වෛද්‍ය අධිකාරිට පහර දුන්නැයි චාවාකච්චේරි රෝහලේ වැඩ නවතී

75

වාට්ටු වසාදමා නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කරයි

යාපනය චාවාකච්චේරි රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විසින් දියත්කොට ඇති වර්ජනයක් හේතුවෙන් රෝහලේ වැඩ කටයුතු සියල්ල අඩපණ වීම නිසා එම රෝහලේ වාට්ටු වසාදමා නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත පෙරේදා (06 දා) මාරු කොට යවා ඇත.

එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර ඉගෙනීමේ කටයුතු සඳහා විදෙස් ගතවීමත් සමගම අලුතෙන් නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයකු පත්කොට තිබේ.

ඔහු රෝහලට පැමිණි දිනයේම සියලු කාර්ය මණ්ඩල සමග සාකච්ඡාකොට රෝහලේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර ඔහු උතුරේ සෞඛ්‍ය බලධාරීන් හා ඉහළ පෙළේ වෛද්‍යවරුන් විසින් කරගෙන යන දූෂණ හා වංචනික ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යවා තිබේ.

මේ ගැන කිපුණු යාපනයේ වෛද්‍යවරු පිරිසක් එම වීඩියෝව ඉවත් කරගන්නා මෙන් බලකොට ඇති අතර ඔහු එම වීඩියෝව ඉවත් කිරීම වෙනුවට තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමුකොට තිබේ.

මේ හේතුව මත යාපනයේ සිට පැමිණි වෛද්‍යවරුන් පිරිසක් ඔහුගේ ජංගම දුරකතනය උදුරා ගෙන ඔහුට පහර දී තිබේ.

නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පහරදීමට විරෝධය පළකිරීම පිණිස රෝහලේ සියලුම කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.

මේ අතර රෝහලේ ප්‍රශ්න විසඳා මහජනතාවට නිසි සේවයක් ලබාදෙන ලෙස ඉල්ලා පළාතේ වැසියන් පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ අතර එම උද්ඝෝෂණය තීව්‍ර වීම නිසා පොලිසිය උද්ඝෝෂණ කරුවෝ ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී පොලිසිය සමග ගැටුමක් ඇතිකර ගත් චාවකච්චේරි මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන එස්. ක්‍රිෂෝර් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුව ඇප මත නිදහස් කිරීමට චාවාකච්චේරී පොලිසිය පියවර ගෙන තිබේ.

චාවාකච්චේරි වෙළෙඳ සංගමය මගින් රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත්කරන ලෙස ඉල්ලමින් අද (08 වෙනිදා) නගරයේ සියලුම වෙළෙඳ සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment