වෛද්‍යවරු රට යති…හොර දොස්තරවරු බෙහෙත් දෙති

1211

රට හැර ගිහින් තියෙන බහුතරය දුෂ්කර රෝහල්වල වෛද්‍යවරු…

පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරු 247ක් ශ්‍රේණි වෛද්‍යවරු 842 රටින් ගිහින්…

ලංකාවේ වෛද්‍ය වෘත්තියට නිසි ගෞරවයක් ලැබෙන්නේ නෑ…
එංගලන්තයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙක්…

පවතින ජීවන වියදම සමඟ වෛද්‍යවරුන්ට ලැබෙන පඩිය ජීවත්වීමට ප්‍රමාණවත් නෑ…
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

ඉදිරියේදී මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙනවා…
රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය

වෛද්‍යවරු රට හැර යති. සාමාන්‍ය ලෙස නොව බුරුතු පිටින් රට හැර යති. එවැනි පසුබිමක හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා පැදුරටත් නොකියාම පසුගියදාක මෙරටින් පිට මං වී තිබිණි. උපන් රටෙන්, විශේෂයෙන්ම සුන්දර ශ්‍රී ලංකාවේ ජීවත්වන පුරවැසියන් පැදුරටත් නොකියා රට හැර යෑමට කැමැති නොවේ. එහෙත් කෙනෙකුට විඳින්නට සිදුවන ගැහැට දුක්ඛිත නම් හොඳම විකල්පය එවැනි තීරණයක් ගැනීමය. පවතින ආර්ථික අර්බුදය තුළ, ඉහළ යන ජීවන වියදම දරාගැනීමට නොහැකි පසුබිමක පිටරටක රැකියාවට හෝ පදිංචියට යෑමට හැකියාව තිබෙන වෛද්‍යවරු පමණක් නොව මෙරට බොහෝ වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර ගොස් ඇති බව සැබෑය. විශේෂයෙන්ම මෙරට ඉංජිනේරුවන් විශාල සංඛ්‍යාවක් විදේශගත වී සිටින බව වාර්තා වේ. මෙරට විශේෂඥ දැනුම විදේශයට ගලාගෙන යන අර්බුදකාරී පසුබිමක පැදුරටත් නොකියා පිටරට ගිය හම්බන්තොට නිර්වින්දන වෛද්‍යවරයා දෙසට නැවත අපි යොමු වීමු.

හේ සේවය කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේය. ප්‍රදේශයේ විශාලතම රෝහලය. කායික, ශල්‍ය, ළමා, ප්‍රසව හා නාරිවේද, අක්‍ෂි, උගුර කන නාසය සම්බන්ධ වෛද්‍ය අංශයක්, විකලාංග ශල්‍ය රෝග අංශයක් ඇතුළත් දැඩිසත්කාර ඒකකයක් පවත්වාගෙන යන සියලු වෛද්‍ය පහසුකම් සපයන රෝහලකි. පැදුරටත් නොකියා රට හැර ගිය වෛද්‍යවරයා එම රෝහලේ විශාල සේවයක් සිදු කර ඇති එකම නිර්වින්දන වෛද්‍යවරයා ය. එම රෝහලේදී සියලුම ශල්‍යකර්මවලට භාජන කරන රෝගීන්ගේ ජීවිත ශල්‍යකර්ම අතරතුර ආරක්‍ෂා කිරීමේ භාරදූර වගකීම පැවරී තිබුණේ ඔහුට ය. එමෙන්ම දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය ඩෙංගු රෝගීන්, හෘදයාබාධ හේතුවෙන් දැඩි සේ ගිලන්ව දැඩිසත්කාර ප්‍රතිකාර ලබන රෝගීන්, වකුගඩු අකර්මණ්‍ය රෝගීන්, නිව්මෝනියා රෝගීන් සම්බන්ධයෙන් වගකියන විශේෂඥ වෛද්‍යවරයා ද ඔහුය. දවසේ පැය විසිහතර පුරාම ඒ සියලු වගකීම් දැරූ එම වෛද්‍යවරයාගේ මාසික මූලික වැටුප රුපියල් අසූඅටදහසකි. සියලු දීමනා සහිතව ඔහුට ලැබී ඇති මාසික වේතනය රුපියල් ලක්‍ෂ තුනකට අඩු ය. එකී මාසික වේතනයෙන් ආදායම් බදු සහ වෙනත් අය කිරීම් අඩු වී අතට ලැබෙන මාසික මුදලෙන් ප්‍රවාහන වියදම්, බැංකු ණය ගෙවීම් අඩු කළ පසු ඉතිරිවන සොච්චමෙන් පවතින ජීවන වියදම සමඟ ඔට්ටුවීම උඩුගම් බලා පිහිනීමක් වැනිය. එවැනි ආර්ථික ගැටලු මැද ලබාදෙන විශේෂඥ සේවයට රජයෙන් හෝ සමාජයෙන් ද නිසි ඇගයීමක් නොලැබෙන බව ද වාර්තා වේ. එවැනි ගැටලුකාරී පසුබිමක මෙපමණ කාලයක් හෝ එම වෛද්‍යවරයා සේවය ලබාදීම සම්බන්ධයෙන් මෙරට පුරවැසියන් විදිහට අප සතුටු විය යුතුය.

එමෙන්ම වෛද්‍යවරු ඇතුළු විවිධ වෘත්තිකයන් පිටරටවල පදිංචියට යෑම, රැකියාවට යෑම අරුමයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ සිට සිදුවන දෙයක් බව සැබෑය. මේ වන විට එංගලන්තයේ රෝහල්වල සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරු බහුතරය එරටට ගොස් ඇත්තේ මෑතක නොව වසර කිහිපයකට පෙර බව එරට වෛද්‍ය වෘත්තියේ නියැළී සිටින මෙරට වෛද්‍යවරයෙක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අප සමඟ පැවසුවේය.

“මම සේවය කරන රෝහලේ බොහෝ ශ්‍රී ලාංකික විශේෂ වෛද්‍යවරු සේවය කරනවා. ඒ සියලුදෙනා එංගලන්තයට ඇවිත් තියෙන්නෙ බොහෝ කාලයකට පෙර. මේ වෙනකොට බහුතරය එරට ස්ථිර පදිංචිකරුවො. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වගේම මගේ මතය ලංකාවේදී වෛද්‍ය වෘත්තියට නිසි ගෞරවයක් ලැබෙන්නෙ නෑ. රැකියාවට සරිලන වැටුපක් නෑ. අවිවේකී බව, කාර්යබහුලත්වය, වගකීම, වගවීම පවුලෙන් දුරස් වී විවිධ දුෂ්කරතාවන් මැද කරගෙන යන සේවයට නිසි ගෙවීමක් හෝ සැලකීමක් නෑ. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හෝ ශ්‍රේණි වෛද්‍යවරු බහුතරය සේවය පටන් ගන්නේ දුෂ්කර පළාතක අඩු පහසුකම් සහිත රජයේ රෝහලකින්. එම වෛද්‍යවරුන්ට පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන්න ලැබෙන්නෙ මාසෙකට දවස් කිහිපයක් වැනි කෙටි කාලයක්. ඒත් මේ ගැටලු කිසිවක් එක පාර මතු වෙච්ච ඒවා නෙමෙයි. කාලයක් තිස්සෙ සිට ගොඩනැගුණු ගැටලු පොදියක්. ඒ සියලු ගැටලු පවතින ආර්ථික අර්බුදයත් සමඟ දෙගුණ, තෙගුණ වුණා. උදාහරණයක් විදිහට කොළඹ පදිංචි වෛද්‍යවරයෙක් සේවය කරන අම්පාරේ රෝහලට පෞද්ගලික වාහනයක යෑමට, ඒමට වියදම වෙච්ච මුදල රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි වුණා. ඒ වෛද්‍යවරයාට රුපියල් ලක්‍ෂයක මූලික වැටුපක් ලැබෙන්නෙත් නෑ. පිටරටවලදී එහෙම නෑ. රෝහල ආසන්නයේම පදිංචි වීමට පහසුකම් ලැබෙනවා. මම සේවය කරන රෝහලට ගෙදර ඉඳලා පයින් යන්න පුළුවන්. ඒ වගේම පිටරටවල වෛද්‍යවරුන්ට උපරිම පහසුකම් ලබාදෙනවා. ලංකාවේ ලැබෙන වැටුපට වඩා මේ රටවලදී අපේ වෛද්‍යවරුන්ට ලැබෙන වැටුප අති විශාලයි. එවැනි ගෙවීමක් සහිත ගෞරවනීයත්වයක් ලෝකයේ තිබියදී ලංකාවේ රෝහල්වල තවත් වෛද්‍යවරු දුක්විඳී ද? මේ තරමට හරි ලංකාවේ නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා වෙලා තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ තියෙන මනුෂ්‍යත්වය නිසයි. උපන් රටට සහ ලංකාවේ අසරණ ජනතාවට තියෙන දයානුකම්පාව නිසයි. මම මේ රටේ පදිංචි වෙන්නෙ නෑ. පුහුණු කාලය අවසාන වෙච්ච හැටියේ ලංකාවට එනවා. දුෂ්කරතා විඳගෙන හරි අසරණ ජනතාවට සේවය කරනවා…” අන්තර්ජාලය ඔස්සේ ගලාගෙන ආ ඒ වචන හදවත කම්පනයට පත් කළා පමණක් නොව, දෑස් ද තෙත් කළේය. වචනයෙන් පවා සිත් සුවපත් කළ හැකි එවැනි වෛද්‍යවරු මෙරටින් බිහි වී සිටීම ගැන අප සතුටුවිය යුතුය. එහෙත් එම අදහස් ප්‍රකාශ කළ වෛද්‍යවරයාගේ නම සඳහන් නොකර සිටීමට අපි වගබලා ගන්නෙමු. ඒ ඔහු එංගලන්තයේ වෛද්‍ය සේවයේ නිරතව සිටිනුයේ වසර දෙකක විශේෂඥ පුහුණුවක් සඳහා පමණක් වීම නිසාය. අනතුරුව ලංකාවට පැමිණීමට නියමිතය.

මෙරට විශේෂඥ වෛද්‍යවරයෙක් වීමට විදේශ පුහුණුව අනිවාර්ය වේ. එය පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ මූලික සුදුසුකමකි. එමෙන්ම වෛද්‍යවරයෙක් විදේශීය පුහුණුවකට යොමු වනුයේ ඔහුගේ අවශ්‍යතාවට නොවේ, රටේ අවශ්‍යතාවයටය. මෙරට රජයට තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්මාරණ කරගැනීමේ අවශ්‍යතාව සපුරාලීමටය. විශේෂඥ වෛද්‍යවරු පිටරට යනුයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහාය. එම විදේශ පුහුණුව ලැබීමට මෙරට බොහෝ වෛද්‍යවරු තෝරාගනු ලබනුයේ එංගලන්තය හෝ ඔස්ටේ්‍රලියාව යන දෙරටය. බහුතරය විදේශ පුහුණුවට පිටත්වනුයේ එංගලන්තයට ය. එසේ විදේශ පුහුණුවට යොමු වන ඇතැම් වෛද්‍යවරු වැටුපක් ලැබෙන රැකියාවක් තෝරාගන්නාහ. පිරිසක් පඩියක් නොලැබෙන රැකියාවක් තෝරාගන්නාහ. වේතනයක් සහිත රැකියාවට ගිය විට පුහුණුවට අදාළ කිසිදු ගෙවීමක් හෝ පුහුණු කාලසීමාව තුළ ඉඳුම්-හිටුම් කෑම-බීම, ගුවන් ගමන් සඳහා කිසිදු වියදමක් මෙරට රජය නොගෙවන්නේය. වසර දෙකක වෛද්‍ය පුහුණුව සඳහා වියදම් වන සියලු පිරිවැය අදාළ වෛද්‍යවරයා විසින් දරාගත යුතුය. වේතනයක් රහිතව පුහුණුවීම සඳහා පමණක් රැකියාව කරන වෛද්‍යවරුන්ට මෙරට රජයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීම සිදු කරන්නේය. එහෙත් මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 80% ක් විදේශීය පුහුණුවට පිටත් වූයේ වේතනයක් සහිත රැකියාවක් සඳහාය. ඩොලර් අර්බුදයත් සමඟ වැටුප් රහිතව පුහුණුවට පමණක් විදේශ රැකියාවන් සඳහා යොමු වූ වෛද්‍යවරුන්ට ගෙවීම් ප්‍රමාදවීමත් අඩු කිරීමත් සමඟ මේ වනවිට විශේෂඥ වෛද්‍යවරු 90% ක් විදේශ පුහුණුව සඳහා යොමු වනුයේ වේතනයක් සහිත රැකියා සඳහාය.

එමෙන්ම විදේශීය පුහුණුවකට යොමු වන විශේෂඥ වෛද්‍යවරයකුගේ අවම මාසික වියදම රුපියල් ලක්‍ෂ අටකට වැඩිය. එවැනි විශාල මුදලක් වියදම් කොට වසර දෙකක් වැනි දීර්ඝ කාලයක් විශේෂ පුහුණුව ලබාගෙන මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට පත්වීම ලබාදෙනුයේ අති දුෂ්කර රෝහලකටය. තවත් වසර කිහිපයක් එම වෛද්‍යවරයාට පවුලෙන් දුරස් වී සිටීමට සිදු වේ. ලැබෙන මූලික වැටුප රුපියල් 88000 කි. සියලු දීමනා සමඟ විශේෂඥ වෛද්‍යවරයෙක්ට ලැබෙන වැටුප රුපියල් ලක්‍ෂ තුනට අඩුය. ශ්‍රේණි වෛද්‍යවරයකුගේ සම්පූර්ණ වැටුප රුපියල් 200000 ට අඩුය. ඉහළ යන ජීවන වියදම සමඟ එවැනි වැටුපකින් ජීවත්වීමට වෛද්‍යවරුන්ට වෙනම අරගලයක් කිරීමට සිදුව ඇත. එහෙත් වාර්තා වන ආකාරයට පැදුරටත් නොකියා වෛද්‍යවරුන්ට රට හැර යෑමට අවශ්‍ය නැත. විදේශගතවීමට හෝ සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය වෛද්‍යවරුන්ට අනෙකුත් රාජ්‍ය සේවකයන්ට මෙන්ම යම් ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රියාපාටිපාටියට අනුව විනය පරීක්‍ෂණ නොමැති ඕනෑම වෛද්‍යවරයෙක්ට මාසයකට පෙර දැනුවත් කොට සේවයෙන් ඉවත් විය හැකිය. එම ඉල්ලීම සෞඛ්‍ය ලේකම් වෙතට යොමු කර ඔහුගෙන් අනුමත විය යුතුය. එහෙත් මේ වනවිට වෛද්‍යවරුන්ට ඉල්ලා අස්වීමට හෝ තෘත්‍රික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් පහසුකම් ලබා නොදෙන බව වාර්තා වේ. විදේශ පුහුණුවට යන විට අත්සන් කරන බැඳුම්කරය ගෙවීමට හෝ පහසුකම් ලබා නොදෙන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රට අතහැර පැදුරටත් නොකියා යන තත්ත්වයට ඔවුන්ව පත් කර ඇති බව වෛද්‍යවරුන් අප සමඟ පැවසූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වෛද්‍යවරු පැදුරටත් නොකියා මෙරටින් පිටවීමට කටයුතු කරන බව ද ඔවුහු පැහැදිලි කළහ.

සාමාන්‍යයෙන් වසරකට මෙරට රජයේ විශ්වවිද්‍යාවලින් නිර්මාණය කරන වෛද්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව 1200 කි. ඉංජිනේරු වෘත්තිකයන් 2500 ට ආසන්නය. වෙනත් වෘත්තිකයන් ඊටත් වැඩිය. දශක කිහිපයකට වැඩි කාලයක සිට රජයේ වියදමින් (මෙරට ජනතාව ගෙවන බදු මුදල්වලින්) නිර්මාණය කරන වෘත්තිකයින් අතරින් අදට ද රටට සේවය කරන බහුතර වෛද්‍ය වෘත්තිකයන් පමණි. මේ වන විටත් වෛද්‍ය වෘත්තිකයන් 22000 ක් පමණක් මෙරට රජයේ රෝහල්වල සේවය කරති. එම වෛද්‍යවරු පිරිස මෙරට තුළ රඳවාගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අති විශාල මෙහෙවරක් කරගෙන යන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිසිදු දේශපාලන බලපෑමක් නොමැතිව සුදුසුකම් අනුව පමණක් වෛද්‍ය උසස්වීම්, මාරුවීම් පාටිපාටිය ක්‍රියාත්මක කරවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාකරමින් සිටීම අගනේය. එමෙන්ම උසස්වීම්, මාරුවීම් සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම් නොමැතිව මෙරට පවතින එකම වෘත්තිය වෛද්‍ය වෘත්තිය පමණි. එවැනි විනායානුකූල ප්‍රතිපත්ති මෙරට මජර දේශපාලන ක්‍රමයට වහා කදුරු වැනිය. එහෙත් අනේකවිධ දුෂ්කරතා මැද මෙපමණ කාලයකට වෛද්‍යවරු 22000 ක් මෙරට තුළ රැඳී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබාදී ඇති සුරක්‍ෂිතතාව මතය. දේශපාලනඥයන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට ශක්තිය ලබා දී තිබීම නිසාය. එහෙත් පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් දුෂ්කර රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ළමයින්ව නගරයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයන් දියත් වුවද වර්තමානයේදී එම ක්‍රමය දේශපාලනයට යට වී තිබේ. මේ වන විට විශේෂඥ වෛද්‍යවරයෙක්ට තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීමට දේශපාලනඥයන්ගේ දෙපතුළ ළඟට යෑමට සිදුව ඇත. වසර ගණනාවකින් අලුත් වාහනයක් ලබාගැනීමට තිබෙන වරප්‍රසාදය අහිමි වී තිබේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තවත් වරප්‍රසාද රාශියක් ඔවුන්ට අහිමි කර ඇති බව වෛද්‍යවරු අප සමඟ පැවසූහ. මේ වරප්‍රසාද අහිමිවීම්, රජයේ වෛද්‍ය සේවයේ ඇති දුෂ්කරතාව හේතු කොටගෙන මේ වනවිට වෛද්‍යවරු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සීමාවාසික පත්වීම් පවා ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින බව ද ඔවුහු පැවසූහ. පශ්චාත් සීමාවාසික පත්වීම් නොගෙන අතහැර ඇති වෛද්‍යවරු සංඛ්‍යාව දෙසීයකට වැඩිය. බොහෝ දුරට එම වෛද්‍යවරුන්ගෙන් බහුතරය රට හැර යන බව සැබෑය. එමෙන්ම පසුගිය වසරේ ජුනි මස 1 වැනිදා සිට මේ වසරේ මැයි 31 වැනිදා කාලය තුළ මෙරට ශ්‍රේණි වෛද්‍යවරු 842 දෙදෙනකු සහ විශේෂඥ වෛද්‍යවරු 274 දෙනකු රට හැර ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන්නේය. එහෙත් රට හැර ගිය වෛද්‍යවරු සංඛ්‍යාව ඊට වැඩි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අප සමග පැවසුවේය.

“අවසාන වරට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාගත් 1300 ක කණ්ඩායමේ 250 ට ආසන්න පිරිසක් පත්වීම් ලබාගත්තෙ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල තියෙන 842 තුළ ඒ 250 නෑ. රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම තුළත් නොදන්වා ගිය පිරිස කීයක්ද කියලා අමාත්‍යාංශ තොරතුරුවල නෑ. ඉදිරියටත් වෛද්‍යවරු මේ රට දාලා යනවා. පවතින ජීවන වියදම සමඟ වෛද්‍යවරුන්ට ලැබෙන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නෑ. බදු අය කිරීම, ඖෂධ හිඟය වගේම මෙරට අනාගතය පිළිබඳ තිබෙන අවිනිශ්චතතාවය නිසා වෛද්‍යවරු පිටරට යෑම වේගවත් වෙලා තියෙනවා. මේ වෙනකොට වැඩියෙන් රටහැර ගිහින් තියෙන්නෙ දුර පළාත්වල දුෂ්කර රෝහල්වල සේවය කරපු වෛද්‍යවරු. විශේෂයෙන්ම ඒ වෛද්‍යවරුන්ට ලැබෙන පඩියෙන් බදු අඩු වෙලා ඉන්ධන වියදම ගියාට පස්සෙ අතට එන්නෙ සොච්චම් මුදලක්. ඒ සොච්චම් පඩියෙන් මාසයක් පවුලක් නඩත්තු කරන්න බෑ…” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ එසේ පැවසුව ද පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන පවත්වාගෙන යන වෛද්‍යවරු පැයට ලක්‍ෂ ගණනින් මුදල් උපයන බවට සමාජයේ කතාබහක් පැතිරී තිබේ. එමෙන්ම විශාල ලෙස මුදල් උපයමින් හොර වෛද්‍යවරු 40000 ක් රට පුරා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බව ද වාර්තා වේ. එම ගැටලු ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අප ඉදිරිපත් කළේය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු දැක් වූ අදහස්ය.

වෛද්‍යවරු රට යති...හොර දොස්තරවරු බෙහෙත් දෙති

“කොරෝනා කාලේ සීනි පැණි විකුණපු රටේ, හොර වෛද්‍යවරු නෑ කියන්න බෑ. එවැනි හොර වෛද්‍යවරු හඳුනාගෙන ප්‍රතික්ෂේප කිරීම රටේ ජනතාවගේ වගකීමක්. ඒ වගේම මෙරට වෛද්‍යවරුන්ගෙන් පෞද්ගලික වෛද්‍ය සේවා ආයතන පවත්වාගෙන යන්නෙ 30% ත් අඩු සංඛ්‍යාවක්. 70% ට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ සේවයට මාසිකව ලැබෙන වැටුපෙන්. මේ වෙනකොට වෛද්‍යවරුන්ට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ. තරුණ වෛද්‍යවරුන්ට වාහනයක් ගැනීම, නිවසක් ගොඩනැඟීම සිහිනයක් වෙලා. එවැනි තරුණ වෛද්‍යවරු මේ රට දාලා යන එකෙ කිසිදු වරදක් නෑ. හොරු ටික එකතු වෙලා වෛද්‍යවරුන්ට රට හැර යන්න බෑ කියන එක විහිළු කතාවක් වෙනවා. වෛද්‍යවරු රට හැර යෑම නිසා මේ වෙනකොට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම අංශයන්වලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉදිරියේදී මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙනවා…” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කතාව ද අවසානය.

ඉහත සටහන වෛද්‍යවරුන්ට සුදුහුණු ගෑමක් නොවේ. ලෙඩක් හැදුණු කල රුපියලක් අතේ නැතිව රජයේ රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගන්නා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස සිතට දැනෙන කම්පනයට ලියවුණු සටහනකි. වෛද්‍යවරුන්ට මේ රට එපා කර පිටරටකට යන තත්ත්වයට පත් කරවීම බරපතළ කුමන්ත්‍රණයක් විය හැකිය. මෙරට නිදහස් සෞඛ්‍ය ඈවර කිරීමට දරන වෑයමේ එක් පියරවක් විය හැකිය. ඖෂධ හිඟය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිර්දය ලෙස වෛද්‍යවරුන්ව විවේචනය කිරීම, ගරා වැටෙන රජයේ රෝහල්වලට ප්‍රතිකාර නොකර කල් මැරීම නිදහස් සෞඛ්‍ය ඈවර කිරීමේ දිගු පියවර විය හැකිය. ලෙඩක් හැදුණු කල විශාල මුදලක් වියදම් කර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට වත්මක් නොමැති සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මේ උද්ගතව ඇති කුමන්ත්‍රණකාරී තත්ත්වය තුළ අප කම්පනයට පත් නොවී ම පුදුමයකි.

දැඩි ඖෂධ හිඟයක් තිබෙන මේ දිනවල පවා රෝගීන්ට මියැදෙන්ට නොදී ජීවිත බේරාගනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිබෙන දැනුම සහ කැපවීම නිසාය. එවැනි එක් විශේෂඥ වෛද්‍යවරයෙක් රට හැර යෑම තුළ එක් කාණ්ඩයක මුළු සේවාවම අඩපණ වේ. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණු කිරීමට අවම වශයෙන් වසර 10 ක් පමණ කාලයක් ගත වේ. විශේෂඥ වෛද්‍යවරුවීමට සිටින ශ්‍රේණි වෛද්‍යවරු රට හැර යෑමේ දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනුයේ අද, හෙට නොවේ. තව වසර හත, අටකට එපිට ය. විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑමේ ප්‍රතිඵල අද හෙටම ලැබෙනු ඇත.

දැක්මක් සහිත ඕනෑම රටක සෞඛ්‍ය පමණක් නොව ඕනෑම සේවාවක් පවත්වාගෙන යෑම, සංවර්ධනය කිරීම සහ ඊට අදාළ සේවකයන් පුහුණු කිරීම අදාළ ආයතනවල වගකීමකි. එහෙත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට එවැනි දැක්මක් නැත. මෙරට වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය, පවතින රජය තවම කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ. එවැනි පසුබිමක විශේෂඥ වෛද්‍යවරු මෙන්ම ශ්‍රේණි වෛද්‍යවරු තවදුරටත් මෙරට රැඳීම ගැන බලාපොරොත්තු තැබිය නොහැකිය. කෙටි කාලයක් තුළ විශේෂඥ වෛද්‍යවරු විශාල පිරිසක් රට හැර යෑම තුළ මෙරට උද්ගත වන ව්‍යසනකාරී චිත්‍රය මනසේ ඇඳෙනවිට මම බිය වෙමි. හෘද ස්පන්දනය වැඩි වී, තෙළි තුඩ නතර විය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment