වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගයට පෙර ගාලු ක්‍රිකට් පිටියේ උපහාර දැක්වීමේ චාම් උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම අනුව උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙම උපහාර දැක්වීමේ සුවිශේෂී අවස්ථාව ඊයේ (6දා) ඕස්ට්‍රේලියාව සමඟ දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර සිදු කෙරිණි.
ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය විසින් 100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා වර්ණ සහිත කැප් තොප්පිය පලඳවා දිමුත් පිළිගැනීමෙන් අනතුරුව ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් සමරු සිහිවටන ඵලකය හා වටිනා සුවිශේෂී තිළිණයක් ද ප්‍රදානය කළේය.
ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
දිමුත් කරුණාරත්න වසර 2012 නොවැම්බර් 17 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයකදී සිදුවීම දුර්ලභ සිද්ධියකි.
36 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේ පෙබරවාරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගෙන එම තරගාවලිය ජයග්‍රහණය කරා මෙහෙය විය.
“මම මේ දක්වා ලබා ඇති දේ ගැන සතුටු වෙනවා. මගේ 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවා වගේ සතුටුදායක මොහොතකින් මගේ විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමට ලැබීම පිළිබඳ සතුටුයි“ දිමුත් කරුණාරත්න පැවැසීය.
සුසිල් ජයකොඩි