ශතක අටක් ඈත වියට්නාමයට අප ගෙනයන වසා වාසි

295

කෘතිය : ‘වසා වාසි’
 කර්තෘ : සමන් අතාවුදහෙට්ටි
 ප‍්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂිං ප‍්‍රයිවට් ලිමිටඞ්
 පිටු : 289
 මිල : රු.500/-

 අද වනවිට සමාජවාදී ජනරජයක් බවට පත්ව තිබෙන වියට්නාමය පිළිබඳව අප බොහෝදෙනා දන්නේ එය කලක් ප‍්‍රංශ යටත්විජිතයක්ව පැවති බවත්, ඇමෙරිකාවට දැඩි අවමානයක් ගෙනදුන් වියට්නාම් විමුක්ති අරගලයෙන් අවසානයේ එය නිදහස ලබාගත් බවත් ය. වියට්නාමය පිළිබඳ වැඩිමනත් තොරතුරු අප අතර එතරම් ප‍්‍රචලිත නොවන්නට හේතුව වෙනත් විදෙස් සාහිත්‍ය පොතපත තරම් වියට්නාම් සාහිත්‍යය මෙරට ප‍්‍රචලිත නොවීමත්, සාපේක්ෂව ගත්කල ඉංග‍්‍රීසියට නැගුණු වියට්නාම් සාහිත්‍ය පොතපත සුලබ නොවීමත් බව පෙනේ.

ශතක අටක් ඈත වියට්නාමයට අප ගෙනයන වසා වාසි

නාම් කා ඕ, බියූ හෙන් හා වූ චොංග් ෆුංග් යන වියට්නාම් ලේඛකයන්ගේ නිර්මාණ අතළොස්සක් හා වියට්නාම් ජාතික වීරයා වන හෝ වී මිං විසින් ලියන ලද කවි සහ ඔහුගේ ජීවන තොරතුරු සිංහලයට නැගී තිබුණ ද, අනෙක් විදෙස් සාහිත්‍යයන් හා සලකා බැලීමේ දී එය කිසිසේත්ම ප‍්‍රමාණවත් මට්ටමක නැත. එහෙයින්, වියට්නාම් ජන සමාජය සිංහල පාඨකයාට තවමත් ආගන්තුක එකකැයි පැවසුවහොත් එය සාවද්‍ය නොවේ.

 1858 සිට 1945 දක්වා පුරා වසර 87ක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවති වියට්නාමයේ එදා පැවති සමාජ, දේශපාලන, ආර්ථික පසුබිම පිළිබඳව තවමත් ආගන්තුකයන්ව සිටින අප ඒ අතීත සමාජ වකවානුවට ගෙනයන අපූරු වියට්නාම් නවකතාවක් දැන් සිංහලයට පරිවර්තනය වී තිබේ. ඒ, වියට්නාම් ලේඛක වූ චොංග් ෆුංග්ගේ ‘ඩම්බ් ලක්’ නම් නවකතාව යි. අපට සිටින ප‍්‍රවීණ සන්නිවේදකයකු වන සමන් අතාවුදහෙට්ටිගේ ‘වසා වාසි’ කෘතිය එහි සිංහල වියමන යි. ප‍්‍රංශ යටත්විජිත සමය තුළ වියට්නාමයේ ඉහළ, මධ්‍යම හා පහළ පන්තිවල ජනයාගේ බොහෝ ගති සොබාවන් මෙන්ම, පන්ති විෂමතාවන් ද විදහා දැක්වෙන ‘ඩම්බ් ලක්‘ නවකතාව සිංහලයට නැගීමේ දී අපේ ප‍්‍රවීණ පරිවර්තකයා ලිඛිත භාෂාව වෙනුවට පරිහරණය කර තිබෙන්නේ කථන භාෂාව යි. එම සරල, සුගම බස්වහර නවකතාවේ අන්තර්ගතය ගෙනහැර පෑමට කෙතරම් උචිත වන්නේ ද යන්න අපහසුවකින් තොරව ‘වසා වාසි’ නවකතාව කියවා ගෙන යන අපට දැනෙන්නේ වරක් දෙවරක් නොවේ.

 ප‍්‍රවීණ සන්නිවේදකයෙකු ලෙස සමන් අතාවුදහෙට්ටි ලබා තිබෙන බුහුටි ලෙස වදන් හැසිරවීමේ පරිචය ‘ඩම්බ් ලක්‘ නවකතාව සිංහලයට නැගීමේ දී ඔහුට අතිශයින් මහෝපකාරී වී ඇති අයුරු ‘වසා වාසි’ නවකතාවේ වැකියක්-වැකියක් පසා අපට දක්නට ලැබේ.

 1936 දී ප‍්‍රථම වරට ප‍්‍රකාශයට පත් කරන ලද වූ චොංග් ෆුංග්ගේ ‘ඩම්බ් ලක්’ නවකතාව ප‍්‍රංශ යටත්විජිත සමයේ එම සමාජය පුරා පැතිර පැවති යුරෝපීයකරණය හා සමාජ ප‍්‍රතිසංස්කරණත්, තිහ දශකයේ වියට්නාම සමාජයේ සිදු වූ වෙනස්කම් පිළිබඳවත් ලියැවුණු උපහාසාත්මක නවකතාවකි. එදා පැවති බටහිර ගැති වියට්නාම් ප‍්‍රභූ පංතිය එසේ උපහාසයට ලක්කිරීම නිසාම, පාලකයන් විසින් තහනම් කරන ලද මෙම නවකතාව නිදහස ලබන්නේ ඉන් වසර පනහකට පසු එනම්, 1986 දී ය. එසේ වාරණයෙන් නිදහස් වූ ‘ඩම්බ් ලක්’ නවකතාවේ එක් පරිච්ෙඡ්දයක් එරට පාසල්වල උසස් පෙළ විෂය නිර්දේශය සඳහා ද මේ වනවිට ඇතුළත් කර තිබේ.

 නවකතාවේ කතා නායකයා වන රතු කෙස් සුඅන් ඉන්න හිටින්න තැනක් නොමැති රටකජු සහ පුවත්පත් විකිණීම වැනි සුළු

 රැුකියාවල නිරත අනාතයෙකි. නවකතාව ආරම්භ වන්නේ ඔහු ටෙනිස් ක‍්‍රීඩාංගනයක බෝල ඇහිඳින්නෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී ය. ඒ අතර ඔහු සමාජයේ ඉහළට යන්නට සිහින දකී. තමා සතු කුසලතා උපයෝගී කරගනිමින් ප‍්‍රඥාව හා බුද්ධිය වර්ධනය කරගන්නට සමත් වන ඔහු, තමා වෛද්‍ය ශිෂ්‍යයෙක් සහ ටෙනිස් මහාචාර්යවරයෙක් යැයි කියමින් සමාජයේ ඉහළ පාංතිකයන් රවටා ගනී. නවකතාව ඉදිරියට යත්ම, රතු කෙස් සුඅන් සමාජ ප‍්‍රතිසංස්කරණයේ පුරෝගාමියෙකු බවට ද පත්වෙයි. ඉක්මනින්ම සමාජයේ ඉහළ තලයට ගොඩවන ඔහු තමාගේ සම වයසේ මිතුරන් මෙන් ම, උසස් සමාජයේ ප‍්‍රභූන් ද අබිබවා යන්නට සමත් වෙයි.

 රතු කෙස් සුඅන් යනු මෙම නවකතාවේ සුවිශේෂී නමක් ඇති එක ම චරිතය නොවේ. වියට්නාමය යුරෝපීයකරණය සමඟ බද්ධවීම සහ සම්ප‍්‍රදාය හා ගතානුගතිකවාදය නොසලකා හැරීම යන කරුණු මෙම නවකතාවේ එන ‘සදාචාර මහතා‘, ‘මළා මහතා‘, ‘අංකාර ජ්‍යෙෂ්ඨ ලිපිකරුවා‘, ‘දොස්තර අග්න්‍යාශ‘, ‘දොස්තර ආමාශ‘ සහ ‘නියෝජ්‍ය රේගු නිලධාරී’ වැනි නවකතාවේ එන චරිතවලට යොදා ඇති නම්වලින් පවා පිළිබිඹු වේ. වියට්නාමය තුළ ධනවාදය වර්ධනය වීම කෙරෙහි ඔහු තුළ වූ අප‍්‍රසාදය පළ කිරීම සඳහා වූ චොංග් ෆුංග් මෙසේ මෙම චරිත භාවිත කළ බව බොහෝ විචාරකයන්ගේ අදහස යි. ‘වසා වාසි’ අප කියවා ඇති නවකතාවලට වඩා වෙනස් නවකතාවකි. නවකතාතරුවා සිය නවකතාව මගින් එදා පැවති සමාජය සමච්චලයට ලක්කරන අතර ම, එකී වකවානුවේ පැවති දේශපාලන හා සංස්කෘතික වාතාවරණය ද මුළුමනින් ම නවකතාවට උකහාගැනීමට කටයුතු කර තිබේ. වසර අසූපහකට පමණ පෙර ලියන ලද පොතක් කියවන විට ඊට අදාළ පසුබිමට අනුගතවීම සාමාන්‍යයෙන් එම ජන සංස්කෘතියට ආගන්තුක පාඨකයාට තරමක් දුෂ්කර කටයුත්තකි. සමන් අතාවුදහෙට්ටි නම් කෘතහස්ත පරිවර්තකයා සිය බස හැසිරවීමේ ප‍්‍රාගුණ්‍යය මනාව උපයෝගී කරගෙන එම දුෂ්කරතාවෙන් පාඨකයා මුදාගෙන ඇති අයුරු බෙහෙවින් චමත්කාරජනක ය.

 ‘වසා වාසි’ නවකතාවේ අන්තර්ගතය දසක අටක් පමණ ඈතට දිවයන්නක් වුව ද, එය අපේ අද්‍යතන සමාජයට බෙහෙවින් ගැළපෙන්නකි. සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන, කිසිදු සුදුසුකමක් නැති රතු කෙස් සුඅන් ලා වැන්නවුන් එහි එන චරිත සේ තවමත් අපට උදේ හවා මුණගැසෙති. බුදුදහම හැර අනෙක් සියලූ දේ ඉහළට ඔසොවා තබන්නට තරග වදින ‘දාරු මිණ ඩඟු ඩුඟු’ වේ අමිතාහ වැනි භික්ෂූන් වහන්සේ ද එ් අතර සිටිති. තම-තමන්ට සිදුවන වාසි-අවාසි අනුව, හිතූ-හිතූ හැටියට නීතිය නමන මින්තොආ සහ මින් ඩ වැනි පොලිස් නිලධාරීහු ද වර්තමානයේ නීතිය නමමින් සිටිති. කොරෝනා වසංගතයේ බලපෑම නොවන්නට දැනුදු අප පවත්වන්නේ නවකතාවේම සඳහන් ‘මිනියට පවා සතුටු සිනා මතුවන තරමේ’ උත්කර්ෂවත් මළ ගෙවල් ය. රෝග පීඩාදියට ගතයුතු බෙහෙත් වෙනුවට පාවිච්ච් කරන්නේ බියා දාගැබේ සිට ගෙන එන මඩ සහ මී හරක් ගොම මිශ‍්‍ර ශුද්ධ ජලය ය.

 වැන්දඹුවක වන නිරේනි මැතිනියගේ නොනිමි  ලිංගිකාශාවන් මෙන් ම, තුහින මෙනෙවියගේ පේ‍්‍රම චර්යාවන් ද නවකතාවට අපූරු මිහිරක් එක්කර තිබේ. පුද්ගලයන්ගේ මැදිවියේ දී ප‍්‍රබලත්වයට පත්වන ලිංගිකාශාවන් පිළිබඳ පොදු චිත‍්‍රයක් නවකතාවේ අවසන් බාගයේ දී චිත‍්‍රණය කරන්නට ද, ‘ඩම් ලක්’ කතුවරයා උත්සාහ දරා තිබේ. එසේ ම, එහි ඇති විද්‍යාත්මක බව පැහැදිලි කරන මුවාවෙන් දොස්තර ඍජු භාෂණ ඒ සම්බන්ධයෙන් සිදුකරන දේශනය තුළින් නිරේනි මැතිනියගේ පතිවෘතාව යළි සකස් කිරීමට උත්සාහ ගැනීම හරහා ද නවකතාකරුවා සමාජය වෙත එල්ල කර ඇත්තේ සියුම් උපහාසයකි.

 එහෙයින්, ඒ සියල්ල සම්බන්ධයෙන් සමාජය ඥානනය කිරීම උදෙසා සමන් අතාවුදහෙට්ටි නම් ප‍්‍රවීණ සන්නිවේදකයා වියට්නාම් ලේඛක වූ චොංග් ෆුංග්ගේ ‘ඩම්බ් ලක්‘ නවකතාව ‘වසා වාසි’ නමින් පරිවර්තනය කරන්නට තෝරාගැනීම බෙහෙවින් අගය කළ යුතු ය.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment