වෝල්ටේජ් 33000

1427

සය මසක් ඇතුළත ඉන්ධන මිල ඩබල් විය. පැය 24 ක් ඇතුළත කිරි පිටි මිල රුපියල් 2000 සීමාව දක්වා ඉහළ ගියේය. මේ අතර එළඹෙන පැයේදී විදුලි බිල  650 % කින් වැඩි කිරීමේ සූදානමක් පවතී. ඒ, විදුලි ඒකක 30 ට වඩා පාවිචිචි කරන අයටය. විදුලි ඒකක 30 ට අඩුවෙන් පාවිච්චි කරන අයට පමණක් 350% කින් බිල වැඩි කරන ලෙසට නිර්දේශයක් ඉදිරිපත් වී ඇත. විදුලි බල මණ්ඩලය මේ වන විට අවුරුද්දකට ලබන පාඩුව රුපියල් කෝටි 25000 කි. මේ පාඩුව යම් ප‍්‍රමාණයකින් හෝ අඩු කරගෙන අවුරුද්දකට රුපියල් කෝටි 15000 ක් ආදායම වැඩිකර ගැනීම එම මණ්ඩලයේ ඉලක්කය වී තිබේ. මේ ටාගට් එකට යෑමට නම් විදුලි බිල පෙර කී ආකාරයෙන් වැඩිකළ යුතුමය. එසේ නැත්නම් විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන නොමිලේ ලබා ගැනීම සඳහා  පරිත්‍යාගශීලී රටක් අප සොයාගත යුතුය. එවැනි පරිත්‍යාගශීලී පිස්සෝ එකලත් නොසිටියහ. මෙකලත් නැත. ඉදිරියේදීත් නොසිටිත්. ශ‍්‍රී ලංකාවට සිදුවූ ලොකුම වරද වූයේ රටේ තරම ගැන නොසලකා ණයට සල්ලි ගෙන සංවර්ධනය වීමය. මේ ආකාරයෙන් සංවර්ධනය වූ විට එම සංවර්ධනය සඳහා ගත් ණය සල්ලි ආපසු ගෙවීමට වූ කල්හි කටත් පස්සා පැත්තත් යන දෙකම එකට ගැට ගැසේ. අද අපි ඒ තත්ත්වයට පත්ව සිටිමු.

 1948 දී ලංකාවට නිදහස ලැබෙන විට මේ රට පැවතියේ ඉංග‍්‍රීසි කතා කරන සුළු නාගරිකයක් පමණක් තිබුණු අමුම අමු ගැමි රාජධානියක් ලෙසය. 1970 දීත් මේ රටේ ජනයාගෙන් යුරෝපීය ඇඳුම් අඳින ලද්දේ  10% කටත් අඩු ප‍්‍රමාණයක් පමණි. ඇතැම් ගමක ගුවන් විදුලි යන්ත‍්‍රයක් තිබුණේ එකම එක ගෙයකටය. තැපැල් කන්තෝරුවේ පමණක් දුරකථනයක් තිබිණ. ඒ දුරකථනය ද පිටස්තර පාරිභෝගිකයන් විසින් පාවිච්චි කරන ලද්දේ ඉතා අඩුවෙනි. එයට හේතුව එකල විසූ ජනයාට පයින්, කරත්තයකින් හෝ බයිසිකලයකින් ගොස් කියන පණිවුඩ හැර ටෙලිෆෝන් එකෙන් කියන පණිවුඩ සඳහා ගෙවල්වල ටෙලිෆෝන් ඇති හිත මිතුරන් හෝ නෑයන් නොසිටීමය. මේ කියන කාලයේදී ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, බුරුමය යන රටවල් සියල්ල පැවතියේ සමාන දළ ජාතික නිෂ්පාදිතයක් ඇති සමාන ඒක පුද්ගල ආදායමක් ඇති රටවල් ලෙසිනි. ශ‍්‍රී ලංකාව රටක් හැටියට ජීවිතය පටන් ගත් දා සිටම කෘෂිකාර්මික රාජ්‍යයකි. ඉන්දියාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය යන රටවල් ද එසේම වූහ. එහෙත් 1977 දී ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බලය අන්ත දක්ෂිණාංශික ජේ. ආර්. ජයවර්ධන අතට පත්වූ සැණින් ක්ෂණිකවම අධි සංවර්ධිත රටක් බවට පත්වීමේ අවදානම් සහගත ගමනක් ආරම්භ විය. මේ අධි සංවර්ධනය ගෘහස්ථ මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන්ද ප‍්‍රදර්ශනය විය. උදාහරණයක් වශයෙන් හැම ගමකටම ලයිට් ලැබෙන්නට පටන් ගත්තේය. ඊට අමතරව හැම ගමකම තිබූ ගෙවල් වැඩි හරියක් විශාල ටී වී එකකින්ද, ෆ‍්‍රිජ් එකකින්ද, කැසට් රේඩියෝවකින්ද, බ්ලෙන්ඩරයකින්ද, විදුලි ඉස්තිරික්කයකින්ද සන්නද්ධ විය. ටී වී එක සාලයෙහි තිබූ කැබිනට්ටුව මත තබන ලදී. ෆ‍්‍රිජ් එකට හිමි තැන කුස්සිය වුවද ගෙදරට එන අමුත්තන් කුස්සියට නොයන නිසා ඔවුන්ගේ දැන  ගැනීම පිණිස ෆ‍්‍රිජ් එක සාලයේ කොනක හැමටම පෙනෙන පරිදි ස්ථානගත විය. මේ හැම කාරණයකින්ම හැඟී ගිය වැදගත් යමක් විය. ඒ වූකලී අපේ සමාජ විඤ්ඤාණය පාරිභෝගිකවාදය කරා ඉතා වේගයෙන් ගමන් කරමින් තිබූ බවය. එහෙත් ඒ විඤ්ඥාණය නඩත්තු කිරීමට අපට මුදල් තිබුණේ නැත. නොඑසේ නම් එවැනි නඩත්තුවක් සඳහා අවශ්‍ය ආදායමක් උපදවන මාර්ග අපට තිබුණේ නැත. 1977 වන විට ලාංකිකයන්ගේ ශ‍්‍රමය සඳහා මැද පෙරදිග රටවල වෙළෙඳපොලක් සෑදෙන්නට පටන් ගත්තේය. ඒ නිසා එතෙක් මේ රටට විදේශ විනිමය ගෙනා තේ පොල් රබර් ඉක්මවන තැනට විදේශීය ශ‍්‍රමික ආදායම පත්විය. ඒ සියලූ කරුණු අතරේ රට තුළ ඉතා වේගවත් සංවර්ධනයක් ක‍්‍රියාත්මක විය. විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ විදුලිබල උත්පාදනය සිදුවිය. රටේ විදුලි බල අවශ්‍යතාව ජල විදුලියෙන් සංතෘප්ත කිරීමට නොහැකි වූ කල්හි තාප බලාගාර ඇතිකොට විදුලිය නිපදවීමට සිදුවිය. එම විදුලිය නිපදවන ලද්දේ ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ගෑස් වලිනි. විදුලිය රිසි සේ ඇති බැවින් කිසිදු සීමාවක් නැතිව විදුලි උපකරණ රට තුළට එන්නට පටන් ගත්තේය. අන්තිමට සිදුවූයේ රටට දරා ගැනීමට නොහැකි තරම් වූ විදුලි පරිභෝජනයක් නිර්මාණය වීමය. මෙය ඉතාම අභව්‍ය අතාත්වික තත්ත්වයකි. අප හා සමාන ගැමි රාජ්‍යක් වූ ඉන්දියාව තුළ මෙවැනි විකාරයක් සිදුවූයේ නැත. ඒ රටේ සියලූ කෝච්චි අද වන විට දුවන්නේ විදුලි බලයෙනි. එහෙත් ඉන්දියානු විදුලි බල මණ්ඩලය පාඩු නැත. ඉන්දියාවේ ඇති එකම ප‍්‍රශ්නය වන්නේ දවසේ පැය 24 තුළදී 48 වතාවක් පමණ විදුලිය විසන්ධි වීමය. එහෙත් ඒ රටේ ජනයා එයට පුරුදුය. විදුලි බලය යනු සංවර්ධනයේ තීරණාත්මක සාධකයකි. මේ තීරණාත්මක සාධකය ලබා ගැනීමට යහමින් මුදල් තිබිය යුතුය. නොඑසේ නම් විදුලිය උපදවන පරමාණු බලාගාර තිබිය යුතුය. පරමාණු බලාගාරයක් තැනීමට සුවිශාල ධනස්කන්ධයක් අවශ්‍ය වේ. එවැනි ධනස්කන්ධයක් ණයට හෝ පිනට ගෙන පරමාණු බලාගාරයක් ඉදිකිරීමට ලංකාව සූදානම් වුණොත් රුසියාව විසින් යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරනු ලැබුවාක් මෙන් ඉන්දියාවද අප ආක‍්‍රමණය කරනවා ඇත.

 මේ නිසා විදුලි ප‍්‍රශ්නයේදී අපට ගැලවිල්ලක් ඇත්තේම නැත. ගෝඨාභය ගෙදර ගොස් සජිත් බලයට ආවත් සජිත් ගෙදර ගොස් රනිල් බලයට ආවත් රනිල් ගෙදර ගොස් අනුර දිසානායක බලයට ආවත් ලංකාවේ විදුලි බල ප‍්‍රශ්නය විසඳීමට බැරිය. එයට හේතුව දරා ගැනීමට නොහැකි තරම් විශාල සංවර්ධන ව්‍යාපෘති සමග අපේ රටේ විදුලි අවශ්‍යතාව බැඳී තිබීමය. මේ රටේ අද පවතින උෂ්ණත්වය එක්දහස් නවසිය හැත්තෑ  ගණන්වලදී මේ රටේ පැවති උෂ්ණත්වයට වඩා අංශක කිහිපයකින් වැඩිවී තිබේ. එයට හේතුව රටේ ගස් කැපීමද නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යෑමද යන්න අපි නොදනිමු. මේ රටේ නාගරිකයේ කාර්යාල සියල්ලටම අද වන විට AC අවශ්‍යය. නැත්නම් ෆෑන් අවශ්‍යය. විදුලි බල ප‍්‍රශ්නයෙන් ගැලවීම සඳහා අපට ඇත්තේ එකම මගකි. ඒ වූකලී වෝල්ටේජ් 33000 විදුලි කම්බි අතින් අල්ලා මුළු රටම සිය දිවි නසා ගැනීමය. එවිට අළු පමණක් ඉතිරි වේ. ආදාහනාගාර වියදම ශූන්‍ය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment