ශ්‍රීලනිපය තනිවද සන්ධානයකින්ද තීරණය ඉදිරි දිනවල

59

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරනවාද සන්ධනාගතව තරග කරනවාද යන්න ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ඊයේ (03දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු ඇමැතිවරයෙක් ‘දිවයින’ට පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික්ක හා ආසනවලට ලැබුණු ඡන්ද පිළිබඳව සලකා බැලීමේදී මහ මැතිවරණයට තනිව තරග කරනවාද නැතහොත් සන්ධානගතව තරග කරනවද යන්න පිළිබඳව අද (04දා) පැවැත්වෙන සාකච්ඡාවකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් තීරණයට එළැඹෙන බවද හිටපු ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගි වී සිටි බවත් ඔවුන්ගේ පෞද්ගලික මත මෙන්ම ඕනෑම අයකු සමග සන්ධානගතව මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ප්‍රකාශ කළ බවත් හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment