ශ්‍රී ලංකාවේ ආර්ථිකය  ගොඩ නැගීමට ඇති උපායමාර්ග

445

අතීත රජ දවසේ මෙරට පැවති සරල ආර්ථික රටාව තුළ මනා ලෙස නිෂ්පාදනය කළමනාකරණය සිදු කර ඇති බව පරාක්‍රම රජ දවස සහල් අතිරික්ත තුළින් නිරූපනය වේ. ශ්‍රී ලංකාවට පුරාණ සංස්කෘතික ආර්ථික පසුබිමක් තිබේ. ගෙවුම් ශේෂ වියදමට වඩා ආදායම අද වන විට අඩු මට්ටමක පැවතීම කියාපාන්නේ අනවශ්‍ය ආකාරයෙන් පිටරටින් අප විවිධ භාණ්ඩ පරිභෝජනයට නැඹුරුව ඇති බවකි. රටේ ජාතික වියදමට සාපේක්ෂව ජාතික ආදායම වැඩි කිරීමට නම් නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇත. ගෘහස්ථ නිෂ්පාදන ක්‍රමයක් තුළින් කිරි නිපදවීම, එළවළු, පලතුරු වැනි කර්මාන්ත දිරිගැන්වීමෙන් එයද ව්‍යවසායකත්ව ආර්ථිකයකට මග විවර කිරීමකි.

 ශ්‍රී ලාංකිකයන් වශයෙන් අද අප සියලු දෙනාම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. ආර්ථික තීරණ ගැනීමට සිටි පාර්ශ්වයන් මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටී සිටීමට ඉඩ දී බලා සිටියේ ඇයි දැයි යන්නද ජනතාවට ඇති විශාල ගැටලුවකි. වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයන්ට එකල ජිවිත අහිමි වූයේ බෝම්බ ප්‍රහාරවලින් වුවද වර්තමානය වන විට ආර්ථික යුද්ධය නිසා ජීවිත අහිමි වන තත්ත්වයක් උද්ගත වී ඇත. ඉන්ධන, ගෑස් පෝලිම්වල සිටි පුද්ගලයන් හෘදයාබාධ, මානසික පීඩනය වැනි විවිධ හේතූන් මත මිය යෑමද, රටේ සියලුම ආයතනවල වැඩ කටයුතු අඩපණ වී තිබීම ද අපට ඇති අභියෝගයන් වේ. විදේශ විනිමය සංචිත අඩු වෙමින් පවතී. ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සිය හැට දක්වා වැඩිව ඇත. ආනයන මත වැඩි නැඹුරු ආර්ථික රටාවක් පවතින ශ්‍රී ලංකාව තුළ 54.6% ක ජීවන උද්ධමනකාරී තත්ත්වයක් ගොඩ නැගී පවතී.

 තවද එක අතකින් රාජ්‍ය ආදායම පිරිහී ඇත. අනික් අතට අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත. ආර්ථික වර්ධන වේගය පවා 2% මට්ටමකට පැවතීම තර්ජනයක් නිසා අප විසින් එය අවස්ථාවක් කරගෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් දැනටමත් නිර්මාණය කළ යුතුව ඇත. පවතින අර්බුද හමුවේ අප ඉතාමත් තීරණාත්මක කාල වකවානුවකට අවතීර්ණ වී ඇත. එවන් පසුබිමක රැකියා ඉල්ලන මානසිකත්වයෙන් මිදී සිය හැකියාව හා ශක්තිය තුළින් ව්‍යවසායකත්ව සිහින හඹා යන ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාවක් හඳුන්වා දීමට දැන් සුදුසුම කාලයයි. ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩ නැගීමට දේශීය ආයෝජන ඉහළ නැංවීමට මං පෙත් විවර කරදීම මේ මොහොතේ සිදු කළයුතු වැදගත් ආර්ථික කර්තව්‍යයකි. ව්‍යවසායකත්වය ඇති කිරීමේදී අවදානම් දැරීමට පුද්ගලයන් හැඩ ගස්වා ගැනීම සිදු කළ යුතුව ඇත. කුඩා කල පටන්ම ළමුන්ට අවදානම් භාර ගැනීම සම්බන්ධව දිරිගැන්වීම් කළ යුතු ව ඇත. රට මුහුණ දී ඇති ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස පාපැදි භාවිතය දිරිගැන් විය යුතු බවට දැන් කතිකාවතක් ගොඩ නැගී ඇත. ඇත්ත වශයෙන්ම දරුවෙක් පාපැදියකට යොමු කිරීම ද එක් ආකාරයකින් අවදානම්වලට මුහුණ දීමට සූදානම් කිරීමකි. පාලනය කළ හැකි අවදානම්වලින් පාලනය කළ නොහැකි අවදානම්වලට දරුවාට යෑමට එය සානුබලයක් වනවා නොඅනුමානය. පාපැදි නඩත්තුව සඳහා දැරීමට ඇත්තේ කුඩා වියදමක් වන අතර එය පරිසර හිතකාමී ද වේ. අවම වශයෙන් කෙටි දුර ධාවනයට හෝ කාර්යාල සේවකයන් අතර පාපැදි ප්‍රචලිත කරහොත් ඉන්ධන පරිභෝජනය අඩු කර ගත හැකි වේ. තවද පාපැදි අලුත්වැඩියා කරන ස්ථාන බිහිවීමද, අලුත්වැඩියා කරන්නන් පුහුණු කරන මධ්‍යස්ථාන බිහිවීම ද මෙමගින් පැන නගින ව්‍යවසායකත්ව අවස්ථා වේ. තවද මෝටර් රථවාහන අලුත්වැඩියා කිරීම් අවම වීම මගින් ආනයන වියදම් සිමා වීම, පාපැදි සඳහා රක්ෂණ ප්‍රතිපත්ති ඇති වීම වැනි අතුරු ප්‍රතිලාභ ද ජනිත කරගත හැකි වේ. අනික් අතට මගීන්ට පාපැදි ධාවනය සඳහා සැලසුම් සහගතව ප්‍රවේශ මාර්ග නගරබද ආශ්‍රිතව ඉදි කළ යුතුව ඇත.

 අතීත රජ දවසේ මෙරට පැවති සරල ආර්ථික රටාව තුළ මනා ලෙස නිෂ්පාදනය කළමනාකරණය සිදු කර ඇති බව පරාක්‍රම රජ දවස සහල් අතිරික්ත තුළින් නිරූපනය වේ. ශ්‍රී ලංකාවට පුරාණ සංස්කෘතික ආර්ථික පසුබිමක් තිබේ. ගෙවුම් ශේෂ වියදමට වඩා ආදායම අද වන විට අඩු මට්ටමක පැවතීම කියාපාන්නේ අනවශ්‍ය ආකාරයෙන් පිටරටින් අප විවිධ භාණ්ඩ පරිභෝජනයට නැඹුරුව ඇති බවකි. රටේ ජාතික වියදමට සාපේක්ෂව ජාතික ආදායම වැඩි කිරීමට නම් නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇත. ගෘහස්ථ නිෂ්පාදන ක්‍රමයක් තුළින් කිරි නිපදවීම, එළවළු, පලතුරු වැනි කර්මාන්ත

 දිරිගැන්වීමෙන් එයද ව්‍යවසායකත්ව ආර්ථිකයකට මග විවර කිරීමකි. අප ආහාරයට ගන්නා කෑම පිඟාන දෙස අවධානය යොමු කළ විට එයින් අඩකට වඩා ඇත්තේ ආනයනය කරන ලද ආහාර ද්‍රව්‍යයි. රුසියාව හා යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය නිසා තිරිඟු පිටි නිපදවීම ද අඩු වීමෙන් ලෝක ආහාර අර්බුද ඉදිරියේදී පැන නැගිය හැකිය. එම නිසා ශ්‍රී ලාංකික අප විසින් ද ආදේශක ආහාර පරිභෝජනයට හුරු විය යුතුව ඇත. උදාහරණයක් ලෙස පොල් කිරි ආශ්‍රයෙන් අයිස්ක්‍රීම් නිපදවීමට හැකියාවන් පවතින අතර කිතුල් පැණි මගින් චොක්ලට් නිපදවීමට හැකිය. ඇත්තෙන්ම මෙය ඩොලර් ඉතුරු කර ගැනීමට ඇති උපාය මාර්ග මෙන්ම දේශීය ව්‍යවසායකයා නැංවීමට ද යොදා ගත හැකි ක්‍රමවේදයකි. ඉදිරි කාල සිමාවන්වලදී රට තුළ තවදුරටත් ආනයන සීමා කළහොත් නිෂ්පාදනයට සරිලන ඉල්ලුම සැපිරිය නොහැකි වීමෙන් භාණ්ඩ මිල ගණන් වැඩි වී උද්ධමනය ඉහළ යයි. එම නිසා දේශීය වශයෙන් නිපද විය හැකි භාණ්ඩ උපරිමව වැඩි කළ යුතුව ඇත. දේශීය කුළු බඩු කර්මාන්තය සඳහා ලෝක වෙළෙඳපළේ වැඩි ඉල්ලුමක් ඇති කර ගත හැකි නම් අගනේය. දේශීය හස්තකම් නිෂ්පාදනයන් ලොව පුරා ප්‍රචලිත කිරීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩල, ඒවාට වෙන්වූ අමාත්‍යාංශ යුහුසුළුව ක්‍රියාත්මක විය යුතුව ඇත.

 දේශීය ව්‍යවසාය පමණක් නොව විදේශීය ආයෝජන ද රටකට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප, කොළඹ වරාය නගර ආශ්‍රිතව විදේශ ව්‍යාපාර ආරම්භ කිරීමට දිරි ගැන්විය යුතු අතර නව කළමනාකරණ සංකල්ප, තාක්ෂණය ලබා ගැනීමට හැකි වේ. ලීන් කළමනාකරණ සංකල්ප (Lean concept) තුළින් කර්මාන්තයක අනවශ්‍ය වැඩ කපා හැරීම, සීමිත සේවක සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ ක්‍රමවේද සම්බන්ධව ප්‍රායෝගික අවබෝධයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබා ගත හැකි වේ. සිංගප්පූරුව ස්වභාවික සම්පත්වලින් පරිපූර්ණ නොවුවද ලී ක්වාන් යූ මහතා එරට ආර්ථිකයට ගැලපෙන නායකත්වයක් ලබා දී රටේ ආර්ථික වර්ධනය වේගවත් කරන ලදී. කෙටි කාලයක් ඇතුළත ව්‍යාපාරයක් ලියාපදිංචි කළ හැකි පරිසරයක් ගොඩනැංවීම, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි අධ්‍යනය කර ඒ අනුව එහි ද තෙල් ගබඩා සංකීර්ණයක් ඉදි කිරීමට කටයුතු කිරීම, විශේෂඥ දැනුම ඇති අය අමාත්‍ය මණ්ඩලයට පත් කර ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස ලබාදීම ලී ක්වාන්ගේ නිවැරදි දැක්ම සහිත නායකත්වය පෙන්වන උදාහරණ කිහිපයකි. ශ්‍රී ලංකාව තුළද ව්‍යාපාරික අනුමැතීන් ලබාදීමේ ක්‍රියාවලියේ දී සිටින රාජ්‍ය ආයතන වේගවත් හා නිවැරදි සේවා සැපයීමට දිරිමත් කිරීම, රාජ්‍ය අංශයේ අතිරික්ත මිනිස් බලය යොදා

 ගනිමින් බාධාවකින් තොරව දින 365ම අඛණ්ඩ සේවය සැපයීමට යොදා ගැනීම රාජ්‍ය නායකත්වය විසින් සිදු කළ යුත්තකි.

 නිවසේ සිට ආයතනයක් දක්වාම වියදම් අඩු කිරීම සම්බන්ධව අප අවධානය යොමු කළ යුතුව ඇත. ලොකුම නිවසක් තනා ගැනීම, සුඛෝපභෝගී වාහන එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නිවසක තබාගෙන සිටීම, විවාහ උත්සව සඳහා අනවශ්‍ය ආකාරයෙන් වියදම් සිදු කිරීම වැනි දෑවලින් බැහැරව සරල දිවි පෙවත්වලට අපි යොමු විය යුතුව ඇත. කාර්යාලවල අනවශ්‍ය ගමන් බිමන් අවම කිරීම, නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ

 රැස්වීම් පැවැත්වීම, කඩදාසි භාවිතය අවම කරමින් ඊ ලිපිගොනු පවත්වා ගෙන යෑමට කටයුතු කිරීම වැනි දෑ කළමනාකරණය කරමින් ඉදිරියට යෑම සුදුසු වේ. නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව අවසාන නිෂ්පාදිතය පාරිභෝගික ජනතාව අතර බෙදා හැරීමේදී නිසි ඇසුරුම්කරණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. ආහාර හානිය ශුන්‍ය වෙන පරිදි ඇසිරිය යුතු ආකාරය සම්බන්ධව පුහුණු වැඩසටහන් ක්‍රියාවට නංවා ව්‍යවසායක ප්‍රජාව සවිබල ගැන්විය හැකිය. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී පහසුවෙන් වීසා ගත හැකි ක්‍රමවේද තිබිය යුතුව ඇත. සිංගප්පූරුව එරටට විදේශ විනිමය වැඩි කර ගැනීමේදී සංචරණ බාධා අඩු කර විදේශිකයන් ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලදි. රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවලින් 2022 වසරේ වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි ඇති නිසා ඔවුන්ව තව තවත් ආකර්ෂණය කර ගැනීමට කල්පිටිය, ඩෙල්ෆ්ට් දූපත් සංචාරක දූපත් ලෙස දියුණු කර ගැනීම කාලෝචිත වේ.

 ආර්ථික අර්බුදකාරී අවස්ථාවකදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට ඇති ගැටලු හඳුනා ගෙන ඔවුන්ට සහන සැලසීම ද අවධානයට යොමු කළ යුතු කරුණකි. මහා පරිමාණ ව්‍යාපාර හා බැඳුණු තියුණු තරගය, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් නිෂ්පාදනය ඇනහිටීම, සැපයුම් දාමයේ බිඳවැටීම්, වෙළෙඳපොළ දිනා ගැනීමේ ගැටලු, ණයගැතියන්ගෙන් ණය අය කර ගැනීමේ ගැටලු, එදිනෙදා මුදල් කළමනාකරණය එවැනි සමහර අභියෝගයන්ය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාලීන දැනුම ලබාදීම, ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීමට මග පෙන්වීම, ව්‍යවසායකත්ව නිපුණතා ලබාදීම, වෙළෙඳ සන්නාමකරණයට (Branding)  උපකාරී වීම වැනි කටයුතුවල නිරත විය යුතුව ඇත.

 දැනට රටේ උද්ගත ව ඇති ආර්ථික අර්බුදයේ අඳුරු අනාගතයක් දකින්නට උත්සාහ දරනවා වෙනුවට එම අර්බුදය නිසාම විවෘත වූ නව ලොව වෙළෙඳපොළ අවස්ථා කෙරෙහි නැවුම් දෘෂ්ටිකෝණයෙන් බලා ඒවා ක්‍රියාවට නැංවීමට ආර්ථික බලධාරින් වග බලා ගත යුතුව ඇත. රටේ පොදු මහජනතාව වශයෙන් ඇප කැපවීමෙන් කටයුතු කිරීම, අර්බුදයන්වලට විසඳුම් සෙවීමේදී සානුකම්පිතව ඉවසා සිටීම වැනි දෑ සම්බන්ධව අවධානය යොමු කළ යුතුය.

 දසුන් රත්නායක
 කථිකාචාර්ය
 කළමනාකරණ අධ්‍යයන අංශය
 ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment