ශ‍්‍රී ලංකාවට විදේශ ණය ගෙවාගන්න බැහැ – රාජ්‍ය ණය ගෙවීම  පැහැර හැරීමට ඉඩ ඇත!

586

IMF සමාලෝචන වාර්තාවෙන් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල දැක්ම අනුව  ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි (තිරසාර නොවන) මට්ටමට පත්ව ඇති අතර විශාල ලෙස අඩු වී ඇති විදේශ සංචිත නුදුරු කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට ප‍්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (25ද) නිකුත් කළ ආර්ටිකල් ,¼ සමාලෝචන වාර්තාව මගින් මේ බව දක්වා ඇත.

මේ අනුව ශ‍්‍රී ලංකාව ඉදිරි කාලයේදී රාජ්‍ය ණය ගෙවීම පැහැර හැරීමට ඉඩ ඇති රටක් බවට පත්ව ඇති බව මූල්‍ය අරමුදලේ මේ වාර්තාවෙන් අනාවරණය වේ.

ශ‍්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට සහ රාජ්‍ය ණය අර්බුදයකට මුහුණදෙමින් සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව විදේශ මුදල් ගලා ඒම් ඉහළ නංවා ගැනීමට දරන ප‍්‍රයත්නයන් කෙටි කාලයකදී හුස්ම ගැනීමේ ඉඩක් සැපයිය හැකි වුවත් ශ‍්‍රී ලංකාව වර්ෂ 2022 න් ඔබ්බට විශාල ණය වගකීම් පියවීම සිදුකරන්නේ කෙසේද යන්න අපැහැදිලිව පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරි දැක්ම ප‍්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ සර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාර බව නැවත ඇති කිරීම සඳහා කෙටිකාලීන සහ මැදකාලීන විශ්වාසනීය මෙන්ම සුසංයෝගී උපාය මාර්ගයක් ක‍්‍රියාත්මක කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ආර්ටිකල් ,¼ වාර්තාවෙන් නිර්දේශ කර ඇත. මේ අනුව විශේෂිත ක‍්‍රියාමාර්ගවලින් සමන්විත පුළුල් ප‍්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය බවට එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

සැලකිය යුතු ආදායමක් ජනිත කර ගැනීම මත පදනම් වූ මූල්‍ය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය බවද ඒ සඳහා බදු අනුපාත වැඩි කිරීම සහ බදු පදනම සුළුල් කර ගැනීම හරහා වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කර ගැනීමට ඉලක්ක කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතර පළමුවටම සඳහන් කර තිබේ.

එසේම සෙසු නිර්ද්ශ අතර ණය තිරසාරභාවය නැවත ඇති කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සැලසුම් කිරීම, මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කිරීම, වෙළෙඳපොළ මත තීරණය වන සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ක‍්‍රමානුකූලව ඇති කිරීම සහ මෙම සර්ව ආර්ථික ගැලපුම්වලින් සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවදානමට ලක්වන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්‍ෂණ ජාලය ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෙසු ප‍්‍රධාන නිර්දේශයන් වේ.

ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් නිකුත් කර ඇති වාර්තාවේ මෙසේද සඳහන් වේ.

කොවිඞ් 19 වසංගතය නිසා ආර්ථිකයට මරු පහරක් එල්ල විය. රට වසා තැබීමේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම නැති විය. වසංගතයට පෙර හඳුන්වාදෙන ලද බදු කපාහැරීම්වල බලපෑම නිසා 2020 සහ 2021 යන වසරවල අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 10 ඉක්මවා ගියේය. ඊට අමතරව 2021 වන විට රටේ ණය බර දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 119 ක් බවට පත්විය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධන වෙළෙඳපළේ සඳහා ශ‍්‍රී ලංකාව සතුව තිබූ ප‍්‍රවේශවීමේ හැකියාව ඉතා පහත් මට්ටමකට පත් වූ අතර මහ බැංකුව විසින් විශාල ප‍්‍රමාණවලින් රජයට ණය මුදාහැරීමට පටන් ගත්තේය. දේශීය ණය සඳහා කළ යුතුව තිබූ ගෙවීම් නිසා ජංගම ගිණුමේ හිඟයක් පවතින අතර ඊට සාපේක්‍ෂව විදේශ විනිමය හිඟයක් ඇති විය. විදේශ විනිමය අගය 2021 අපේ‍්‍රල් සිට රජය මගින් ස්ථාවර අගයක් ලෙස පවත්වා ගත්තේය. උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යමින් 2021 දෙසැම්බර් වන විට සියයට 10 ඉක්මවා ගියේය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සහ රාජ්‍ය ණය අර්බුදයක් ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්‍ෂණයන්ට අනුව රාජ්‍ය ණය තවදුරටත් ගෙවා ගැනීමට නොහැකි බවට පත් විය. රටේ දළ සංචිත තීරණාත්මක ලෙස පහත බැස්සේය. ආසන්න ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment