වොෂින්ටන් විහාරයෙන් පිටමංවීමට ගුණරතන හාමුදුරුවන්ට අනතුරු ඇඟවීමක්… දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ…

1227

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදුදහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය. 47 වැනි කොටස…

 බොස්ටන් ඉන්සයිඞ් භාවනා මධ්‍යස්ථානයෙන් ගුවන් ටිකට්පත් එව්වා. සෑම වසරකම දින දහයක් භාවනා වැඩසටහන් කරලා, තවත් සතියක් විතර එම භාවනා මධ්‍යස්ථානයේ නතර වෙලා කඳු නැඟලා, සුන්දර ස්ථාන නරඹන්න ගිහින් ඒ අය සමඟ සතුටින් ඉඳලා තමයි නැවත වොෂින්ටන් විහාරයට පැමිණියේ. ඒ අතර තවත් භාවනා මධ්‍යස්ථාන කිහිපයකම වැඩසටහන් කරන්න සහභාගි වුණා.

 ඒත් මේ වෙනකම් හිපි මිනිස්සු එන, යන කිසිම භාවනා මධ්‍යස්ථානයකට නම් මම ගියේ නෑ. ඒ වගේම 1978 අවුරුද්ද අවසාන වෙනකොට මුළු ඇමරිකාව පුරාම ඇවිදින්න මට අවස්ථාව ලැබුණා. ඇමරිකාවේ මම නොගිය ප‍්‍රාන්ත තියෙන්නෙ දෙකයි, නැති නම් තුනයි. හතළිස් හතකටම ගිහින් තියෙනවා. ප‍්‍රධාන වශයෙන් ඒ සියලූම ප‍්‍රාන්ත වලට ගියේ භාවනා වැඩසටහන් කරන්න හෝ විශ්වවිද්‍යාල, ආයතනවල දේශන පැවැත්වීමට. ඇමරිකාවේ ප‍්‍රාන්ත හතළිස්හතකට ගිහින් තියෙනවා කියන්නේ සුළු පටු දෙයක් නොවේ. ඇමරිකාව වර්ග සැතපුම් මිලියන තුනයි දශම ගාණක් විශාලයි. ඒ වගේම විශාල ජනගහණයක් ජීවත් වෙනවා. ඒ කාලේ හොඳට ඉංග‍්‍රීසි කතාකරන සිංහල ස්වාමීන්වහන්සේ නමකට හිටියේ මම විතරක් නිසා ඇමරිකන් ජාතිකයන් අතරට යන්න වුණා. ඔය කාලේ මම වොෂින්ටන් විහාරයේ දවස් තුනක් භාවනාව උගන්වනවා. ඇමරිකන් විශ්වවිද්‍යාලයේ භාවනා වැඩසටහන් කරගෙන ගියා. ඕෆ් ෆවුන්ඬේෂන්හි භාවනා වැඩසටහන් කළා.

 ආරාධනාවලට අනුව කි‍්‍රස්තියානි පල්ලිවල භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා.

 ‘භන්තෙ හැමදාම පාරේ නේ…’ අපේ දායකයෝ එහෙම කියපු වාර අනන්තයි. ඒත් මට මහන්සියක් දැණුනේ නෑ. බොහෝම කැමත්තෙන් ඒ වැඩ ටික කරගෙන ගියා. කාලය සෙමෙන් ගෙවිලා යන අතරේ 1979 වර්ෂයේ වෙසක් උත්සවයට භික්කු බෝධි ස්වාමීන්වහන්සේත් වොෂින්ටන් විහාරයට වැඩම කළා. උන්වහන්සේ ඇමරිකන් ජාතිකයෙක්. උන්වහන්සේගේ ගිහි නම ජැෆ්රි බොල්ක්. මහණ වෙන්න පෙර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකින් ශාස්ත‍්‍රපති උපාධියක් ලබාගෙන එම විශ්වවිද්‍යාලයේම බුදුදහම ගැන දේශන පවත්වමින් සිටියදී මහණ වෙන්න ඕනෑ කියලා වොෂින්ටන් විහාරයට පැමිණියා. එතකොට අපිට කෙනෙක්ව මහණ කරන්න තරම් වාතාවරණයක් හැදිලා තිබුණේ නෑ. මමත් ඇමරිකාවට ගිය අලූත. මහණ වෙන්න කැමති නම් ලංකාවට යන්න කියලා ජැෆ්රිට උපදෙස් දුන්නේ මමයි.

එම උපදෙස් පිළිගෙන ලංකාවට පැමිණි ජැෆ්රි බලංගොඩ ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවෝ ළඟ මහණවෙලා තිබුණා. ආනන්ද මෛත‍්‍රය හාමුදුරුවො ළඟ ටික කාලයක් ඉඳලා නුවර උඩවත්ත කැලේ වැඩසිටිය ජර්මන් ජාතික ඥාන පෝනික හාමුදුරුවෝ ළඟට උන්වහන්සේ ගිහින් තිබුණා. මහණවෙලා අවුරුදු පහකට පස්සෙ ඇමරිකාවට ඇවිත් නිව් ජර්සිවල මොංගෝලියන් පන්සලේ වැඩසිටින අතරතුර තමයි උන්වහන්සේ 1979 අවුරුද්දෙ වෙසක් උත්සවයට වොෂින්ටන් විහාරයට වැඩම කරලා තිබුණේ. එම උත්සවයේදී උන්වහන්සේ හරවත් ධර්මානුකූල දේශනාවක් කළා. පාලි භාෂාව සම්බන්ධයෙන් හසල දැනුමක් තිබුණා. උන්වහන්සේට පාලි භාෂාව උගන්වලා තිබුණේ බලංගොඩ ආනන්ද මෛත‍්‍රය හාමුදුරුවෝ. ඒ වගේම ඉංග‍්‍රීසි, සිංහල ඇතුළුව භාෂා කිහිපයක්ම උන්වහන්සේ ඉගෙනගෙන තිබුණා. උන්වහන්සේගේ සිල්වත්කම, උගත්කම ගැන පැහැදුණු අපි වොෂින්ටන් විහාරයේ වැඩසිටින ලෙසට ආරාධනා කළා.

 එම වෙසක් උත්සවයට ජපන් ජාතික භික්‍ෂුන් වහන්සේනමක් සහ ජපන් ජාතික ව්‍යාපාරිකයෙක් සහභාගි වෙලා සිටියා. ඒ ජපන් ජාතික භික්‍ෂුන්වහන්සේට ඉන්න තැනක් තිබුණේ නෑ. පස්සෙ උන්වහන්සේටත් අපේ විහාරයේ වැඩ සිටින්න අවසර දුන්නා. භික්කු බෝධි හාමුදුරුවෝ විහාරස්ථානයේ වැඩසිටින අතරේ බුදුදහම ගැන දේශන මාලාවක්ම කළා. එම දේශන පටිගත කරලා පසුකාලීනව ග‍්‍රන්ථයක් මුද්‍රණය කළා. උන්වහන්සේ දේශනාවක් කළාම කිසිම සංස්කරණයක් නැතිව මුද්‍රණයට යවන්න පුළුවන්. ව්‍යාකරණානුකූලව අවශ්‍ය කරුණු පමණයි දේශනා කරන්නේ. ඒ වගේම උන්වහන්සේ පරිවර්තන කිරීමටත් දක්‍ෂයි. සූත‍්‍ර පිටකයේ ගැඹුරු සූත‍්‍ර කිහිපයක්ම උන්වහන්සේ ඉංග‍්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා. ඒ සියලූ ග‍්‍රන්ථවලට හරවත් සහ අලංකාර ප‍්‍රස්ථාවනාවක් ලියන්නත් උන්වහන්සේ අමතක කළේ නෑ. ඔහොම යනකොට 1979 අවුරුද්දේ දවසක දික්වැල්ල පියනන්ද හාමුදුරුවෝ හොයාගෙන ඇමරිකන් ජාතික තරුණයෙක් වොෂින්ටන් විහාරයට පැමිණියා. ටයි කෝට් ඇඳලා හිටිය කඩවසම් ප‍්‍රසන්න, තරුණයා ලොකු මල් පොකුරකුත් අරගෙන ඇවිත් හිටියේ. ඒ තරුණයා එනකොට පියනන්ද හාමුදුරුවන්ට (දෙයියන්ගේ ලෙඬේ පැපොල හැදිලා. උණත් අරගෙන තරමක් අමාරුවෙන් හිටියේ. උන්වහන්සේ කාමරයෙන් එළියටවත් බැස්සෙ නෑ.

 ‘පියනන්ද හාමුදුරුවො ඉන්නවා. ඒත් අසනීප වෙලා කාමරයෙන් එළියටවත් බහින්නෙ නෑ…’ කියලා මම අර තරුණයාට කිව්වා. එතකොට ඒ තරුණයාගේ අතේ තිබුණු මල් පොකුර මට දීලා ‘මම ආවේ ඒ හාමුදුරුවන්ට කියලා භාවනාව ටිකක් පුරුදු වෙන්න’ කියලා කිව්වා.

 පියනන්ද හාමුදුරුවෝ බොහෝම ගුණවත්, නැණවත්, ශාස්ත‍්‍රීය කටයුතු සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති, ධර්මය හොඳින් ප‍්‍රගුණ කර සිටි ස්වාමීන්වහන්සේනමක් වුවද භාවනාව පුරුදු, පුහුණු කරන්න උනන්දු වුණේ නෑ. ඒ බවක් ඒ තරුණයා එක්ක කතාකරන්න ගියේ නෑ. ඒත් භාවනාව ටිකක් පුරුදු කරන්න කියලා ඒ තරුණයා මට කිව්වා. ඔහුගේ නම මැතිව් ෆිල්ක්ස්්. ඒ මොහොතේම මම වාඩි කරවලා පැයක් විතර භාවනා කරන්න පුරුදු කළා. අවසානයේ තරුණයා බොහෝම සතුටු වෙලා මටත් නොසෑහෙන්න ස්තුති කරලා විහාරයෙන් යන්න ගියා. එදා ඉඳලා ඒ තරුණයා හැමදාම දුරකථනය ඔස්සේ පැයක් විතර මාත් එක්ක කතාකළා. භාවනාව සම්බන්ධයෙන් විවිධ ප‍්‍රශ්න අහලා විසඳුම් ලබාගත්තා. ඔය කාලය වෙනකොට හවසට වොෂින්ටන් විහාරය බැතිමතුන්ගෙන් පිරෙනවා. තරමක් ඝෝෂාකාරියි. භාවනා වැඩසටහන් කරන්න අපහසුයි. වොෂින්ටන් විහාරයේ භාවනා වැඩසටහන් කරගෙන ගියෙත් බේස්මන්ට් එකේ පුංචි කාමරයක. භාවනාව ඉගෙනගන්න පැමිණි මැතිව්ට රැකියාව හේතුවෙන් උදේ වරුවේ භාවනා වැඩසටහන්වලට සහභාගි වෙන්න අසීරු වුණා. ඒ නිසා මැතිව් මාසයකට වතාවක් මාව හෝටලයකට එක්කරගෙන ගිහින් මහ ? වෙනකම් භාවනා කළා. ඒ විදිහට අවුරුද්දක් මැතිව් මගෙන් භාවනාව ඉගෙනගත්තා. ඒ කාලය තුළදී මැතිව් මට බොහෝම සමීප වුණා. ඒ වගේම ඔය සන්දිය වෙනකොට වොෂින්ටන් විහාරයේ භික්කු බෝධි හාමුදුරුවොත් හිටපු නිසා මට ලොකු නිදහසක් තිබුණා. ඇමරිකාව තුළ භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීමට මගේ සිතේ කැමත්තක් දලූලන්න පටන් ගත්තෙත් ඔය කාලේදීමයි. දවසක් ඔය අදහස මැතිව්ටත් මම කිව්වා.

 ‘ඒක හොඳ අදහසක් භන්තෙ. මමත් උදව් කරන්නම්…’ කියලා මැට් එකහෙළාම මගේ යෝජනාව ස්ථිර කළා. වචනයට කිව්වට මැතිව්ට එවැනි ලොකු වැඩකට උදව් කරන්න තරම් ආර්ථික ශක්තියක් තිබුණේ නෑ. ඔහු කළේ පුංචි රැකියාවක්. විවාහ වෙලා දරු දෙදෙනෙක් හිටියා. ජීවත් වුණේ සාමාන්‍ය නිවසක. ගමන් බිමන් යන්න තිබුණේ පොඩි මෝටර් රථයක්. ඒ දේවල් නඩත්තු කරනකොට මැතිව්ට ලැබෙන පඩිය ඉවරයි. ඔහුගේ ආර්ථික තත්ත්වය මම හොඳින් දැනගෙන සිටිය නිසා භාවනා මධ්‍යස්ථානයේ සිහිනය ගැන නැවත මැතිව් සමඟ කතා කරන්න ගියේ නෑ. ඒත් මැතිව්ගේ හිතවත්කම දිනෙන් දින වැඩි වුණා. දික්වැල්ලේ පියනන්ද හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සෙ 1980 අවුරුද්දෙ වොෂින්ටන් විහාරයේ විහාරාධිපති පදවියට මාව පත් කිරීමත් සමඟ නැවත වගකීම් වැඩි වුණා. කාර්යබහුල වුණා. අධ්‍යාපන, ධර්ම ප‍්‍රචාරණ කටයුතු සමඟ විහාරස්ථානය දියුණු කරන්න ලොකු වැඩ කොටසක් කරන්න වුණා. විහාරයේ වැඩ කටයුතු සහ අධ්‍යාපනය, ඉගැන්වීම් කටයුතු තනියෙන් කරගෙන යන්න අසීරු වුණා. ගතට, සිතට දැඩි මහන්සි ගතියක් දැනෙන්න පටන් ගත්තා. ඒ බව දැනුම් දීලා වොෂින්ටන් විහාරයට ස්වාමීන්වහන්සේනමක් එවන්න කියලා මඬිහේ පක්‍ඳ්ක්‍ඳාසීහ හාමුදුරුවන්ට මම ලිපියක් තැපැල් කළා.

 ‘ඇමරිකාවට එවන්න තරම් හැදිච්ච භික්‍ෂුන්වහන්සේ නමක් නෑ…’ නායක හාමුදුරුවන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ…

 ‘ගෝලයෝ නැති නම් ගුරුවරයෙක් හරි එවන්න නායක හාමුදුරුවනේ. මේ වැඩ රාජකාරි ටික මට තනියෙන් කරගෙන යන්න අපහසුයි…’ නැවත මම උන්වහන්සේට දැනුම් දුන්නා. උන්වහන්සේ එම අදහස ගැන සැලකිලිමත්වෙලා කන්තලේ අජිත හාමුදුරුවන්ව වොෂින්ටන් විහාරයට පිටත් කර එවලා තිබුණා. ඒ හාමුදුරුවන්ගේ පැමිණීම මගේ වැඩකටයුතුවලට විශාල පහසුවක් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දීලා වැඩ කරගෙන ගිහින් 1980 අවුරුද්දෙ ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළා. ආචාර්ය උපාධියට අපි දහදෙනෙක් පෙනී ඉඳලා මම විතරයි සමත් වුණේ. එතකොට මට වයස අවුරුදු පනස් තුනයි.

 මතුසම්බන්ධයි
 තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment