ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ඉන්දියාවේ දායකත්වය!

146

අභියෝගාත්මක අවධියේ ඉන්දු – ලංකා සබඳතා

2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සැමරීමට සූදානම් වන අවස්ථාවේ තම සමීපතම අසල්වැසි මිතුරු රාජ්‍ය වන ඉන්දියාව සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග පවතින සබඳතාවය වසර 2500 කට වඩා පැරණිය. දෙරට අතර සබඳතා ද කාලයත් සමඟ පරිණත වී

විවිධාංගීකරණයට ලක්වී ඇති අතර එය වර්තමානය වනවිට සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම විහිදී ගොස් ඇත.

දෙරටේ සබඳතා වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයන්ට අමතරව අධ්‍යාපනය, සංස්කෘතිය සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා ද විහිදී ගොස් ඇත.

අසල්වැසියාට පළමු තැන

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය අනුගමනය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය පළමු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙසට සාර්ක් රාජ්‍ය නායකයන්ට සහ මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමෙන් මෝදී අගමැතිවරයාගේ කලාපීය සහයෝගිතාවයේ නැඹුරු බව පිළිඹිබු කරයි. ඒ අනුව ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකර දී ඇත.

1948 වර්ෂයේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙන ශ්‍රී ලංකාවට ඉන්දියාව දිගින් දිගටම අත්වැසිල්ලක් වීමත් සමග දෙරට අතර මෑත වසරවලදී සමීප සම්බන්ධතා වර්ධනය විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටලුව

ශ්‍රී ලංකාව මේ වනවිට විදේශ ණය උගුලක පැටලී ඇති බව නොරහසකි. එය සමස්ත ජන සමාජයම වෙලාගත් පිළිකාවක් බවට පත් වී ඇති අතර එය උඩුදුවා යෑම වළක්වා ගැනීමට ඇති එකම මාර්ගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙවන් බැරෑරුම් තත්ත්වයක ශ්‍රී ලංකාව පසුවන අවස්ථාවක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා මේ මස 19 දා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සිදුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපේක්ෂාවෙන් සිටියි.

ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන මේ මොහොතේදී විදේශ ණය ගෙවීම, විදේශ විනිමය උපයා ගැනීමේ ගැටලු සහ මහජනතාවට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටී. 2022 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයකට ගොදුරු වූ අතර එය රට තුළ දේශපාලන කැලඹීමක් ද ඇති කළේය. කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට දැන් පැවරී ඇති ප්‍රධාන රාජකාරිය බවට පත් වී තිබේ.

ඉතිහාසය පුරාවටම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියක දෙපැත්තක් මෙන් එකට ගමන් කර ඇති බවත් එම නිසා රටවල් දෙක එක්ව ඉදිරියට යා යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාව විසින් ඩෝනියර් 228 නමැති ඔත්තු බැලීමේ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට භාරදීමේ උත්සවයට සහභාගි වෙමිනි. පසුගිය වසරේ සැමරූ ඉන්දියාවේ 75 වැනි නිදහස් සංවත්සරයට සුබපැතුම් එක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව ලෝක බලවතා බවට පත්වෙමින් තිබෙන බව ප්‍රකාශ කළේය. ඉන්දියාව ලෝක බලවතෙකු ලෙසට නැගීසිටින බවත් එහි උච්චතම අවස්ථාවක් මෙම ශතවර්ෂයේ මැදභාගය වනවිට දැකබලා ගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 51කට අධික විදේශ ණය සඳහා ණය පැහැරහැරීමක් ප්‍රකාශයට පත් කළේය. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල්දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 3.8 ක් වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

2022 ජනවාරි මාසයේදී මූල්‍ය අර්බුදය දිගහැරෙන්නට පටන් ගැනීමත් සමඟ ක්ෂය වූ විදේශ සංචිත ගොඩනඟා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ප්‍රදානය කරන ලදී. පසුව අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දුන්නේය. අර්බුදය උත්සන්න වීමත් සමග මෙම ණය පහසුකම පසුව ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා පුළුල් කරන ලදී. ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් වාහන ආනයනය සීමාකරන ලදී. වාහන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් වී තිබිණි. එම බැරෑරුම් තත්ත්වය තේරුම් ගත් ඉන්දීය රජය පසුගිය මාසයේදී වාහන 125 ක් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට කටයුතු කරන ලදී.

පෙර නොවූ විරූ ව්‍යාකූල තත්ත්වයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශීය ප්‍රභූවරයා වූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාය. ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

“ශ්‍රී ලංකාව අපේ සමීපතම අසල්වැසියායි. ඔබට උපකාර කිරීමට සහ අපගේ සුහදතාවය පළකිරීමට ලැබීම අපගේ සතුටයි,” ජයිශංකර් මහතා එහිදී පැවසීය.

ශ්‍රී ලංකාවට කඩිනමින් මූල්‍ය ආධාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව සහයෝගය දක්වන රට බවට ඉන්දියාව පත් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් ලබා දීමට සම්බන්ධ සාකච්ඡා තවමත් අවසන් වී නැත. එම අවිනිශ්චිත කාලය තුළ ශ්‍රී ලංකාවට විස්වාසවන්තව කටයුතු කළ හැකි අවැසි විට උදව් උපකාර කරන මිතුරා බවට ඉන්දියාව අද පත්ව ඇත. මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා ඉන්දියාව හැකි සෑම ආකාරයකින්ම අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණදෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා ඉන්දියාව 2022 දී ඩොලර් බිලියන 4 කට ආසන්න පෙර නොවූ විරූ ආකාරයට ආධාර ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා මැඩලීමට සහාය දෙන අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සම්බන්ධිකරණය සඳහා ඉන්දියාව මැදිහත්වීමට කැමැත්ත දක්වා ඇත.

මේ අතර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ දෙසැම්බර් මස මුලදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී දුෂ්කර කාලසීමාව තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳව ඇයට ස්තූතිය පළකර තිබුණි. ආයෝජන, සංචාරක සහ වෙළෙඳාම වැඩි දියුණු කරමින් දෙරට අතර බහුවිධ ආර්ථික ඒකාබද්ධතාව තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

G20 සංවිධානයේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවීමත් සමග ඒ හරහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ පිහිටි රටවල් වලට ප්‍රතිලාභ හිමිකර ගැනීමට නියමිතය. ඉන්දියාවට G20 වැනි ප්‍රබල සංවිධානයක සභාපතිත්වය හිමිවීම දකුණු ආසියානු කලාපයට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එහි ආර්ථික අර්බුදයෙන් මිදීමට කදිම අවස්ථාවක් ලබාදෙනු ඇති බවට සැකයක් නැත.

ආචාර්ය ප්‍රදීප් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment