ශ්‍රී ලංකාවට යෝග්‍ය  ජනාධිපති ධුරයේ හැඩය කෙසේ විය යුතුද?

70

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම රටෙහි මූලික නීතිය වන අතර එමඟින් ආණ්ඩුකරණයට අදාළ බලතල සහ සීමාවන් පෙන්නුම් කෙරේ. සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලන කටයුතු මෙහෙයවනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ “1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි”. මෙම ව්‍යවස්ථාව යටතේ දේශපාලන විධායකය (Political Executive) කොටස් දෙකකින් සමන්විත වේ. එනම්, ජනාධිපති ක්‍රමය තුළ  “ජනාධිපතිවරයාත්” පාර්ලිමේන්තු ක්‍රමයේ “අගමැති ප්‍රමුඛ ආමාත්‍ය මණ්ඩලය” වශයෙනි. දශක හතරකට අධික ඉතිහාසයක් පසු කරන ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපී පෙනෙන දේශපාලන ආයතනය වන්නේ ජනාධිපතිධුරය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වන වගන්තියට අනුව “ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකවරයා ද වන්නේය.” මේ අනුව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුකරණයට අදාළව විශාල බලතල ප්‍රමාණයක් සංකේද්‍රණය වී ඇති බව හඳුනාගත හැකිය.

 ජනාධිපතිවරයා මහජනතාවගේ ඡන්ද බලයෙන් සෘජුවම තෝරා පත්කර ගනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවම තනි ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා ජනාධිපතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වෙනමම මැතිවරණයක් පැවැත්වීම එක් අතකින් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වන ක්‍රියාවලියකි. අනෙක් අතට ඔහු බලයෙන් ඉවත් කිරීම සඳහා වන දෝෂාභියෝග ක්‍රියාවලියද අතිශය දුෂ්කර, සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. උදාහරණයක් ලෙස ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගෙන එන ලද දෝෂාභියෝග ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට නොහැකි වීම සඳහන් කළ හැකිය. එසේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ජනාධිපතිධුරයක් හඳුන්වා දුන් අවස්ථාවේ සිට එම ධුරයට අදාළව පවතින අධික බලතල හේතු කොටගෙන එල්ල වූ විවේචනයන්හි අඩුවක් නොවීය. එබැවින් මෙම ධුරය අහෝසි කිරීම හෝ එම බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කතිකාවන් සමාජය තුළ පැවැතුණි. වර්තමානය වන විටද එම විවේචනවල අඩුවක් නොමැත. මේ හේතු කොටගෙන ජනාධිපතිවරයා සතු අධික බලතල පාර්ලිමේන්තුවට ලබා දී ඔහු නාමික විධායකයකු බවට පත් කිරීම යෝග්‍ය වේ.

 මේ සඳහා ආදර්ශයට ගත හැකි වඩාත් කැපී පෙනෙන උදාහරණයක් වන්නේ ඉන්දියාවේ නාමික විධායකය වන ජනාධිපතිධුරයයි. වර්ෂ 1947 දී නිදහස ලබා ගැනීමෙන් පසු ඉන්දියාව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ආකෘතියක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීය. ඉන්දියාව යනු බහුවිධ සංස්කෘතික ලක්ෂණවලින් සමන්විත සමාජයක් වන අතර, එයට සමගාමීව දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක්ද ක්‍රියාත්මක වන බව පෙනේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමු කිරීමේදී අගමැති ඇතුළු ආමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුකරණයට අදාළ බලතල හිමිවී ඇත. නමුත් ආණ්ඩුකරණයේ යම් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වූ අවස්ථාවක හෝ නැත්නම් එවැනි අත්‍යාසන්න තත්ත්වයක් ඇති වූ විටෙක නාමික විධායකය වන ජනාධිපතිවරයාගේ බලය කැපී පෙනේ. එය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන හදිසි අවස්ථාවක භාවිත කිරීමට ජනාධිපතිවරයාට ඇති වැදගත් බලයකි. එහිදී ව්‍යවස්ථාවේ 123 වන වගන්තියට අනුව පාර්ලිමේන්තු සැසිවාරයන් නොපැවැත්වෙන විටදී යම් හදිසි කාර්යන් පිළිබඳ ජනාධිපති ආඥා මාර්ගයෙන් නීති සම්පාදනය කිරීමේ බලය වැදගත් කාර්යකි. යුද්ධ, අභ්‍යන්තර අවුල්කාරී තත්ත්වයක් හෝ හදිසි මූල්‍යමය අවශ්‍යතා මෙන්ම රාජ්‍යයේ ව්‍යවස්ථා අර්බුදකාරීත්වය වැනි හදිසි අවස්ථාවල මෙම බලතල කැපී පෙනේ. එබැවින් එවැනි හදිසි අවස්ථාවකදී නාමික විධායකයක් වූ ජනාධිපතිවරයාට බලගතු විධායකයෙක් ලෙස එම කාල පරිච්ඡේදයේ ක්‍රියා කිරීමට, හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය හිමි වී ඇත. එම විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 352 වන වගන්තියේ අන්තර්ගතව ඇත.

 ඉන්දියාවේ මෙම ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් මඟිනි. එම ඡන්ද විද්‍යාලය සමන්විත වන්නේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකේ ජනතා ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සහ ප්‍රාන්ත රාජ්‍යවල ව්‍යවස්ථාදායකයන්හි ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන්ය. මේ අනුව ඉන්දියානු නාමික විධායකය වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ වක්‍ර ජනතා ඡන්දයකින් බව පැහැදිලිය. එබැවින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවතින ජනාධිපතිධුරය අහෝසි කොට ඒ වෙනුවට ඉන්දියාවේ මෙන් නාමික ජනාධිපති ධුරයක් හඳුන්වා දීම සලකා බැලිය හැකි වැදගත් විසඳුමක් ලෙස පෙන්වා දිය හැකිය. එබැවින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, හදිසි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීම සඳහාත් ඉහත සඳහන් කළ පරිදි ඉන්දියානු පන්නයේ ජනාධිපති ධුරයක් අනාගත ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන අවස්ථාවේදී හඳුන්වා දිය හැකිය.

 එපමණක් නොව, ලොව පුරා කාගේත් අවධානය යොමු ප්‍රවෘත්තියක් වූ දෞපදි මුර්මු (Droupadi Murmu) පිළිබඳව ඳ සඳහන් කළ යුතුය. 2022 ජූලි 25 දින ඇය ඉන්දියානු ජනරජයේ 15 වන ජනාධිපති ධුරයට පත් කර ගනු ලැබීය. මෙහි විශේෂත්වය වන්නේ ගෝත්‍රික කණ්ඩායමක, ගෝත්‍රික ජනවර්ගයකට අයත් කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් කර ගැනීමයි. විශේෂයෙන් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තියට අදාළව ජනතාවට සිය රැකියා අවස්ථාවලදී සමාන අවස්ථාවක් හිමිවීමත්, 17 වන වගන්තියට අනුව අජූන (ස්පර්ශ නොකළ යුතු) ජන වර්ගවාදය (Untonchability) අහෝසි කිරීම යන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොවන්නට මෙම පදවි ප්‍රාප්තිය සිහිනයක් වනු ඇත. මෙමඟින් පැහැදිලි වන කාරණය නම්, බහු වාර්ගිකත්වය සහිත ඉන්දියානු සමාජය තුළ සාමය, සංහිඳියාව මෙන්ම සෑම ජන කොටසකගේම අභිමානය වර්ධනය කර ගැනීම සඳහා මෙම තෝරා ගැනීම හේතු වී ඇති බවයි. එබැවින් මෙය ශ්‍රී ලංකාවට ද ආදර්ශයකි. එනම්, රටේ සෑම ජනවර්ගයකට පිළිගත හැකි, පොදු ජන ජීවිතයේදී කීර්තියට පත් අයකු ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි.

 එබැවින් මෙම සමස්ත කාරණා සැලකිල්ලට ගෙන බැලීමේදී ඉන්දියාවේ මෙන් බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත ශ්‍රී ලංකාවට ද දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැංවීමටත් ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පවතින විවේචනවලට ද එය යම් විසඳුමක් වනු ඇතැයි සිතිය හැකි ය. තවද 1978 පෙර ශ්‍රී ලංකාවේ පැවැති පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද නාමික ජනාධිපති ධුරයක් හඳුන්වා දී තිබූ අතර, එවැනි ක්‍රමයක් සම්බන්ධයෙන් සැලකිය යුතු ආකාරයක පළපුරුද්දක් ද ශ්‍රී ලංකාවට ඇත. කෙසේ වෙතත් ඉන්දියානු මොඩලය මෙහිදී යෝජනා කරනු ලබන්නේ යම්කිසි දේශපාලන හෝ ඉහත කී ආකාරයේ හදිසි අර්බුදකාරී තත්ත්වයකදී ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේ නාමික ජනාධිපතිවරයාට එය පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය ලැබෙන බැවිනි. එබැවින් අනාගත ව්‍යවස්ථා සම්පාදකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට, බලපෑම් කණ්ඩායම්වලට සහ විද්වතුන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයට අදාළ ජනාධිපති ධුරයේ හැඩය කෙසේ නිර්මාණය කර ගත යුතුද යන්න පිළිබඳ මෙමගින් සිතා බැලීමට හැකියාව පවතින බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවට යෝග්‍ය  ජනාධිපති ධුරයේ හැඩය කෙසේ විය යුතුද?

නිසංසලා මධුමාලි
 ශාස්ත්‍රපති, විශේෂවේදී (ගෞරව)
 දේශපාලන විද්‍යාව,
 කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment