වෛද්‍ය සංගමයෙන් ජනපති අපේක්ෂකයන්ට යෝජනාවලියක්

35

ජනපතිවරණයේ ඉදිරි කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කරලීමට ක්‍රියා කරන වගකීම සියලු ජනාධිපති අපේක්ෂකයන් විසින් ඉටු කරන ලෙස හා ඊට අදාළ යෝජනාවලියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අපේක්ෂකයන් වෙත යොමු කර තිබේ.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු නිකුත් කර ඇති එම යෝජනාවලියේ පහත කරුණු ද ඇතුළත්වේ.

. ස්වකීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් අතරතුර මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකයක් හෝ එම රාජකාරි කටයුතුවල නිරතවන නිලධාරීන්ගේ ආරක්ෂාවට හා රාජකාරියට බාධාවක් වන අයුරින් ඍජුව හෝ වක්‍රාකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකීම.

. අනෙකුත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශන සහ සාවද්‍ය තොරතුරු විවිධාකාර වූ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් ප්‍රචලිත කිරීමෙන් වැළකී සිටීම.

. ජාතිය, ආගම හා අනෙකුත් සංවේදී කරුණු උපයෝගී කරගනිමින් වෙනත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීම.

. ජාතීන් හා විවිධ පුද්ගල කණ්ඩායම් අතර වෛරය පතුරුවන හා ගැටුම් ඇතිවිය හැකි ආකාරයේ ක්‍රියාවන් හා ප්‍රකාශයන්ගෙන් වැළකීම.

. පුද්ගල තර්ජන හා හිංසාකාරී චර්යාවන් සඳහා අනුබල දීමෙන් හා ප්‍රවර්ධනයෙන් වැළකී සිටීම. එම ක්‍රියාවන් සඳහා තම අනුගාමිකයන් යොමු කිරීමෙන් වැළකීම.

. සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය වැනි නව ප්‍රචාරණ මාධ්‍යයන් උපයෝගී කරගැනීමේදී මාධ්‍ය ආචාර ධර්ම හා රටේ පවතින නියාමනයන්ට අනුකූල වන පරිදි කටයුතු කිරීම.

. මැතිවරණ නීතිරීති, රෙගුලාසි හා මාර්ගෝපදේශයන්ට අවනතව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම හා ඒ සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අනුගාමිකයන් යාවත්කාලීන කිරීම.

. ඉහත සියලු නිර්දේශයන් පූර්ව මැතිවරණ හා පශ්චාත් මැතිවරණ සමයන්හිදී ක්‍රියාත්මක කිරීම මගින් මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment