ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ මෙරට ප්‍රවීණතම වොලිබෝල් විනිසුරුවරයකු වූ අභාවප්‍රාප්ත ගම්පහ බී. බී. ගුණතිලක මහතාගේ අවසන් කටයුතු වොලිබෝල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පෙරේදා ගම්පහ පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ පැරණිතම වොලිබෝල් ක්‍රීඩා සමාජයක් වන ගම්පහ සියනෑ ක්‍රීඩා සමාජයේ ද ප්‍රධාන ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ බී. බී. ගුණතිලක මහතා 70 දශකයේ සිට මෙරට ග්‍රාමීය මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාව නංවාලීම සඳහා තරගාවලි සංවිධානය කරමින් සහ තරග විනිශ්චය කරමින් සුවිශේෂ දායකත්වයක් දැක්වූ ප්‍රවීණයෙකි. මෙරට ප්‍රාදේශීය සහ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වූ සෑම වොලිබෝල් තරගාවලියකදීම වසර 30කට වැඩි කාලයක් ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ඒ මහතා, වොලිබෝල් තරගාවලි ප්‍රතිඵල “දිවයින” ප්‍රධාන කොටගත් ජනමාධ්‍යයට ලබා දීමේදී සුවිශේෂ මෙහෙයක් කළ පුද්ගලයකු ලෙස ද හැඳින්විය හැක.
මෙරට වොලිබෝල් ක්ෂේත්‍රයේ සියලු තරාතිරමේ පුද්ගලයන් අතර “බී.බී.” යනුවෙන් ප්‍රකට ඒ මහතා, සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක්ම කැප කරන ලද්දේ වොලිබෝල් විනිශ්චය වෙනුවෙනි.