ශ්‍රී ලංකාව ‘කප් එක’ ගැනීම වැළැක්විය යුත්තේ ඇයි?

936

ආසියා මහාද්වීපයේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකය තිබූ ශ්‍රී ලංකාව මේ මොහොතේදී දෙවැනිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

ජපානය යනු දෙවැනි ලෝක යුද්ධයේදී සම්පූර්ණයෙන් සමතලා වූ රටකි. ජලකර හා පරමාණු බෝම්බ දෙකක් දමා විනාශ කෙරුණු මේ රට දශකයක කාලයක් තුළදී කෙලින් හිටගත්තේය. ඊළඟ අවුරුදු 10 න් පසු ආසියාවේ වැඩිම සල්ලියක් වැඩිම සාක්ෂරතාවක් තිබූ රට බවට එය පත්විය. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාව යනු ආර්ථික මොඩ්ල් එකකි.

සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි නැගී එන ආසියානු බලවේග සියල්ලම ශ්‍රී ලංකාව දෙස බලාගෙන කෙළ ගිල්ලාහ. ශ්‍රී ලංකාව තරමට දියුණු විය හැකි නම් එය හොඳටම ඇති බව සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වූ ලී ක්වාන් යූ තම රටේ ජනතාවට නිතරම කීවේය. සිංගප්පූරුව වූකලී මෙයට අවුරුදු 50 ට 60 ට පෙර තිබුණේ මැලේසියාවේ යට කෑල්ලේ පිහිටි ධීවර ගම්මානයක් ලෙසය.

මේ ගමේ මුහුදු වැලි පමණක් විය. ඊට අමතරව ධීවරයන්ගේ පැල්පත් දහස් ගණනක්ද ගම්මානය පුරා තිබිණ. එම වැලි තලාව මැලේසියාවෙන් ඉල්ලාගත් ලී ක්වාන් යූ සිය සහෝදර ධීවර ප්‍රජාව සමග එක්වී පෙර කී බිම් කෑල්ල රටක් බවට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. එකල සිංගප්පූරු භූමියේ පොල් හැර අන් කිසිදු වැවිල්ලක් තිබුණේ නැත. එයට හේතුව එය ලුණු මිශ්‍ර වැලි වලින් පමණක් පරිපූර්ණ වූ බැවිනි.

සිංගප්පූරුව රටක් බවට පත් කිරීමට නම් ඒ මත සාරවත් පස් අතුරා ගස් සිටුවිය යුතු බව ලී ක්වාන් යූ ට වැටහිණ. ඔහු එවිට අහල පහළ රටවලින් හියුමස් පස් ඉල්ලාගෙන ඒවා පෙරකී භූමිය මත ඇතිරුවේය. ඊළඟට ඔහුට ගස් අවශ්‍ය විය. කාන්තාරයක් වැනි සිය බිම් කඩ වනාන්තරයක් කිරීම සඳහා අහල පහළ රටවලින් ඔහු විසින් ගස් ඉල්ලන ලද නමුදු ඒවා ලබා දුන්නේ ශ්‍රී ලංකාව පමණි. ජනාධිපති ලී ක්වාන් යූ ට කතා කළ එවකට සිටි අගමැති ඩඩ්ලි සේනානායක කැමති තරමක් ගස් මේ රටෙන් උදුරාගෙන යන ලෙස කීවේය. ඒ අනුව සිංගප්පූරුවෙන් පැමිණි නැව් අපේ රටේ ගස් ලක්ෂ ගණනක් ගලවාගෙන ගොස් එහි ඉන්දවීය. මේ ගස් අදටත් සිංගප්පූරුවේ තිබේ. සිංගප්පූරුව ක්‍රමයෙන් ගොඩයන අතර හතර අතේ දේශපාලනය වනමින් සිටි ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බංකොලොත් වීමට පටන් ගත්තේය.

මේ අතර එක්දහස් නවසිය හැට ගණන් වලදී කොළඹ වරායේ වැඩවර්ජනයක් හට ගත්තේය. එබැවින් කොළඹ වරායෙන් තෙල් ගසා ගැනීමට සහ සර්විස් කර ගැනීමට පැමිණි නැව් නන්නත්තාර වූහ. එවිට එම නැව්වලට කතා කළ ලී ක්වාන් යූ තම වරායෙන් තෙල් ගසා ගන්නා නැව්වලට නොමිලේ සර්විස් එක දෙන බව පැවසුවේය. සිංගප්පූරු වරාය ලෝකයේ ඉහළම වාණිජ්‍ය වරාය වලින් එකක් බවට පත්වන්නේ මේ සිද්ධියෙනි. තමන්ගේ වරාය දියුණු වීමට තුඩු දුන් ශ්‍රී ලංකාවේ වරාය වැඩ වර්ජනයෙන් පාඩමක් උගත් ලී ක්වාන් යූ සියලු ආකාරයේ වැඩ වර්ජන තහනම් කළේය. අදටත් සිංගප්පූරුවේ සේවකයෙක් වැඩ වර්ජනය කළොත් නොඑසේ නම් උද්ඝෝෂණයක් කළොත් බෙල්ලට දෙකක් දී පස්සා පැත්තට පයින් ගසා හිරේ දමනු ලැබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන පරිදි ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වීමට ශ්‍රී ලංකාවට සිදුවන්නේ කොරෝනා සහ දූෂණය නිසාම පමණක් නොවේ. මේ රටේ රාජ්‍ය අංශයේ වැඩ කිරීමේ සංස්කෘතිය අන්තිම තුච්ඡය. හැමෝම හැමවිටම බලන්නේ උද්ඝෝෂණය කිරීමට හෝ පඩි සහිතව වැඩ වර්ජනයක් කිරීමටය.

ලංකාවේ දේශපාලනය දූෂිත බව ඇත්ත. 1948 සිට මෑතක් වන තුරුම මේ රට පාලනය කළ කට්ටිය රටේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම සුද්ද කළ බවත් ඇත්ත. එසේ කියා රටේ ඉතිරි ටික සුද්ද කිරීම ජනතාව විසින් කරනු නොලැබිය යුතුය. මේ රටේ සෑම දිනකම කුමක් හෝ අරගලයක් පවතී. එක්කෝ එය අත්අඩංගුවේ සිටින වසන්ත මුදලිගේ බේරා ගැනීම සඳහා වූ අරගලයකි. පාරේ මිනිසුන් අරගල කලේ යැයි කියා උසාවිය හෝ රිමාන්ඩ් එක සැකකරුවන් එලියට දමන්නේ නැත. එසේ නැත්නම් රාජ්‍ය අංශයේ කුමක් හෝ ආයතනයක් සාරියක් හෝ කලිසමක් හෝ ජංගියක් හෝ වෙනුවෙන් වැඩ වර්ජනයක් කරයි. ආණ්ඩුව මගින් ඉතා ක්‍රමානුකූල ලෙස මේ වැඩ වර්ජන දියකර හරින නිසා අරගල හෝ වර්ජන සතු බලය ඉතා ශීඝ්‍ර ලෙස දියාරු වීමට පටන්ගෙන තිබේ. මේ මගින් කම්කරුවා හෝ ශ්‍රමිකයා දෙකේ කොලයට ඇද වැටේ. මෙය වූකලී ශ්‍රී ලංකාවට ටුවරිස්ට්ලා එන කාලයකි. එහෙත් ලංකාව තුළ වැඩ වර්ජන හෝ කම්කරු සටන් ඇත්නම් ටුවරිස්ට්ලා මෙහි එන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු මාලදිවයිනට යති.

පාරේ සිටින අරගලකරුවන්ගෙන් ගුටි කා මැරෙන්නට කිසිදු ටුවරිස්ට් කෙනෙක් කැමති නැත. ශ්‍රී ලංකාව යනු ස්වභාවයෙන්ම සංග්‍රහශීලී රටකි. අපේ රටට ටුවරිස්ට්ලා පැමිණීමට ප්‍රධාන හේතු තුනක් තිබේ. ඉන් පළමුවැන්න මේ රටේ ඇති ඉර අව්වය. දෙවැන්න රට වටා ඇති මහ මුහුදය. තුන්වැන්න රට වැසියාගේ සංග්‍රහශීලී ස්වභාවය ය. මේ තුනම තිබුණොත් හැර එකක් වෙනුවෙන් මෙරටට පැමිණීමට ටුවරිස්ට්ලා කැමති නැත. දේශපාලනඥයන්ගේ අක්‍රමිකතා දූෂණ සහ වංචා කම්කරු අරගල සහ කම්මැලිකම යන කාරණා නිසා මේ රටේ ඉදිරි ගමන වැළකී තිබේ. අවුරුදු පහෙන් පහට රටේ පාලනය වෙනස්වීම කෙතරම් දුරට ඵලදායිද යන කාරණය දැන් මතුව තිබේ. මේ ලෝකය තුළ ඇත්තේ එකම එක සමාජවාදී රටක් පමණි. එය වූකලී උතුරු කොරියාවය. ඒ රටේ අභ්‍යන්තරය ගැන පිටස්තර ලෝකය කිසිවක් දන්නේ නැත. ඒ රටේ සිටින අයද පිටස්තර ලෝකය ගැන කිසිවක් දන්නේ නැත. ඒ රට හැරුණු විට මෙලොව ඇති සෙසු සියලු රටවල් ධනවාදී රටවල් වෙති. මෙකී ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන වචනයෙන් හඳුන්වනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රසිද්ධියේ දූෂණ සහ වංචා සිදුවෙයි. සමාජවාදය තුළදී ඒවා හොරෙන් සිදුවෙයි. දූෂණ වංචා සහ වෙනත් අවකල් ක්‍රියා ප්‍රසිද්ධියේ සිදුවන විට ඒවා නිවැරදි කිරීමේ අවස්ථාව ආණ්ඩුවට ඇත. සමහරවිට එය නිවැරදි කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය පාවිච්චි කිරීමට සිදුවේ. මේ රටේ පාලකයන් දැඩි තීරණ නොගෙන තවදුරටත් සරල ලෙස මේ රට පාලනය කරන්නට ගියහොත් තව ටික කාලයකින් සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව පළමුවැනි තැනට විත් ඇෆ්ගනිස්ථානය දෙවැනි තැනට පත්වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment