මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගන්නා අයුරු

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අතර සිදුකෙරිණි.

මෙම හවුල්කාරිත්වය යටතේ මහජන බැංකුව විසින් දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළෙඳ මූල්‍ය සහයෝගය ලබා දෙනු ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික අරමුණු සමඟ පෙළගැසෙමින් ඒවා ගෝලීය අපනයන වෙළෙඳපොළට ඒකාබද්ධ කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණු අතර වේ. මහජන බැංකුව දැනටමත් දිවයින පුරා පිහිටි ශාඛා 747කින් සමන්විත පුළුල් ශාඛා ජාලයක් උපයෝගී කරගනිමින් උපාය මාර්ගිකව ශාඛා 7ක අපනයන අංශයට විශේෂිත අපනයන මධ්‍යස්ථාන (Export Hub’s) ස්ථාපිත කර ඇත.

මෙම සහයෝගීතාව තුළින් අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා සහ අපනයන අවස්ථාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලැබෙනු ඇත.

මෙහිදි අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව, රජයේ ආර්ථික ප්‍රතිපත්ති වලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වමින් රටේ අපනයන ආදායම වර්ධනය කිරීමට ඇප කැපවී සිටිනවා. අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය මේ සඳහා වන හොඳම නිදසුනක්’

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි /සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරනගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර බැංකු) තුෂාරි හේවාවසම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සේපාලිකා ජයවර්ධන, වෙළෙඳ පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර යන මහත්ම මහත්මින් ඇතුළු බැංකු නිලධාරින් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment