හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන
අද ශ්‍රීලනිපයේ කිසියම් අර්බුදයක් පැවැතියද අදට වඩා පක්ෂය තුළ අර්බුදයක් ඇති වූයේ 1980දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළ අවස්ථාවේදී බවත්, මැතිනියගේ දුවලා, පුතාලා, බෑනලා වෙනත් පක්ෂ හදාගෙන අම්මා තනිකළ අවස්ථාවේ යැයිද බණ්ඩාරනායක මැතිනියගේ රූපය දෙස බලාගෙන වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වන්නට ඇතමුන්ට පුළුවන්ද කියා තම හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස තමන් ඉල්ලා සිටින බැව් හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (17දා) පැවැති උත්සවයකදී සඳහන් කළේය.
ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඊයේ (17දා) පැවැති සැමරුම් උළෙලේදී තවදුරටත් කරුණු දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පක්ෂයට සම්බන්ධ දවසේ සිට කිසිදු අවස්ථාවක සතයකවත් වංචාවක් සිදුනොකළ බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැනි ශ්‍රේෂ්ඨ මාතාවක් තනිකර දමන්න තරම් කිසිදු අවස්ථාවක තමන් කටයුතු නොකළ බැව්ද සඳහන් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා, ඇතැමුන් නොයෙක් තාන්න මාන්න ගැනීමට කටයුතු කළද හෘදය සාක්ෂියට එකඟව මෙවැනි ක්‍රියාකළ නොහැකි බැව්ද හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා කතා කරමින් – පිරිමින්ට ගත නොහැකි ඇතැම් තීන්දු බණ්ඩාරනායක මැතිනිය නිර්භීතව ගත් අතර, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක දෙපොළ ජනතාවගේ වාසනාවකට බිහිවූ ජනනායකයන් දෙපොළක් යැයිද සඳහන් කළේය. ශ්‍රීලනිප නායකත්වයක් තුළ රට මුදාගත්තා පමණක් නොව 1994න් පසුව ශ්‍රීලනිප නායකත්වය දැරූ කෙනෙකුට හැර ජනතා ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි වූ බැව්ද කුමන මතිමතාන්තර පක්ෂයේ නායකයන් අතර තිබුණද රටට ආදරය කරන ජනතාවගේ අපේක්ෂාව ශ්‍රීලනිප නායකත්වයක් තුළින් රට බේරාගනී කියාය.
වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එතුමිය පක්ෂය ඒකරාශී කරගෙන ඉදිරියට ගියේ තීක්ෂණව, බුද්ධිමත්ව තීන්දු තීරණ ගත් නිසයි. කිසිදු අවස්ථාවක තමන් පක්ෂයට දරදිය ඇද්ද ද බොරැල්ල අසුනේ සම්පූර්ණ සංවිධායක ධුරය තමන්ට ලබානොදුන් බවත්, රස්තියාදුකාරයන්ට ආසන සංවිධායක ධුර ලබා නොදුන් බවද ශ්‍රීලනිපයේ ප්‍රධාන හරය ප්රජාතන්ත්රවාදය බවද සඳහන් කළේය.
ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාද කතා කළේය.
මෙම අවස්ථාවට ශ්‍රීලනිප සාමාජික, සාමාජිකාවන්ද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන කණ්ඩායම හා නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහාය ලබාදෙන කණ්ඩායම්වල පිරිස්ද එක්වූ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මෙයට සහභාගි නොවූවාය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ, ඡායාරූප – තුෂාර අතපත්තු