ශ්‍රම බලකාය නිර්මාණය කරන අධ්‍යාපනයක් රටට අවශ්‍යයි

119

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය සඳහා වූ පුරවැසි මුලපිරුමේ “පුරවැසි සරසවිය” නම් යූ ටියුබ් නාලිකාව ජනගත කිරීම පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා වූ මුලපිරුම මෙරට පවතින අධ්‍යාපන අර්බුදය තේරුම් ගෙන එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පිහිටුවා ගත් පුරවැසි සංවිධානයකි. මෙම යූටියුබ් නාලිකාව, පවතින අධ්‍යාපන ක්‍රමය සදාචාර සම්පන්න, ආචාරධාර්මික යහපත් පුරවැසියකු බිහි නොවන බැවින් මානව හිමිකම් සුරකින යහපත් පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ජනගත කිරීම සඳහා දරන උත්සාහයක් වශයෙන් පෙන්වා දිය හැකියි. එම පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හරිච්චන්ද්‍ර ගාම්භීර මහතා සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ පුරවැසි මුලපිරුම (Citizen intiative for transformation of education) කියන්නේ මොකක්ද?

වර්තමානයේ මේ රට පත්වී තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික අර්බුදයේ ස්වභාවය ගැන කියද්දී මට වැටහුණ දෙයක් තමයි මෙරට දේශපාලනඥයන් පමණක් නොව සෑම තරාතිරමක ම පුද්ගලයන්ගේ චර්යා එතරම් ශීලාචාර වගකිවයුතු දැක්මකින් යුක්ත නොවන බව. එම නිසා මේ ගැන දේශපාලනඥයන්ට පමණක් ම වරද පැටවිය නොහැකියි. සමස්ත සමාජය ද මේ සඳහා වගකිවයුතු වෙනවා. එසේ වීමෙන් අපිට මෙහි වරදකරුවන් සොයා ගැනීම ඉතාම පහසුයි. සමාජයේ අකටයුතු සිදුවීම වර්ධනය වී තිබෙනවා. ඊට සමාජයේ ඉහළ ශ්‍රේණිවල සිට පහළම ශ්‍රේණිය දක්වා විවිධ සමාජ තරාතිරම්වල අය වගකිව යුතුයි. මේ සමාජ අර්බුදයට අධ්‍යාපනයත් ප්‍රධාන හේතුවක් බව මූලිකව පිළිගැනෙනවා. කොහොමද මේක නිවැරදි කරන්නේ? ඒ ගැන හිතලා, අපි ගුරුවරුන්, සහෘදයින් සහ විද්වතුන්ගේ එකමුතුවකින් මේ ගැන සාකච්ඡා කළා. එහි දී අනාවරණය වූයේ අධ්‍යාපනය ද එයට හේතු වන බව. මොකද අධ්‍යාපනය සාර්ථක නමුත් සීලාචාර, සදාචාර සම්පන්න පුරවැසියෙක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයත් අධ්‍යාපනය බව ඒ සාකච්ඡාවේදී තහවුරු වුණා.

අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන ඔබේ අදහස?

මේක ඉතාම ගැටලු සහගත කාරණාවක්. නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ කාටද කියලා අපි දන්නවා. දැන් ප්‍රධාන විභාග තුනක් තියෙනවා. පහේ පන්තියේ දී ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග. මෙහිදී රටේ පවතින ටියුෂන් උපකාරක පන්ති දෙමාපියන්ට දරාගත නොහැකි අධික වියදම් සහගත දෙයක්. එයින් වියුක්ත වෙන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තවදුරටත් මෙය නිදහස් අධ්‍යාපනයක්ද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ කාලය ඇවිත්. නමුත් මේ පැතිරී ගිය උපකාරක පන්ති ප්‍රමාණය සහ දෙමාපියන් ඒවට වියදම් කරන මුදල් බර දැරීමට නොහැකි තරම්. වර්තමානයේ සාමාන්‍ය පවුලක පවා තමන්ගේ ආහාරවලට වඩා වැඩි වියදමක් උපකාරක පන්තිවලට යොදවනවා. දෙමාපියන්ගේ විශ්වාසයක් තියෙනවා එයින් මිදී කවදාවත් ඉදිරියට යෑමට නොහැකියි කියලා.

පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඔබ දකින ගැටලු මොනවා ද?

අධ්‍යාපනය සියලුදෙනාගේ අයිතියක් වුවත් අධ්‍යාපන ක්‍රමය මගින් එකම රටේ සංස්කෘතීන් දෙකක් නිර්මාණය කිරීමට හේතු වෙලා. පවතින රජය මගින් පවත්වාගෙන යන අධ්‍යාපනික ආයතන වන පාසල්, විශ්වවිද්‍යාල මෙන් ම පෞද්ගලික වශයෙන් පවත්වාගෙන යන පාසල්, විශ්වවිද්‍යාල මගින් ගොඩනඟන්නේ සමාජ, සංස්කෘතීන් දෙකකට අදාළ පුරවැසියන්. මේ අතුරින් පෞද්ගලිකව බිහිවන අධ්‍යාපන ආයතන මගින් ලබා දෙන ඉගැන්වීම් හා පුහුණු කිරීම්වල අධීක්‍ෂණය, ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතිනවා.

එමෙන් ම අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමත් ගැටලුවක්. මෙරට පාසල් අධ්‍යාපනය ලැබීමේ දී ග්‍රාමීය හා නාගරික වශයෙන් පාසල්වල බෙදීමක් තිබෙනවා. මෙය ද අධ්‍යාපනයේ පවතින එක්තරා ගැටලුවක්. සෑම පුද්ගලයකුම සමාජ තත්ත්වයෙන් සමාන නොවුණත් අධ්‍යාපනය සඳහා සමාන අයිතියක් සෑම පුරවැසියකුටම තිබිය යුතුය.

සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොතරම් යහපත් චේතනාවෙන් ඒවා ඉදිරිපත් කළත් ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රශ්න මතුවෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොවන්නේ කාගේ වරදින් ද යන්න නිශ්චිත පිළිතුරක් දීමට නොහැකියි. නමුත් අවසානයට මම දකින දෙයක් තමයි දිනෙන් දින අර යහපත් සදාචාර සම්පන්න, ආචාරධාර්මික පුරවැසියා නම් අපිට දකින්න නැහැ. කිහිපදෙනෙක් නම් අහුමුලුවල ඇති. නමුත් සමාජයේ ප්‍රධානම යමක් ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය තමා අක්‍රමිකතාව, දූෂණය, වංචාව. එය දේශපාලනඥයන්ගේ සහ සමාජ විවිධ තලවල ඉහළ මට්ටමකින් පවතිනවා. එහෙම වෙනවා නම් මේ අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? වෘත්තිකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් බිහි කරපු බව ඇත්ත. නමුත් මැද පන්තියේ ලිපිකරුවන් හැරුණු කොට මේ රටේ දස ලක්ෂ එකහමාරක් දෙකක් අතර ප්‍රමාණයක් ඉන්නවා ත්‍රීවිල් රියැදුරෝ. ඔවුන් මේ අධ්‍යාපනයෙන් ලැබූ ඵලය කුමක්ද? ඒ නිසා මේ අධ්‍යාපන අරමුණු ඉටුවෙලා නැද්ද කියන එක පිළිබඳ බරපතල කාරණාවක්. ඊළඟට අධ්‍යාපනයට වියදම් කිරීමේදී දෙමාපියන්, රජය වියදම් කරන ප්‍රමාණය අවමයක් වුවත් යම් ප්‍රතිශතයක් තියෙනවා. ඒ සියලුම දේවලින් අදාළ අධ්‍යාපන අරමුණු ඉටු වෙනවාද යන්න පැහැදිලි සැකයක් තියෙනවා. රාජ්‍ය මට්ටමෙන්, ඉහළ මට්ටමේ රැකියා මෙන් ම සාමාන්‍ය සමාජය ද තම ආදායමෙන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයට වියදම් කරනවා. නමුත් ඇසිය යුතු කරුණක් තමා මේ විශාල ආයෝජනයට සරිලන ප්‍රතිලාභ පුද්ගලයන් ලෙසත් සමාජයක් ලෙසත් අපි ලබා ගන්නවාද කියන කාරණාව.

මේ අධ්‍යාපන අර්බුදයට විසඳුම් ලෙස ඔබ දකින්නේ මොනවාද?

මෙහි දී අරමුණු තුනක් මූලික වෙනවා. මුලින් ම අධ්‍යාපනය පිළිබඳ දැනුම, මෙම ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කිරීම. දෙවනුව මෙය අර්බුදයක් කියමින් ඉන්නවාට වඩා සංක්ෂිප්තව ජනතාවගේ මේ පිළිබඳ දැනුම, අවබෝධය වැඩි කිරීම. ඊළඟට දේශපාලන අධිකාරිය මේ සම්බන්ධව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සොයා බැලීම මත මේ ක්‍රියාපටිපාටි සුවිශේෂී විය හැකියි. මේ අරමුණුවල ප්‍රතිඵලයක් ලෙස අපි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කළා. ඒ වගේ ම අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් තිබෙන සහ මෙයට යමක් එකතු කළ හැකි විද්වතුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම මේ වන විටත් අපි ඒ කටයුත්ත කරගෙන යනවා. මේ සම්බන්ධව ජනතාවගේ දැනුවත් භාවය උදෙසා ‘පුරවැසි සරසවිය’ නමින් යූ ටියුබ් චැනලයකුත් ආරම්භ කළා.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ පුරවැසි මුලපිරුම යන වැඩසටහනින් සදාචාර සම්පන්න පුරවැසියෙක් බිහි කරන්නේ කෙසේ ද?

සදාචාර සම්පන්න, ආචාරධාර්මික යහපත් පුරවැසියෙක් හදන්නේ කොහොමද කියන එක පිළිබඳ ව අපි අවුරුදු එකහමාරක් දෙකක් අතර කාලයක් සාකච්ඡා රාශියක් පැවැත්වූවා. ඒක තමයි මේ ආරම්භ කළ වැඩසටහනේ මූලික අරමුණ. නමුත් සදාචාර සම්පන්න වීම පමණක් ම වර්තමාන සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් නැහැ. පුද්ගල අභිවර්ධනය සහ සමාජ ප්‍රගමනය අත්‍යවශ්‍ය සාධකයි. නූතන වෙළඳපොළත් මෙහි දී මූලික වෙනවා. ඉතා පුළුල් වෙළඳපොළක් හා තත්කාලීන නූතන වෙළඳපොළට ගැලපෙන ආකාරයේ පුළුල් ශ්‍රම බලකායක් මෙහි දී අවශ්‍යයි. මේ නිසා අධ්‍යාපනයේ පැතිකඩ පුළුල් වී තිබෙනවා.

සදාචාර සම්පන්න, ආචාරධාර්මික යහපත් පුරවැසියන් හදන අතරතුර ම අපිට අවශ්‍යයි ඒ ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය අධ්‍යාපනය යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමේ කාරණය. අප රටේ අධ්‍යාපනයේ අර්බුද තිබෙන බව බොහෝ දෙනකු පිළිගන්නවා. ඒ වෙනුවෙන් විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් යම් යම් වකවානුවල කතා වෙලා තියෙනවා. දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අධ්‍යාපන ඇමැති I.M.R.E. ඊරියගොල්ල, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු සමයේ ප්‍රේමදාස උඩගම මහතා, ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සමයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ සංශෝධන වගේ අවස්ථාත් වර්තමාන ප්‍රතිසංස්කරණත් දැනටත් ක්‍රියාත්මක වෙනවා. මේ සෑම අවස්ථාවකදී ම අධ්‍යාපනය අර්බුදයට ලක්වුණා පමණයි. නමුත් මේ කිසි දේකින් අපේ අභිමතාර්ථ සඵල වී නැහැ. මා සිතන ආකාරයට මේ ගැන අපි හැමෝ ම වග කියන්න ඕනේ. ඉතින් අපිට පිළිගන්න බැහැ මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදදී මූලධර්ම සුරකින්නා වූ සදාචාර සම්පන්න, ආචාරධර්මීය යහපත් පුද්ගලයකු බිහි වෙනවා කියන එක ගැන. මේ ප්‍රයත්නය සදාචාර සම්පන්න, ආචාරධර්මීය, හෘදසාක්ෂියක් සහිත යහපත් පුද්ගලයකු රටට දායාද කිරීමටයි.

සටහන – ඉෂාරා විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment