ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙයි

149

අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයකු වශයෙන් ඒ පිළිබඳව ගොඩක් කනගාටු වන බවත් වනිඳු හසරංග ඊයේ (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු හසරංග මෙසේ ද පැවසීය. ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා, පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළඳ ගැනීමට සිදු වූ බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු ‘ සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි.

එහිදී ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම් සඳහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment