සම්මානනීය තිරපිටපත් රචකයෙකු වන චාලක රණසූරිය මේ දිනවල අලුත්ම වැඩකටයුත්තුකට සූදානම් වෙනවා. ඔහු අතින් රචනා වුණු සඳුදා වැටෙන්නේ සික-ුරාදාට වේදිකා නාට්‍ය පිටපත කෘතියකට රචනා වෙනවා. ඔය අතරේ ඔහු අතින් රචනා වුණු ෆ්ලැට් නොවන ෆ්ලැට් වගේම සිටුවර පුවත ටෙලි නිර්මාණ මේ දිනවල පුංචි තිරයට හරහා දැකබලා ගන්නට ලැබෙනවා. ඔය අතරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අතින් ඔහුගේ පිටපතක් සිනමාවටද නැගෙනවා. ඉතිං චාලක සමග මේ කතාබහ ඒ ගැනයි.
ෆ්ලැට් නොවන ෆ්ලැට් නාට්‍ය පිටපතෙන් කතා කරන්නේ කුමන මාතෘකාවක් ගැනද?
ඇත්තටම ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලිනාට්‍ය පිටපත හරහා කතා කරන්නේ මුළු රටේම ජීවත්වන මිනිස්සුන්ගේ නියැදියක් තුළින් සමස්ත කාරණාවන් ගැන. ඒ කියන්නේ අපි දෙන ලද සුඛෝපභෝගී හෙට දවසක් වෙනුවෙන් අද දවස කැපකරන අද දවසේ වෙහෙස මහන්සිවෙන අද දවසේ වංචා සහගතව ජීවත් වෙන මිනිස්සු. එතැනදී මිනිස්සු විදිහට සාධාරණව වගේම අසාධාරණවත් හම්බ කරන්න උත්සාහ කරනවා. තමන්ගේ කොටස වැඩි කරගන්න උත්සාහ කරනවා. ෆ්ලැට් එකක ජීවත් වෙන එහෙම පිරිසකට බලාපොරොත්තු නොවුන මුදල් සම්භාරයක් හම්බෙනවා. ඒකත් එක්ක ඒ අයගේ ජීවිතවලට කෙළවරක් නැතුව එන ප්‍රශ්න තමයි නාට්‍යානුසාරයෙන් ෆ්ලැට් නොවන ප්ලැට් හරහා කතා කරන්නේ.
මේ ආරාධනාව ලැබුණේ කොහොමද?
ඇත්තටම ජාතික රූපවාහිනියෙන් කරපු ආරාධනාවකට තමයි මේ පිටපත ලියැවෙන්නේ. විශේෂයෙන් අධ්‍යක්ෂක මාවෝ ලක්ෂිත කරුණාතිලක මීට වසර දෙකකට විතර කලින් තමයි මේ විදිහේ තිර රචනාවක් ඉල්ලුවේ. කොළඹ කේන්ද්‍ර කරගත්ත ත්‍රාසය, කුතුහලය තියන කතාවක් තමයි අධ්‍යක්ෂවරයාට ඕනෑවුණේ. ඒ අනුව මම මේ කතා සාරංශය මම ලියලා දෙන්නේ. කතා සාරාංශයට එකඟ වෙලා සාකච්ඡා කිහිපයකින් පස්සේ තිර පිටපත ලියන්න ගත්තා. මේ වනවිට පිටපත ලියලා ඉවරයි. රූගත කිරීම් අවසන් අදියරයේ තියෙන්නේ.
වේදිකා නාට්‍ය පිටපතක් සහ ටෙලිනාට්‍ය පිටපතක් අතර වෙනස දකින්නේ කොහොමද?
ඇත්තටම මම වේදිකාව සහ පුංචි තිරය එක්ක සමගාමීව වැඩ කරන කෙනෙක්. මේ කාලවකවානුවේනම් සිනමාවත් එකතු වෙලා තියෙනවා. වේදිකා නාට්‍යයක් රචනා කරනකොට කොයිතරම් ප්‍රාතිහාර්යන් වේදිකාව තුළ කරන්න වුණත් ඉතා අරපරිස්සමෙන් තමයි වේදිකා නාට්‍යක් රචනා කරන්නේ. මොකද සජීවී ප්‍රේක්ෂකා ගාරයක තමයි වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ. ඒ වගේම ප්‍රවේශපත්‍රයක් අරන් නාට්‍යයක් බලන්න සැදී පැහැදී එන පිරිසක් එතැනට එන්නේ සහ පැය එකහමාරක් දෙකක් වගේ කාලයක් තුළ නාට්‍ය අවසන් වෙනවා. ඒ නිසාම ඉතා සූක්ෂමව මුලික රචනාව කරනවා.සංවාදයක එක දෙබසක් රංග විධානයක් ගැන වුණත් ලියද්දී සෑහෙන්න හිතනවා පරිස්සම් වෙනවා. ටෙලිනාට්‍ය තිර රචනයේදී හමුවෙන ප්‍රේක්ෂක පිරිස වෙනස්. රට හැමතැනම ඉන්න විශාල පිරිසක් ටෙලිනාට්‍ය වටා එකතු වෙනවා. ඒ එකතුවීම තරඟකාරී තත්වයක අද තියෙන්නේ. ටෙලිනාට්‍ය විකාශනය වෙන කාලය තුළ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙනවා. එතකොට ප්‍රේක්ෂකයන්ට අපි ලියන දේ කියන දේ දැනුනේ නැත්නම් එතැනින් ඉවත් වෙනවා. ඒ වගේම පොදු සන්නිවේදන මාධ්‍යක් විදිහට යම් යම් සීමාවන් තියෙනවා. වේදිකාවේ භාවිතා කරන සමහර වචන ටෙලිනාට්‍ය තිර රචනයකදී අපිට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ටෙලිනාට්‍ය තිර රචනයකදී ප්‍රායෝගික කාරණා ගණනාවක් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍ය පිටපත කෘතියකට රචනා කරන්න හිතුවේ ඇයි ?
සඳුදා වැටෙන්නේ සිකුරාදාට කියන නාට්‍ය තමයි පසුගිය පනස්වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට පත්වුණේ. හොඳම පිටපත වුණෙත් සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍යමයි. ඉතින් නාට්‍ය නරඹන හ`ුගක් අය අහන දෙයක් තමයි කොහොමද ඉතා කුඩා සරල සිදුවීමක් මේ තරම ප්‍රහසනාතම ගුණය තියාගෙන නාටf්‍යා්චිත රචනයක් විදිහට ගෙනාවේ කියන එක. අනෙක් කාරණාව තමයි ස්වතන්ත්‍ර ඛේදාන්ත ප්‍රහසන නාට්‍ය අපේ රටේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්. රෝමය ගිනිගනී වගේ විදේශීය නාට්‍ය නිෂ්පාදනය වෙලා තිබුණාට ඒ මට්ටමේ ස්වතන්ත්‍ර නාට්‍ය බිහිවෙලා නැති තරම්. ඒ සියලු කාරණා සැලකිල්ලට අරන් තමයි හිතුවේ සඳුදා වැටෙන්නේ සිකුරාදාට පොතක් විදිහට මුද්‍රණය කරන්න.
නාට්‍ය පිටපතක් කෘතියකට නැගීමේදී මොනවගේ අභියෝගයන්ටද මුහුණදුන්නේ ?
ඇත්තටම නාට්‍ය පිටපතක් නවකතා පොතක්, කෙටිකතා පොතක් වගේ අලෙවි වෙන්නේ නෑ. මේ වගේ පිටපතක් ගන්නේ නාට්‍ය ගැන හදාරන්න කැමැති කෙනෙක්, නැත්නම් නාට්‍ය නරඹපු කෙනෙක්. ඒ නිසා පොත් ප්‍රකාශකයෝ වැඩිපුර කැමැති වෙන්නේ නෑ නාට්‍ය පිටපත් පොත් විදිහට කරන්න. ඒත් සන්තව ප්‍රකාශන ආයතනයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මිත්‍රයා මම මේ ගැන කියපු ගමන්ම පොත කරන් එකඟවුණා. පිටු සකස් කරන කටයුත්තට නිලන්ත ගමගේ මිත්‍රයා එකතුවුණා. පිට කවරය අලංකාර ලෙස සංජය ඈපා සෙනවිරත්න අතින් නිර්මාණය වුණා. පොත එළිදක්වන සංවිධාන කටයුතුවලට සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍ය නිෂ්පාදනය කරපු දිලූපා නිරෝශනී ද අල්විස් මහත්මිය එකතුවුණා. ඉතිං මට මේ කටයුත්තේදී ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වුණේ නෑ. සැප්තැම්බර් මාසේ 28 වෙනිදා හවස 2.00 ට නාමෙල් මාලනී පුංචි තියටර් එකේදී සඳුදා වැටෙන්නේ සිකුරාදාට පොතක් විදිහට එළියට එනවා. ඉතින් නාට්‍ය ලෝලී විතරක් නෙවෙයි පාඨක ඔබටත් ආරාධනා කරනවා එදාට එන්න කියලා.
මැයි මාර ප්‍රසංගය සිනමා පිටපත නිර්මාණයේ වුණේ කොහොමද?
මැයි මාර ප්‍රසංගය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මිත්‍රයාගේ මේ කාලේ ජනප්‍රියම වුණ නවකතාවක්. ඇත්තටම මම මේ නවකතාව බොහොම ආසාවෙන් කියවපු නවකතාවක්. මේකෙන් චිත්‍රපටයක් කරන්න යනවා කියලා මහින්ද මට ආරාධනා කළා තිර පිටපත රචනා කරන්න. මම බොහොම කැමැත්තෙන් ඒ ආරාධනාව භාරගත්තා. ඒත් දක්ෂ සාහිත්‍යකරුවෙකුගේම නවකතාවක් ඔහුටම සිනමා තිර රචනයක් ලියන එක ටිකක් අභියෝගාත්මක වුණා. ඒ නිසාම සංස්කරණ කීපයකින් පස්සේ මැයිමාර ප්‍රසංගය සිනමා තිරරචනය අවසන් කළා. මේවනවිට රූගත කිරීම් කරගෙන යනවා. චිත්‍රපටයක් විදිහට සාර්ථක වෙන මතුයම් දවසක ඒ ගෞරවය යන්න ඕනෑ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මිත්‍රයාට තමයි.
සිටුවර පුවත ටෙලිනාට්‍ය පිටපත් නිර්මාණය ගැනත් මේ වෙලාවේ කතා නොකරම බැහැ ?
සිටුවර පුවත කියන්නෙත් නවකතාවකින් ලියපු ටෙලිනාට්‍ය පිටපතක්. රූපා ශ්‍රියානි ඒකනායකගේ සිටුව පුවත කියන නවකතාව 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම නවකතාව වුණේ. මේ නවකතාව නාට්‍යක් විදිහට නිෂ්පාදනය කළේ චන්දන ලියන ගුණවර්ධන. අධ්‍යක්ෂණය කළේ චමිල් පතිරණ. මේකත් ටිකක් අභියෝගාත්මක පිටපතක් වුණා. මොකද අභ්‍යන්තරයට නැමුන ගැටුම් ඇති බාහිර ගැටුම් අඩු නවකතාවක්. ඒ නිසා යම් යම් දේවල් තිර රචනයේදී එකතු කරන්න වුණා.
වර්තමානයේ හොඳ තිරපිටපත්වල හිඟයක් තියෙනවාද?
හොඳ තිරපිටපත් නැතුවාම නෙවෙයි. යම්පමණකට තියෙනවා. හොඳට ලියන කීපදෙනෙකුත් ඉන්නවා. නමුත් ටෙලිනාට්‍ය කියන මාධ්‍යයේදී තීරණ ගන්න බලතල තියෙන්නේ නාලිකා ප්‍රධානීන්ට. ඔවුන් තීරණ ගන්නේ වෙළෙඳපල හැසිරෙන විදිහට වඩා ජනප්‍රිය දේවල් විකුණගන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණාව එක්ක. එතකොට අර ගුණාත්මක ලියැවිලිවලට තියෙන ඉඩකඩ සීමිත වෙනවා.
වර්තමානයේ බිහිවෙන ටෙලිනාට්‍ය පිටපත් ගැන ඔබ ඉන්නේ මොනවගේ මතයකද?
ඇත්තටම හුඟක් තිර රචකයන්ට සිද්ධ වෙලා තියෙනවා වෙළෙඳ පොළ හැසිරෙන විදිහට අනුගත වෙන්න. එහෙම නොවී තමන්ගේ ආස්ථානය තුළම ඉඳගෙන තිර රචනා කරන අයත් ඉන්නවා. මේ තත්ත්වය එන්නේ ටෙලිනාට්‍ය තිර රචනයේදී. වේදිකාවක් තුළ එහෙම කාගේවත් බලපෑම් සීමාවන් නෑ. රචකයෙකුට නිදහස තියෙනවා තමන් ගේ පරිකල්පනීය සීමාවේ ඉඳගෙන නිර්මාණ කරන්න.
දිනේෂ් විතාන