ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගත නොකළොත් සේවකයන් 6000 කගේ රැකියා අනතුරේ

116

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රීලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත නොකළහොත් එහි සේවකයන් 6000කගේ රැකියා දැඩි අවදානමකට ලක්වන බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව ‘ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනිණි.

විවාදය ආරම්භ කරමින්, ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා (ශ්‍රී.පො.පෙ.) :

මෙහි ඉතිරිය රනිල් අතින් ලියා ලබා දේවි.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

කෝප් කමිටුව නිර්දේශ කළ භාණ්ඩාගාර ලේකම්ගේ නියෝජිතයා සක්‍රිය අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කරගන්න. ඒ අනුව අධ්‍යක්‍ෂ මණ්ඩලය 9 දෙනකු බවට පත්කරන්න අවශ්‍යයි. මින් ඉදිරියට එය ක්‍රියාත්මකයි.

ජාතික වගකීම හා ගුණාත්මකතාවය ආරක්‍ෂා කරගෙන තරගකාරීව ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් බවට පත්කිරීමට අපි හැමෝම සාමූහිකව ක්‍රියාකරනවා.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු හදලා කුමන පවුලටද ආහාර සහනාධාර අවශ්‍ය කියලා තෝරාගෙන සුදුසුකම් ලබන අයට සහන ලබාදීමට ක්‍රියාකළ යුතුයි. අපට ඒ සඳහා ආධාර ලැබී තිබෙනවා. ඒවා නිසි ලෙස යොදවාගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ)

රූපවාහිනිය පාඩු ලබන්න එක හේතුවක් ලොතරැයි දිනුම් ඇදීම ඉවත්කිරීම. ආදායමක් ඇතිදේ නැතිකරලා.

සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් මර්දනය රටේ ක්‍රියාත්මකයි. ඒවා අද ජාත්‍යන්තරයෙත් චෝදනාවට ලක්වෙලා. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීම ගැන පරීක්‍ෂණවල කිසිම ප්‍රගතියක් තවම නැහැ. ඇයි මෙහෙම වුණේ.

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කළ යුතු වුවත් ඊට මුවාවී කේටරින් ආයතනය ලාභ ලබද්දී පුද්ගලික අංශයට දෙන්න යනවා.

අද දරුවන්ට නිසි පෝෂණයක් නැහැ. මන්දපෝෂණයට දරුවන් ගොදුරු වෙනවා. හම්බන්තොට අද මන්දපෝෂණය වැඩිවෙලා. රාජපක්‍ෂලාගේ බල ප්‍රදේශය. සිදුවූ දෙයක් නෑ. හොරකම දූෂණය නවත්වන්න අද ආණ්ඩුව කතා කරනවා. 1994 සිටම රට පාලනය කළේ ඔවුන්. මේ විනාශයට වගකියන්න ඕනෑ ඒ පිරිසමයි.

ජනමාධ්‍ය, ප්‍රවාහන ඇමැති බන්ධුල ගුණවර්ධන

අපි හැමදාම රජයේ ආදායමට වඩා වියදම් කළා. ණය වාරික පොලී ගෙවන්න බැරිවනවිට හැමදාම ගැටලු මතු වෙනවා. යහපාලන ආණ්ඩුව තමයි වැඩිපුරම ස්වෛරී බැඳුම්කර ගත්තේ. 2029 දී කල් පිරෙන්නේ. කවුරු මොනවා කිව්වත් මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. ජපානය දියුණුවීමට හොඳ ආදර්ශයක් ගත හැකි රටක්. රට අපි සියලු දෙනා එක්වී දියණු කරගත යුතුයි. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ණය ගෙවීම ගැන පියවර ගත යුතුයි.

ආයතනවල වැටුප් ගෙවන්න තරම් ආදායමක් නැහැ. දුම්රියත් එහෙමයි. දුම්රිය ගාස්තු වැඩිකළෙත් ඒකයි. මසකට මිලියන 600ක් වූ ආදායම දැන් මිලියන 1300ක් පමණ වෙලා තියෙනවා. එය ඉන්ධන වියදම්වත් පියවා ගන්න මදි.

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සේවකයන් බඳවා ගැනීම ගැන පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයයි. සේවකයන් බඳවා ගැනීමක් වුණේ නෑ. කෑම බීම සකස් කිරීම, අරක්කැමි ආදි රැකියා තිබෙනවා. මම කිව්වා තරුණයන් 50ක් පුහුණු කරන්න කියලා. අන්තර්ජාතික මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න කේටරින් සමාගම කැමැතිවුණා. අපි බඳවා ගැනීමක් කරන්නේ නැහැ.

ශ්‍රී ලංකන් සමාගම සතුවයි කේටරිං සමාගම තියෙන්නේ. මෙය ලාභ ලැබුවත් ශ්‍රී ලංකන් පාඩුව ඩොලර් බිලියන 1.2යි. රාජ්‍ය බැංකුවලට තෙල් සංස්ථාවට ණය තියෙනවා. හැම වසරකම ගුවන් සමාගම පවත්වාගෙන යාමට මුදල් දෙනවා. තවත් ඉදිරියේදී පාඩු වේවි.

ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් සේවය පාඩු ලැබූ විට පුද්ගලික අංශයට දුන්නා. ලොව රටවල් මෙවැනි තීරණ ගෙන තියෙනවා.

සේවකයන් 6000ක් ඉන්නවා. අපට එකම ගුවන් යානයක්වත් අයිති නෑ. 23ට ලීසිං ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 80ක් ගෙවිය යුතුයි. කුලියට ටැක්සි දුවනවා වගේ කරන්නේ. ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත නොකළොත් සේවකයන් 6000කගේ රැකියා අනතුරේ. ගුවන්යානා පිටරටවල බැස්සීමට අවසර දී තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඇති අයිතියක් ලෙසයි. ඒ නිසා කොටස් සියයට 49ක් විකුණන්නේ. පරිපාලනය භාරදිය යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවක අයිතිය සුරක්‍ෂිත කිරීමයි අපේ පරමාර්ථය.

කවුරුත් තත්ත්වය තේරුම් ගන්න. බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්න එපා.

පලාලි ගුවන්තොටුපළට විශාල මුදලක් වැයකළා. ගුවන් සේවයේ කටයුතුවලට යාපනයේ අය බඳවා ගත්තා. මෙතෙක් කවුරුත් පොරොන්දු වූ පරිදි ගුවන්යානා ගොඩ බැස්සුවෙ නෑ. අපි පසුබිම හදලා තියෙන්නේ. පුළුවන්නම් එක ගුවන්යානයක් ඉන්දියාවෙන් ගෙන්වලා පෙන්වන්න. දෙමළ සන්ධානය චෝදනා විතරක් කරන්නට එපා. මත්තල ගුවන්තොටුපළ දියුණු කිරීමට ආයෝජකයෙක් එනවා නම් අපි ඊට අවස්ථාව දෙන්න සූදානම්.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)-

මිනිස්සුන්ට බරක් පටවා තියෙන විට විශාල කැබිනට් මණ්ඩලයක් ද රාජ්‍ය අමැතිවරු පත් කළා.

1978 දී ශාන් වික්‍රමසිංහ මහතා අයි.ටී.එන්. එක ඇති කළා. එය පවරා ගත්තා. ජාතික රූපවාහිනිය ජපන් රජය රටට ලබා දුන්නේ. ජාතික රූපවාහිනියට අදට දශක 4ක්. රූපවාහිනි සංස්ථා පනත අදට කොතරම් ගැළපෙනවාද කියා ප්‍රශ්නයක්. යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති ලෙස මම සුදුසු නීති හදන්න කටයුතු කළත් එහි අධ්‍යයනයක් කරන්න බැරිවුණා. යළිත් එහි කටයුතු ආරම්භ කළා. එය සිදුවිය යුත්තක්. ආණ්ඩු මාරු වන විට ප්‍රතිපත්ති මාරුවීම රටට ප්‍රශ්නයක් වුණත් ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ එය සිදුවී නෑ.

ශ්‍රී ලංකා ටෙලිවිෂන් කර්මාන්තය ඩිජිටල් කිරීම කඩිනම් නොකළත් යම් කර්මාන්ත කඩා වැටීම තව වසර තුන හතරකින් සිදුවීම නවත්වන්න බැරිවේවි. කලාපයේ රටවල් අපට වඩා බොහෝ ඉදිරියෙන්. අපේ තාක්‍ෂණයත් ඉදිරියට නොගියොත් අමතර කොටසක් සොයා ගන්න බැරිවේවි.

රාජ්‍ය ඇමැති කනක හේරත්

ගුවන් සේවාව දැඩි ලෙස පාඩු ලබද්දී ඉන්ධන මිල වැඩිවීමත් ඊට තවත් බලපෑම් එල්ල කර තිබෙනවා. අභ්‍යන්තර ගුවන් සේවා සම්පූර්ණයෙන්ම නැවතිලා. කටුනායක ගුවන්තොටුපළේ දෙවන අදියර ඉදිකිරීමත් නතර වෙලා. එයත් දැඩි පාඩුවක්. ජපානය ඉදිකිරීම් කළේ. ලබන සතියේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව නැවත එම වැඩසටහන් ආරම්භ වේවි.

ගුවන් සමාගම් ලාභ ලබන ආයතන 12ක් විකුණනවා කියලා තියෙනවා. එය වැරදි තීරණයක්. ගුවන් යානා 24යි තියෙන්නේ. ලබන වසරේදී බදු ගත්ත 7ක් ගෙන යනවා. ඊටපසු තවත් කිහිපයක් බදු කාලය අවසන් වී යළි ගෙන යනවා. එය දැඩිව ගුවන් සේවාවට බලපානවා. ඩොලරයේ අගය ඉහළ යෑම නිසා නඩත්තුවට යන වියදමත් ඉතා වැඩියි. කඩිනමින් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න (ශ්‍රීලපොපෙ)-

ඇමැතිවරයාම කියන විට පාඩු ලබනවා කියලා එයම ඇති ආයතනය විනාශ වෙන්න. එය දියුණු කරන්න සැලසුම් තිබිය යුතුයි. එහෙම එකක් මේ ඇමැතිවරුන්ගේ පේන්නෙ නැහැ. මිනිස්සුන්ගේ ඡන්දයෙන් ඇමැතිවරු පත්වන්නේ. ඔවුන් තමයි රැකියා දෙන්නේ. එහෙමත් එකක් ලෝකයේ නැහැ.

රැකියා ලබාගත හැකි ලෙස අපේ පරපුරක් බිහි කිරීමයි කළ යුත්තේ. පෞද්ගලික නාලිකා ලාභ ලබන්නත්, රජයේ නාලිකා පාඩු ලබන්නත් හේතු තියෙනවා. බන්දුල ඇමැති නිෂ්පාදනය කළ චිත්‍රපටය රුසියාවේදී සම්මාන ලැබුවා. කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල රැගෙන යන්න බැරිවුණා. හොඳම නළුවාගේ සම්මානය ගත්තේ බන්දුල ගුණවර්ධන. ඇමැතිට ටිකට් එකක් අරන් යන්න පුළුවන්. නළුවන් දෙදෙනා ලංකාවේ. අවසානයේ සම්මානය ගත්ත ඇමැතිව පිළිගත්තේ හොඳම නළුවන් දෙදෙනාව. ඔවුන්ට තවම සම්මානය ලබාදී නෑ.

සිනමා කර්මාන්තයට සිදුවූ කිසිම දෙයක් නැහැ. ඒ ගැන සොයා බලන්න විශේෂ කාරක සභාවක් පත්කරන්න.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)-

ගාලුමුවදොර තරුණයන් 225ම එපා කිව්වා. මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ඇති ප්‍රධානම ස්ථානය පාර්ලිමේන්තුවයි. අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නය කතා කර විසඳුම් තීරණය කරන්න.

මන්ත්‍රීවරුන්ගේ ගෞරවය නැතිවුණේ දේශපාලනය ඉලක්ක කරගත් වැඩ නිසයි. ඒ නිසා ජනතාව පිනවීමෙන් එහාට ගිය වැඩ කොටසක් සිදු කිරීමට මන්ත්‍රීවරයාට ඉඩ අවශ්‍යයි. පාර්ලිමේන්තු විවාද මඩ

ගැසීමට ලඝු වෙනවා. කොතැන හෝ වැරැද්දක් තියෙනවා. වහාම ඒ වැරැද්ද නිවැරදි කළ යුතුයි.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්-

මේ රට තුළ නරක පූර්වාදර්ශ දෙන ක්‍රමවේද යළි සිදුනොවනු ඇතැයි සිතනවා. දැන් මැතිවරණයකට යන්න සුදුසු වාතාවරණයක් නැහැ. ජාත්‍යන්තර උවමනා ඉටුවුණු කාලයක් මේක. ජනතාවගේ මානසික මට්ටම කුමන තත්ත්වයක තිබෙනවාද කියා ප්‍රශ්නයක්. ඒ නිසා සුදුසු කාලය එළැඹීමෙන් පසු මැතිවරණ පැවැත්විය හැකියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)-

පාර්ලිමේන්තුවෙන් රටට යමක් වෙනවාට වඩා රට කඩා වැටීමට පාර්ලිමේන්තුව හේතුවුණා යැයි සිතනවා.

ජාතික කවුන්සිලයට මන්ත්‍රීවරුන් පත්වුණාම පක්‍ෂ නායකයාගේ උවමනාවන් අනුවයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ජනතාව අතරින් පිරිසකට එහි ඉඩ අවශ්‍යයි. නැත්නම් දේශපාලන නාඩගමක් වේවි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රට කඩා වැටීමට දායක වුණ ආයතනයක්. රටට අයහපතක්ම සිදුවුණේ. කෝටි පන්දාස් ගණන්වලින් පාඩු සිදුවුණා. ගුවන්යානයක වැසිකිළියක් සවි කරන්න බිලියන ගණන් වෙන් කළා. අපි ඒවා අහෝසි කළා. ගුවන් බස් ගන්න පගා ගැහුවා. ඒවා දේශපාලනඥයන්ගේ ගිණුම්වලට ගියා.

රටේ බඩු මිල ඉහළයි. ඉටිපන්දමේ සිට හැම දෙයක්ම කිහිප ගුණයකින් මිල වැඩියි. එළවළු මිල ඉහළයි. පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩුවෙලා. කාර් එකක ටයර් එකක් දාගන්න මාස 4ක් විතර ඉන්න ඕන.

අයිඑම්එෆ් කිය කියා ඉඳලා වැඩක් නැහැ. ජනතාවට කන්න බොන්න විදියක් නැහැ. බිම් මට්ටමෙන් ගිහින් ප්‍රශ්න බැලුවේ නැත්නම් ජනතාව කැරලි ගසාවී. පාර්ලිමේන්තුව උත්තරීතර වුණාට වැඩක් නැහැ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩා වැටිලා. කුලී වැඩ නැවතිලා, කුඩා ව්‍යාපාර, සංචාරක ක්‍ෂේත්‍රය ඇතුළු හැම අංශයක්ම කඩා වැටිලා. දැක්ම නැති රටක් ආගාදයට වැටිලා. අරගලයට ඉදිරියට එන්න ඕනැ. දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරා ගත යුතුයි. අරගලය තියෙන විට කුඩා වාහනවලින් ගියා.

තවම හොර ජාවාරම් නැවතිලා නෑ. හැම තැනකම හොරකම. වැඳලා කියන්නම් දැන්වත් හොරකම නවත්වන්න. අරගලයට ජයවේවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා (සජබ)-

පාර්ලිමේන්තුවේ කාරක සභාවල සභාපති ධුර විපක්‍ෂයට දෙන්න කියලා කිව්වත් තවම නැහැ. අපේ දායකත්වය රටට ලබාගත යුතුනම් මෙම සභාපති ධුර විපක්‍ෂයට ලබාදෙන්න. ආංශික අධීක්‍ෂණ සභා 2015 දී ක්‍රියාත්මක වුණා. 2019 දී යළි අහෝසි කළා. නැවත මේ සභා ස්ථාපිත කළ යුතුයි. ආණ්ඩු පක්‍ෂයේ එකඟතාවක් නැති වුණේ ජනාධිපති නිසා. යළිත් පිහිටුවන්න එකඟවෙලා. අමාත්‍යාංශවල වංචා දූෂණ සොයා බැලීමක් නෑ. ආයතනවල වංචා දූෂණ කරපු අයට කිසිම දඬුවමක් නෑ. කාරක සභා ඇතිවුවහොත් විපක්‍ෂයට ඒ ගැන සොයන්නට පුළුවන්.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර (සජබ)-

කාරක සභාවල ප්‍රධාන පුටු විපක්‍ෂයට දෙනවා කිව්වත් තවම නැහැ. ජනතාව ප්‍රතික්‍ෂේප කළ ආණ්ඩුවේ අයටම දෙනවානම් වැඩක් නැහැ. සද්භාවයෙන් වැඩකරනවානම් විපක්‍ෂයට දෙන්න භය ඇයි. තවම හොරකමට වැඩ කරන්නේ. ඒකයි දෙන්නේ නැත්තේ.

මැතිවරණයකට යන්න භය තියෙන්නේ. මැතිවරණය කල් දාන්නයි විවිධ උප්පරවැට්ටි කරන්නේ.

පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් (ශ්‍රීලපොපෙ)-

කෝප් හා කෝපා කමිටු දෙකම විරුද්ධ පක්‍ෂයට දෙන්න කියලා කොහෙවත් සඳහනක් නැහැ. එය නීත්‍යනුකූලව සිදුකරන බව අපි කිව්වත් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් විපක්‍ෂයේ අය කිව්වා අපි විපක්‍ෂයට තනතුරු දෙනවා කියලා. සම්පූර්ණ අසත්‍යයි. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ වැඩපිළවෙළකට විපක්‍ෂයේ අය හිතා මතා වැඩකටයුතු කරනවා කියා අපි සැක කරනවා. පනත් සංශෝධන සහ නියෝග සම්මත විය.

පාර්ලිමේන්තුව අද (23 දා) පෙ.ව. 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment