2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය තරග වදින තීරණාත්මක තරගය අද (29 වෙනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:30 ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්ත කණ්ඩායමද සහභාගි වන තෙවන තරගය මෙය වේ.
සුපිරි 12 වටය යටතේ මෙම කණ්ඩායම් දෙකෙහි දක්ෂතා විමසා බැලීමේදී පළමු තරගයේ ඔස්ට්‍රේලියාව දරුණු පරාජයකට ලක්කර නවසීලන්තය එහි පෙරමුණට පැමිණි අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන ලදී.
ශ්‍රී ලංකාව පළමු තරගයේ දී අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියාව හමුවේ දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට උරුමකම් කීය.
ඒ අනුව අද තරගයෙන් ජය ගැනීම තරගාවලියේ ඉදිරියට යෑම සඳහා කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පිළිබඳ විමසා බැලීමේදී මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැනක් ගෙන සිටින කුසල් මෙන්ඩිස් ගේ ශක්තිය ඔවුන් සතුව පවතී. කුසල් පළමු තරග හතර තුළ ලකුණු 171ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලකුණු පහකට 5කට දැවී ගියේය. එසේම අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද ලකුණු අතර සිටින අතර අංක 3 පිතිකරු ධනංජය ද සිල්වාද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි. එහෙත් මැදපෙළින් චරිත් අසලංක හැර අන් පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසි සහගත වේ.
එමෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණියද ආබාධ තත්ත්වයන් හේතුවෙන් අඩපණ වී ඇති අතර ලහිරු කුමාරගේ පන්දු යැවීම ප්‍රශංසනීය මට්ටමක පවතී. දඟ පන්දු යවන්නන් ලෙස පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියාව හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් අද තරගයේ දී අවධානය යොමු කළ යුතු වේ.
කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්, එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහි පසුගිය තරගයේ වීරයා වූ ඩෙවොන් කෝන්වේ, ෆින් ඇලීන් යන පිතිකරුවන් හැකි ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසිලිදායක වනු ඇත.
නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියද ඉහළ මට්ටමක පවතින අතර වේග පන්දු යවන්නන් වන ටේරන්ට් බෝල්ට් සහ ටිම් සවුති ගේ දක්ෂතා ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ ප්‍රශංසනීය මට්ටමක පැවති අතර දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර් ගේ පන්දු යැවීම හමුවේද කල්පනාකාරීව පිතිහරඹයේ නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වගබලාගත යුතු වෙති.
කසුන් රණවීර ඔස්ට්‍රේලියාවේ සිට