ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත විය හැකිද?

700

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියන පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාව මෙට්‍රික්‌ ටොන් පනස්පන්දහසකි. ඉන් ටොන් පනස්දහසක් ම පිටරටින් ගෙන්වන අතර මේ රටේ නිපදවනු ලබන්නේ වියළි මිරිස් ටොන් පන්දහසක් පමණි. මේ රටේ සාම්ප්‍රදායික ආහාරයට වියළි මිරිස් ඇතුළත් වන්නේ මෙයට අවුරුදු 225 කට පෙර ය. එයට හේතුව ඒ වන විට කොළඹ නගරය කේරළයෙන් පැමිණි කොච්චි ජනයා හෙවත් කේරළ ජාතික කම්කරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ නිසා ය. මීට අවුරුදු 300 කට පමණ පෙර මේ රටේ සාම්ප්‍රදායික ආහාර වේලක් සැකසීමේදී අමුමිරිස් සහ ගම්මිරිස් පමණක් යොදා ගන්නා ලදි. එකල පොල් ගෑමක් නොතිබූ අතර පොල් උලුප්පා වනේ ලා කොටා පොල් සම්බෝල සාදන ලදි. එකල හොදි සෑදීම සඳහා පොල් කිරි පාවිච්චියක් නොවීය. උලුප්පා වනයේ ලා කෙටූ පොල් ගලේ දමා අඹරා තුනී මිශ්‍රණයක් බවට පත්කොට හොදිවලට යොදන ලදි. එකල කිරිබත් උයන ලද්දේ එළකිරිවලිනි. ඉන්දියාවෙන් පැමිණි කොච්චි මිනිසුන්ට රතු මිරිස් හෙවත් වියළි මිරිස් නැතිව ආහාර ගැනීමට බැරි විය. ඒ නිසා මීට අවුරුදු 225 කට පෙර ඉන්දියාවෙන් මුල් වරට මිරිස් හොණ්ඩර 20 ක් ලංකාවට ගෙන්වන ලදි. එය මාස 2 ක් තුළ ඉවර වූ බවත්, ඊළඟ සැරේ මිරිස් හොණ්ඩර 500 ක් මෙහි ගෙන්වන ලද බවත් දැන ගන්නට තිබේ. අද වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය ම සිරෝසිස් හැදෙන තරමට වියළි මිරිස්වලට ඇබ්බැහි වී සිටිති.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඛනිජ තෙල් ටොන් ලක්‍ෂ ගණනක් අවශ්‍ය ය. එයින් එක කඳුළක් හෝ මෙහි නිපදවනු නො ලැබේ. සියල්ලම ගෙන්වන්නේ පිටරටිනි. එසේම අපට ගෑස් ටොන් ලක්‍ෂ ගණනක් අවශ්‍ය ය. ඒවා ද පිටරටින් ගෙන්වනු ලැබේ. කුළුබඩුවලින් 75% අපි පිටරටින් ගෙන්වමු. විළිවසා ගැනීමට අවශ්‍ය රෙදිවලින් 99.99999% ක් ම ගෙන්වන්නේ පිටරටිනි. රටට අවශ්‍ය කඩදාසි සියල්ලම පාහේ පිටරටින් ගෙන්වනු ලැබේ. මේ රටේ නූල් නිෂ්පාදනය කළ ද එකී නිෂ්පාදනයට අවශ්‍ය කපු පුළුන් ද යන්ත්‍ර සූත්‍ර ද සියල්ලම ගෙනෙන්නේ පිටරටිනි. මේ කතාව මෙතෙකින් නොනවතී. දැන් දැන් උළුවහු ජනෙල් සඳහා අවශ්‍ය ලෑලි ද පිටරටින් එයි. බයිසිකලයක සියලුම කොටස් පිටරටින් ගෙන්වන අතර ටයර් සඳහා අවශ්‍ය රබර්වලින් සුළු කොටසක් පමණක් මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. මේ අනුව හදිසියේවත් ලෝක යුද්ධයක් හටගෙන රට තුළට නැව් එන එක නැවතුණහොත් අපට සිදුවන්නේ හෙළුවැල්ලෙන් බඩගින්නේ වෙරළ දිගේ සිටගෙන ඉන්නට ය.

ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්කිරීමේ සිහිනය මුල්වරට දක්නා ලද්දේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ය. ඔහු ඒ බව දැක්කේ ගොවියකුගේ දෑසිනි. ඩී. එස්. ට ගොවි දෑසක් තිබිණ. එහෙත් එකල ශ්‍රී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක් වූ බැවින් අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරනවාට ඉංග්‍රීසිකාරයා එතරම් කැමැත්තක් පළ කළේ නැත. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීමේ ඊළඟ සිහිනය සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය විසින් දක්නා ලදි. එහෙත් ඈ එම සිහිනය දකින්නේ සමාජවාදී දෑස්වලිනි. සමාජවාදී සහ කොමියුනිස්ට්වාදයේ අවසාන අවස්ථාවේදී නිලධාරිවාදය හිස එසවීමට පටන් ගන්නා ලදි. මෙතැන් සිට රටට කෙළවීම ඇරඹේ. මෙවැනි තත්ත්වයක් තුළ දේශපාලනඥයන්ටත්, නිලධාරීන්ටත් එකගොඩේ හොරකම් කිරීමට පුළුවන. ලෝකයේ බලවත්ම කොමියුනිස්ට් රාජ්‍යය වූ සෝවියට් රුසියාව තුළ මෙය මෙසේම සිදුවිය. බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ අවසන් අවුරුදු දෙකේ දී දේශපාලනඥයෝ ද නිලධාරීහු ද එකගොඩේ හොරකම් කළ හ. මේ නිසා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීමේ අදහස විනාශයට පත්වූවා පමණක් නොව ඊළඟ ඡන්දයේදී මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැරදී පාර්ලිමේන්තු ආසන ගණන 8 දක්වා අඩු විය.

ශ්‍රී ලංකාව මීට අවුරුදු හාරපන්සීයකට පෙරදී සම්පූර්ණ කෘෂිකාර්මික රාජ්‍යයකි. එසේම රටට අවශ්‍ය රෙදි රට තුළම නිපදවා ගත් රාජ්‍යයකි. එකල ජීවත් වූ මිනිසුන්ට තිබූ අවශ්‍යතා ප්‍රමාණය සීමිත වූ බැවින් මෙය කළ හැකි විය. එහෙත් නූතන ශ්‍රී ලංකාව 100% කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත්කළ නොහැක. ඒ අනුව මේ රට කවර දේකින් ස්වයංපෝෂිත කළ යුතුද යන්න විද්වතුන් ද දේශපාලනඥයන් ද විසින් හඳුනාගනු ලැබිය යුතුය. එසේ හඳුනාගත් බඩු ලේඛනයක් තවමත් අප සතුව නැත. මේ රට දියුණු කිරීමට නම් අප ස්වයංපෝෂිත විය යුත්තේ කවර ආකාරයෙන් ද යන න්‍යාය පත්‍රය සාදාගත යුතු ය.

advertistmentadvertistment
advertistmentadvertistment