ශ්‍රි ලංකාවේ කුඩාම ගම්මානය වල්පොලමුල්ල

590

ශ්‍රී ලංකාවේ ගිනිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. එමෙන්ම දුම්බර කඳුකරය අප රටේ ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ කලාපයකි. නිරන්තරව ඝන මීදුමෙන් වැසී ඇති නිසා දුම්බර යන නාමය මේ කඳු පංතියට පටබැඳී ඇත. නීල හරිත රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව එකිනෙකට යාව පැතිර පවත්නා මේ කඳුපංති ශිඛර කීපයකින්ම සමන්විත වේ. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, කළුපහන, දුම්බානගල, ලකේගල, තෙලබුගල හා වමාරපුගල ඒ අතරින් සුපතලය. හෙක්ටයාර 21000 ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින මෙම දුම්බර කඳුවැටිය ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 0.32% ක් ව්‍යාප්තව පවති. තවද දුම්බර කඳුකරය ශ්‍රී ලංකාවේ සෙසු කඳුකර ප්‍රදේශවලින් වෙන්ව හුදෙකලාව පවතින භූමි ප්‍රදේශයකි. මේ හේතුවෙන් එහි ආවේනිකතාවය අති මහත්ය.

මාතලේ සිට රත්තොට පල්ලේගම මාර්ගය දුම්බර කඳුවළල්ලේ උතුරු සීමාව හරහා වැටී ඇත. මාතලේ සිට පැමිණෙන විට පළමුව රත්තොට නගරය හමුවන අතර ඉන්පසුව තාර යෙදූ පැරණි මාර්ගය තේ වතු පසුකරමින් ඉහළට ඇදී යයි. රත්තොට ප්‍රදේශය සාමාන්‍ය කඳුකර වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරන අතර රිවස්ටන් ප්‍රදේශය අවට නිතර මීදුමෙන් වැසුණු කඳුකර වනාන්තර ලක්ෂණ පෙන්නුම් කෙරේ. සංඛ්‍යා ලේඛනවලට අනුව නකල්ස් භූමිය තුළ ගම්මාන 86 ක් පමණ පිහිටා ඇත. ඒ අතර ප්‍රසිද්ධ ගම්මානයන් ලෙස මීමුරේ, රණමුරේ, ගලමුදුන, දෙහිගොල්ල, කයිකාවල, ඉමාඩුව හා රඹුක්ඔළුව වැනි ගම්මාන සඳහන් කළ හැකිය.සංචාරකයන් මෙම ප්‍රදේශවල සුන්දරත්වය විඳගත්ත ද, හුඟ දෙනෙකුට මඟ හැරෙන ප්‍රදේශයක් ද මෙහි පිහිටා ඇත. එය ලංකාවේ කුඩාම ගම්මානයයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම කුඩාම ගම්මානය බවට ඇතැම් මූලාශ්‍රවල මේ පිළිබඳව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුවේ ඉහළින්ම ඇති ගම්මානය පිහිටා ඇත්තේ මෙහිය.

ශ්‍රි ලංකාවේ කුඩාම ගම්මානය වල්පොලමුල්ල

එම ගමෙහි නම වල්පොලමුල්ල ය. දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුළ මෙම ගම්මානය පිහිටා ඇත. මාතලේ සිට රත්තොට පාරේ පැමිණ රිවස්ටන් හා පිටවලපතන පසුකර ඉලුක්කුඹුර පාරේ ගමන් කරන විට මේ කුඩා සුන්දර ගම්මානයට පිවිසෙන ඇටන්වල ගම්මානය හමු වේ. ඇටන්වල ගම්මානය පසුකරමින් වනය ඔස්සේ දිවෙන අඩිපාර දිගේ කිලෝමීටර් 4 ක් පමණ කඳු තරණය කිරීමෙන් වල්පොලමුල්ල නම් සොඳුරු පාරම්පරික ගම්පියසට ළඟා විය හැකිය. කෙසේ වුවද ගම්මානය යන මාර්ගය තරමක් දුෂ්කර වන අතර කිසිදු ප්‍රවාහන පහසුකමක් ද නොමැත. එය වන මැද කඳු අතර පිහිටි සානුවක නිර්මාණය වූ ගම්මානයකි. එහි සිට දිස්වන මනරම්ව ඇදහැලෙන දියඇලිත්, කඳු වළල්ලත් එහි ස්වභාව සෞන්දර්ය මනාව පිළිබිඹු කරනු ඇත. ගම්මානයට පිවිසීමට පෙර හමුවන්නේ, වල්පොලමුල්ල වැව ය. වැවක් යනුවෙන් සඳහන් කළද මේ වන විට මෙහි ජලය නොමැත. මෙය පතනක් ලෙස දැකගත හැකිය.

ප්‍රවාහන පහසුකම්වල දුෂ්කරතාව සහ වන අලි, වන සතුන්ගෙන් සිදුවන කරදර හිරිහැර වගේම ජල ප්‍රශ්නය යන ගැටලු හේතුවෙන් මෙහි ජීවත් වූ සීමිත පවුල් ගණන මෙම ගම්මානය අතහැර ගොස් ඇත. කෙසේ වුවද වර්තමානයේ මෙම ගම්මානය මිනිස් වාසයකින් තොර වුවද, අතීතයේ මෙම ගම්මානයේ නිවාස තිබී ඇති අතර වර්තමානයේ එහි එක් නිවසකට සීමා වී එහි නටබුන් දැක ගත හැකිය. ගමේ පුරන් වූ කුඹුරු යායක් තිබෙන අතර හේන් වගාව මෙන්ම කිතුල් මැදීමත් අතීතයේ මෙහි සිදුවී ඇත. තවද තවත් නටබුන් මෙම ගම පුරා දැනට ශේෂව පවති. නමුත් අද ගම පාලුවට ගොස් ඇති අතර ගම්වැසියන් ගම අතහැර වෙනත් ගම්මාන කරා ගොස් ඇත. එයට ප්‍රධානතම හේතුව වන අලි කරදරය බව පැවසේ. පසුකාලීනව පානීය ජල ගැටලුවත් හේතු වී ඇත. කෙසේ වුවද මිනිසුන් වාසය කරන කාලයේ මෙම ගම්මානය බත බුලතින් සරුසාර ගමක් ලෙසින් පැවතුණු බව ප්‍රදේශය අවට වැඩිහිටියන් පවසයි. අතීතයේ අස්වැද්දු ගොයම අදවන විට නිහඬය. පුරන් කුඹුරු යාය නිමවන ඉසව්වේ හෙළ පිහිටියේ නකල්ස් රක්ෂිතයේ සුන්දරතම දර්ශන පථය සමඟිනි. අතීතයේ වල්පොලමුල්ලේ විසූවන් දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වුවද දුෂ්කරතාවය උත්සන්න වනවිට, වල් අලි ප්‍රහාර සිදුවන විට තවදුරටත් එහි විසීමට ඔවුනට නොහැකි වූවා විය හැකිය. ඉපැරණි මූලාශ්‍රවල මෙම ගම්මානය පිළිබඳව සඳහන් වන අතර ඒ අනුව, කෝනාර මුදියන්සේට අයත් නින්දගමක් වන වන මෙය 1871 දී 75 ක් වූ ගම් වැසියන් ගණන 1881 දී 35 ක් දක්වා අඩු වී ඇත. 1891 වන විට 23 ක් වී ඇත. ඔවුන් ගොවි කුලයට අයත් ඉතාමත් දිළිඳු පුද්ගලයන් වන බව සඳහන් වේ.

රත්කින්ද, ඇටන්වල, පිටවල, බටලන්දවල, රඹුක්ඔළුව, සුදුගලමුල හා අමුනේහේන වැනි ගම්මාන අතර පිහිටි වල්පොලමුල්ල ග්‍රාමය අවට ශාක විවිධත්වය අතින්ද අති මනරම්ය.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment