ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය
2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (20 දා) සමත්විය.
රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 111ක් පමණි. ලකුණු 112ක අභියෝගය ජය ගැනීම සඳහා පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දු වාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නිගර් සුල්තානා ලකුණු 48ක්, ෂොර්නා අක්තාර් ලකුණු 25ක්, රබියා ඛාන් ලකුණු 10ක් ලැබීය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17කට කඩුලු 3ක්, උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 20කට කඩුලු 2ක්, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
ජයග්‍රාහී ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 51ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක්, චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි ලකුණු 12 බැගින් ලබාගත්තේය.
ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 3ටම හිමිකම් කියන්නට නහීඩා කාටර් සමත්වූ අතර, ඇය ලකුණු 12කට කඩුලු 3ක් බිඳහෙළීය.
ලකුණු 51ක් ලබාගත් විශ්මි ගුණරත්න තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබීය.
2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම මුහුණ දෙන දෙවැනි තරගය මැලේසියාව සමග අද (22දා) රාත්‍රි 7.00ට රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සිසිර ජයසූරිය