේ පොතක්, පතක්, ලිපියක් ඉදිරිපත් කොට ඒවා පළකරන්නැයි කනිපින්දම් ගාමින් සංස්කාරකයන්ට ගැටලු හටගන්වන්නකුට ද නොවේ.

සුගතපාල ද සිල්වා යැයි කියන්නේ මේ කලාවිහීන ලක්ෂණවලින් සම්පූර්ණයෙන්ම තොරවූ කලාවේදියකුට ය. කැලේ පිපුණ මල්සුවඳට ඉව ඇල්ලූ ඔහු වරක් ගුවන්විදුලියේදී පිරිසක් ඉදිරියේ කියා සිටියේ ‘හරි හොඳට ගුවන්විදුලි නාට්‍ය පිටපත් ලියන ළමයෙක් අනුරාධපුරේ පැත්තෙන් මට හම්බ වුණා’ කියා ය. ඔහු එසේ කීවේ එකල අප කිසිවකු අසාදැන නොසිටි සීතා රංජනී පිළිබඳව ය. තමා ඉදිරියේ දණ නවන, තමන්ට ගරුබුහුමන් දක්වන
නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගයන අතරේ කුසලතා පූර්ණ, නිහඬ නිර්මාණකරුවන් නුදුටුවාක් මෙන් සිටින ප්‍රවීණයන් මැද සුගතපාල ද සිල්වා හිරු කිරණක් මෙන් දිදුළන්නේ ඒ නිසා ය. ඔහු සැමවිටම සැලකිලිමත් වුණේ ශක්‍යතා ගැන මිස පුද්ගල සබඳතා ගැන නොවේ. පෞද්ගලික දැනහැඳුනුම්කම්, නිර්මාණයට බද්ධ කර නොගැනීමට සැමවිටම පරිස්සම්සහගත වූ ඔහු, ගුවන්විදුලි නාට්‍ය සඳහා නළු නිළියන් තෝරාගැනීමේදී ද සැලකිලිමත් වූයේ ශක්‍යතා කෙරෙහිම ය. එකල ඔහු නිෂ්පාදනය කළ හැම නාට්‍යයක් සඳහාම හඬ දායකත්වය ලබාදුන්නේ කරුණාරත්න අමරසිංහ, ලෙස්ලි රාමනායක, කුසුම් පීරිස්, සන්ධ්‍යා රඹුක්කනගේ වැනි විශිෂ්ට හඬ ශිල්පීහු ය. එකම කණ්ඩායමකට දිගින් දිගටම ඉඩප්‍රස්ථා විවර කිරීම අසාධාරණයකි යි සුගතපාල ද සිල්වා කිසිදා නොසිතුවේ ය. ඔහු අවංකවම විශ්වාස කළේ ‘උපරිම සාධාරණය ඉටු කළ යුත්තේ ශ්‍රාවකයාට’ වන බව ය.

සුගතපාල ද සිල්වා ගැන වැඩිදුරටත් කතාකළ යුතු වන්නේ ගුවන්විදුලිය හෝ ගුවන්විදුලි නාට්‍යය හෝ ප්‍රස්තුතවම නොවෙතත්, වේදිකාව, නවකතාව වැනි ඉසව් පවා ඔහු දිග්විජය කර සිටියත් ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රය කෙරෙහි මෙහිදී අප වැඩි අවධානයක් යොමුකළේ මේ වනවිට (ස්වදේශීය සේවයේ) ගුවන්විදුලි නාට්‍යයට උදා වී ඇති දුර්දශාව ගැන ද යමක් කිව යුතු වූ නිසා ය. ‘දුන්න දුනුගමුවේ’, ‘මරාසාද්’ වැනි ආන්දෝලනාත්මක වේදිකා නාට්‍ය නිපදවමින් වේදිකාවේ මහත් පෙරළියක් කළ සුගතපාල ද සිල්වා, මේ රටේ ජීවත් වූ සුවහසක්
ශ්‍රාවකයාගේ ආනන්දයටත්, ආකල්ප වර්ධනයටත් ඉඩප්‍රස්ථා විවර කළේ ‘ගුවන්විදුලි රඟමඬල’ ලෙස නම් කෙරුණ අපූරු නාට්‍යමය වැඩසටහන හරහා යැයි අපි සිතමු; ගුවන්විදුලියට නව හිරු කිරණක් පතිත වූයේ ගුවන්විදුලි රඟමඬල නිෂ්පාදනට සුගතපාල ද සිල්වා අතගැසූ 1969 වසරේ පටන් යැයි ද විශ්වාස කරමු. සමාජ ආකල්ප වර්ධනය සඳහා ගුවන්විදුලි නාට්‍යය කොතරම් අඩු වියදමකින්, කොතරම් අපූර්වාකාරයෙන් යොදාගත හැකිව ඇත්තේ ද යන්න ඔහු වරක් පෙන්වා දුන්නේ මෙසේ ය.

එක රැයක දී හඬ නළුවකට විසි ලක්ෂයක් පමණ දෙනා කන් දෙති. මෙවැනි අනුමානයකට එළඹෙනුයේ මෙරට භාවිත ගුවන්විදුලි යන්ත්‍ර සංඛ්‍යාව තිස්පන් ලක්ෂයක් සේ ගනිමිනි. ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර වඩාත් ජනප්‍රිය ‘හඬ නළුව’ බව ද සමීක්ෂණ හෙළි කරයි. මේ ළඟ සමීක්ෂණයක් අනුව කිසියම් වර්ෂයක මෙරට මිශ්‍ර චිත්‍රපට

නරඹන්නන්ගේ සංඛ්‍යාව දිනකට 75,000 කි. වේදිකා නාට්‍යය නරඹන්නෝ දිනකට 250 පමණ ය. වේදිකා නාට්‍යය රචකයකු ස්වකීය ජීවිත කාලය මුළුල්ලේ දී ළං වන ප්‍රේක්ෂක සංඛ්‍යාවකට වඩා වැඩි අසන්නන් පිරිසක් වෙත හඬ නළු රචකයා එක රැයකින් ම සමීප වෙයි. කෙටි කාලයක් තුළ වැඩි පිරිසකට කතා කළ හැකි මෙවන් මාධ්‍යයක් වෙත රචකයින් ආසක්ත නොවන්නේ මන් දැයි විමසීම වටී. (හඬ නළුව – සුගතපාල ද සිල්වා)

සුගතපාල ද සිල්වා මේ අවධාරණය ඉදිරිපත් කරන්නේ 1993 වසරේදී ය. ඒ වන විට රූපවාහිනිය මේ රටට සම්ප්‍රාප්ත වීමෙන් පසු දශකයකට ද වැඩි කාලයක් ඉක්ම ගොසිනි. එසේ නම් ඉතා අඩු වියදමකින් වැඩි ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ (ස්වදේශීය සේවයේ) ගුවන්විදුලි නාට්‍යයට හිරු බැස යන දශාවක් උදා වී ඇති බවක් මේ වන විට පෙනීයමින් ඇත්තේ ඇයි?

ස්වදේශීය සේවයේ තවමත් ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය වන බව මේ රටේ බහුතරයක් දැන සිටින්නේ ද නැත. කලකට පෙර ඇසුණු ගුවන්විදුලි නාට්‍යය (රඟමඬල) ගැන කතා කරමින් හුන් එක් සුප්‍රකට පරිවර්තකයෙක් මෑත දිනෙක මගෙන් විමසා සිටියේ ‘දැන් ගුවන්විදුලි රඟමඬල ප්‍රචාරය වෙන්නේ නෑ නේ ද?’ යි කියා ය. මෙවැනි වාතාවරණයක් උදා වී ඇත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුත්තේ කවුරුන් ද?

වගකිව යුත්තන්ගේ, බලධාරින්ගේ නොසැලකිල්ල නැතහොත් කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන් ගුවන්විදුලි නාට්‍යයේ මේ අනුක්‍රමික පරාභවය සිදුවූ බව තේරුම් ගන්නට නම් පරිස්සම්සහගත විමසීමක් කළ යුතුම ය. මා දන්නා තරමින් ආනන්ද අමරසිරි, රෝහණ කස්තුරි වැනි විශිෂ්ට ගණයේ සම්මානිත ලේඛකයෝ මේ වන තුරුම ගුවන්විදුලි නාට්‍ය පිටපත් (විශ්ව සාහිත්‍ය හා රඟමඬල ආදී) සම්පාදනය කරති. ලාල් සරත් කුමාර, හිලේරියන් පෙරේරා, නීලිකා මද්දුම වැනි සම්මානිත ශිල්පීහු ඒවාට හඬ දායකත්වය ලබාදෙති. මහත් වූ පරිශ්‍රමයකින්, කැපවීමකින් යුතුව මේ ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය කරන වජිර ඉන්දික කරුණාසේන නම් වූ නිෂ්පාදකවරයෙක් ද ගුවන්විදුලි සංස්ථාව තුළ සිටී. එසේ නම්… ගැටලුව කුමක් ද?

අපට හැඟෙන දැනෙන ආකාරයට නම් ගුවන්විදුලි නාට්‍යයට ප්‍රමාණවත් ලෙස නොලැබී ගියේ ප්‍රචාරණයයි. මෙකල පාරිභෝගික භාණ්ඩයක වුව අලෙවිය සඳහා ප්‍රචාරණය අත්‍යාවශ්‍ය ය. පෙළඹවීමකින් තොරව මිනිස්සු කවර දෙයක් කෙරෙහි වුව උනන්දුසහගත නොවෙති. නිදසුනක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ගනිමු. දශක හතරකට පහකට පෙර මේ රටේ ජීවත් වූ මිනිසුන් අතිමහත් බහුතරයක් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අල්පමාත්‍ර උනන්දුවක් හෝ දැක්වූයේ නැත. ක්‍රිකට් සීමාවී තිබුණේ එක්තරා නාගරික ජනකොටසකට ය. අද වන විට මේ තත්ත්වයේ ඇදහිය නොහැකි පෙරළියක් සිදු කළේ පෙළඹවීම් මිස අන් කුමක් ද?

ගුවන්විදුලි නාට්‍යය මෙන් ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා ද කොතරම් නම් කුඩා වී, අවතක්සේරු වී ඇත්තේ දැයි තේරුම් ගැනීම සඳහා අද ඔහු අතට ගන්නා සොච්චම් මුදලම සාක්කි සපයන්නේ යැයි අපට සිතෙයි. පැය දෙක තුනක විධිමත් පුහුණුවකින් අනතුරුව, සතර අභිනයේ එක් අභිනයක් පමණක් භාවිතයට ගනිමින් ශ්‍රාවකයාට ඉසියුම් කතාවක් කියන මේ ශිල්පීන් මේ දුෂ්කර කාලයේදී පවා සිය පරිශ්‍රමය වෙනුවෙන් අතට ගන්නේ ඉලක්කම් තුනකට සීමා වූ මුදලකි.

‘එක රූපයක් වචන දහසක් වටී’ යන සංකල්පයේම දිගුවක් ලෙස ‘එක වචනයක් රූප දහසක් බවට පත්කිරීමේ බලය ගුවන්විදුලි නාට්‍යය සතුය’ යන්න ද අවධාරණයෙන් කිව හැකි ය’ ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණක් වීම හේතුවෙන් ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යයක ප්‍රබලත්වය ඊට අත්පත්කරගත නොහැකිව ඇතැයි ඇතැමුන් කීව ද ඊට අභියෝගාත්මක පිළිතුරක් සපයන සුගතපාල ද සිල්වා කියන්නේ දෘශ්‍ය පථය අහිමිවීම ගුවන්විදුලි නාට්‍ය රචකයාට කිසිසේත් අවාසියක් නොවන අතර ඇතැම්විට එය ඔහුට මෙන් ම ශ්‍රාවකයාට ද අමතර වාසියක් විය හැකි බව ය. ඒ පිළිබඳ විචිත්‍ර සංනිදර්ශනයක් ඉදිරිපත් කරන ඔහු, සම්මානයෙන් පිදුම් ලැබූ ස්ටැන් ෆ්රීබර්ග්ගේ ‘පරිකල්පනය පුළුල් කිරීම’ නම් වූ අපූරු කෙටි පිටපතක් (ගුවන්විදුලි නාට්‍යයක කොටසක්) මෙසේ උද්ධෘත කර දක්වයි.

මිනිසා – රේඩියෝ? මොන එහෙකට ද රේඩියෝ ප්‍රචාරයක් දෙන්නෙ? මොනව බලන්න කියල ද? ඇහැට පේන්න පින්තූරයක් වත් නෑ.

හාදයා – පොඩ්ඩක් කියන එක අහන්න… ටී. වී. එකෙන් හිතන්න වත් බැරි දේවල් රේඩියෝවෙන් කරන්න පුළුවන්.

මිනිසා – කෙරෙනකං බලාගෙන ඉන්න.

හාදයා – හොඳයි එහෙමනං මේක බලා ඉන්නකො (උගුර පාදා) මම ඉඟිය දෙන කොට සූදානම් වෙන්න. ඔන්න දැන් උණු උණු ගොජ දාන චොකලට් දියරෙන් මිචිගන් විල කට ළඟට ම පිරිලා. විල තාවල්ලෙ අඩි 700 ක් උස යෝද ක්‍රීම් කන්දක් තියනවා. ක්‍රීම් කන්දෙ මුදුන බුබුලු දානවා. බුබුලු දාන මේ ක්‍රීම් කන්ද පෙරළීගෙන පෙරළීගෙන ඇවිත් චොකලට් විලට ‘ජබොග්’ ගාල වැටෙනවා. ඔය වෙලාවෙ ගුවන් හමුදාව විලට ඉහළින් පියාසර ගරමින් අහස්යාත්‍රාවල සිට වියළි මිදි ටොන් 10 ක් ක්‍රීම් උඩට ඉහිනවා. ඒ ඉහින කොට, බලාගෙන ඉන්න 25,000 ක පිරිසක් ඔල්වරසන් දෙනවා. හොඳයි දැන් කන්ද පෙරළෙනවා ඉඟිකර ගන්න.

(ක්‍රීම් කන්ද චොකලට් දියරට වැටෙන ශබ්දය ද සමගින් අහස්යානා සමූහයක පියාසර හඬත්, මහා පිරිවරකගේ ඔල්වරසන් හඬත් පසුබිමින් මතුවී නැගෙයි.)

හාදයා – හරි. පුළුවන් නං දැන් ඔය ටික රූපවාහිනියෙන් කරල බලන්න.
මිනිසා – ඒත් ඉතින්…
හාදයා – දැක්කනේ? ගුවන්විදුලිය සුවිශේෂ මාධ්‍යයක්, මොක ද කිව්වොත් පරිකල්පනය පුළුල් කරන නිසා. ඔය හැම දෙයක් ම හිතෙන් අල්ලාගන්න පුළුවන්.
මිනිසා – ඇයි රූපවාහිනිය පරිකල්පනය පුළුල් කරන්නේ නැද්ද?
හාදයා – කරනවා, වැඩිම උණොත් අඟල් විසි එකයි.
(හඬ නළුව – සුගතපාල ද සිල්වා – 14-15 පිටු)

මේ අඟල් 21 දැන් ප්‍රසාරණය වී ඇති බව සැබෑ ය. මේ වන විට ඩිජිටල් තාක්ෂණයෙන් විවිධාකාරයේ ශිල්ප හරඹ දැක්විය හැකි බව ද නිබොරු ය. එහෙත් පරිකල්පනීය චිත්තාකර්ෂණය විෂයයෙහි ඉන් විවර වන්නේ කවර තරමේ අවකාශයක් ද? සුගතපාල ද සිල්වා කියන්නේ ‘ගුවන්විදුලි නාට්‍යයක් රචනා වූ කලී රචකයාගේ පරිකල්පනය තුළ ලෝකයක් නිර්මාණය කොට අසන්නාගේ පරිකල්පනය තුළ ද එවැනිම වූ ලෝකයක් නිර්මාණය කිරීම’ වන බව ය. රූපයත් හඬත් එකවිට සැපයෙන ටෙලිනාට්‍යයකින් මේ හාස්කම කළ නොහැකි බව තේරුම් ගත හැක්කේ සූක්ෂ්මාත්මතාවෙන් යුතු වූවකුට ය. බලධාරින්ට, මර්මස්ථානවල වැජඹෙන අතිමහත් බහුතරයකට අහිමිව ඇත්තේ ද එයයි.

ගුවන්විදුලි සංස්ථාවේ ඇරයුමක් ලැබ ගෙන්වාගත් ගුවන්විදුලි නාට්‍ය හයසියකට ආසන්න සංඛ්‍යාවක් සමීක්ෂණය කළ තමාට තෝරාගත හැකිවූයේ නාට්‍ය පිටපත් හතරක් පමණකි යි ‘හඬ නළුව’ කෘතියේ ඇඟවුමින් (පෙරවදනින්) කියන සුගතපාල ද සිල්වා එහි මෙවැනි සටහනක් ද තබයි.

‘පළපුරුදු නාට්‍ය රචකයන්, සරුකෙත් සොයා ගොස් ය.

සුගතපාල ද සිල්වා කියන්නේ සරු පල නෙළාගැනීම සඳහා පුරන් කුඹුරු අස්වැද්දුවකුට මිස සරුකෙත් සොයා ගිය මිනිසකුට නොවේ.

කැත්ලීන් ජයවර්ධන
[email protected]

වේදිකාවේ තුන්වැනි ඇහැ... සුගත් දෙස පසුපසින් බැලීමි
වේදිකාවේ තුන්වැනි ඇහැ... සුගත් දෙස පසුපසින් බැලීමි

advertistmentadvertistment
advertistmentadvertistment