කසුන් රාජිත සහ අසිත ප්රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දමනය කර ගැනීමට ශ්රී ලංකාවට හැකි වූවද ශ්රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ ඊයේ (18 වෙනිදා) දිනය නිමා වන විට ශ්රී ලංකාව කඩුලු 9ක් අතැතිව සත්කාරක කණ්ඩායමට වඩා ලකුණු 29 ක් පිටුපසින් සිටියේය.
ශ්රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 397 ට පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා ලකුණු 465ක් රැස් කළ අතර ශ්රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 39 ක් රැස්කරගෙන සිටියේය.
නායක දිමුත් කරුණාරත්න සමග පිටියට පිවිසි ආරම්භක පිතිකරු ඕෂධ ප්රනාන්දු ලකුණු 19කට දුවද්දී දැවී ගිය අතර ඔහුගේ දැවී යෑමෙන් පසු සැඳෑ ආරක්ෂක ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියගේ ආරක්ෂාව ද පන්දු 22කට පමණක් සීමා කරමින් ඔහු ව පිටියෙන් ඉවත් කිරීමට ටයිජුල් ඉස්ලාම් සමත් වූයේය.
ඕෂධ ප්රනාන්දු ඒ වන විට පන්දු 36කට මුහුණ දී හතරේ පහර 3ක් එල්ල කිරීමට සමත් වී තිබුණු අතර නායක දිමුත් කරුණාරත්න පන්දු 45 ක් තුළ ලකුණු 18 ක් රැස් කරගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මුෂ්ෆිකූර් රහීම් සිය නම වැනි ටෙස්ට් ශතකය ඊයේ ලබා ගත් අතර ඔහු පන්දු 282ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් ශ්රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළේය.
මෙම ඉනිමේ දී මුෂ්ෆිකූර් රහීම් ලකුණු 105ක් ලබා ගත් අතර ඒ අතර වාරයේදී බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ පළමු පිතිකරුවා බවට පත්වීමට ද මුෂ්ෆිකූර් සමත් වූයේය.
පන්දු වාර හතළිස් හතක් ක්රියාත්මක කළ ද තරගයේ ලබාගත් එකම කඩුල්ල ලෙස මුෂ්ෆිකූර්ගේ කඩුල්ල දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමත්වූ අතර පන්දු වාර 45ක් ක්රියාත්මක කළ රමේශ් මෙන්ඩිස් ට එකදු කඩුල්ලක්වත් හිමි නොවීය.
තරගයේ 4 වන දිනය වූ ඊයේ දිවා විවේකය වන තුරුත් කඩුලු ලබා නොදෙමින් පන්දුවට පහර දුන් මුෂ්ෆිකූර් රහීම් සහ ලිටන් දාස් දෙදෙනා බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ නංවමින් සිටි අතර දිවා විවේකයෙන් පසුව යවන ලද පළමු පන්දුවේ දීම ලිටන් දාස් ලකුණු 88කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වූයේය.
ලකුණු 133ක් රැස් කරගෙන තිබියදී ආබාධයක් හේතුවෙන් පෙරේදා පිටියෙන් ඉවත් වූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් අනතුරුව පිටියට පිවිසි අතර ඔහුගේ මැද ඉන්න ඊයේ දිනයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම බිම දැමූ කසුන් රාජිත
ශ්රී ලංකාවට විශාල අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් වූයේය.
අත්දැකීම් බහුල පිතිකරු ශකීබ් අල් හසන්ගේ කඩුල්ල අසිත ප්රනාන්දු විසින් දවා ගනු ලැබූ අතර ශකීබ්ට ඊයේ දිනයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 26 ක් පමණි. පන්දු 44කට මුහුණදුන් ශකීබ් කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.
නයීම් හසන් ධනංජය ද සිල්වා ගේ පන්දුවක් හමුවේ ලකුණු නවයකට දැවී ගිය අතර ටයිජුල් ඉස්ලාම්ගේ ඉනිම ලකුණු 20කට සීමා කිරීමට නැවත වරක් ක්රියාත්මක වූ අසිත ප්රනාන්දු සමත් වූයේය.
බංගලාදේශයේ චිතගොන්හි සහූර් අහමඩ් චෞද්රි ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය හෙවත් පස් වෙනි දිනය අද (19 දා) ට යෙදී තිබේ.
|