ශ්‍රී ලංකා කාන්තාවෝ පළමු තරගයේදී පෙරළියක් කරති

199

විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැති පළමු තරගයේම සත්කාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තියුණු ලකුණු 03 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

කේප්ටවුන්හි නිව් ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණ 129 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලට නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා සුගන්දිකා කුමාරි විසින් යවන ලද අවසන් පන්දු වාරයේදී ලකුණු 13 ක් අවශ්‍ය වුවත් එම පන්දු වාරයේදී ඔවුනට රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.

දකුණු අප්‍රිකා ඉනිමේ 13 වැනි පන්දු වාරය යැවූ සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වීමද තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට දෝලනය වීමට හේතුවූ අතර එම කඩුලු 2 දවා ගැනීමත් සමග දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුලු 5 ක් ලෙස වෙනස් විය.

අවසන් පන්දු 12 දී ප්‍රතිවාදී ඉලක්කය ලකුණු 20 ක් වුවත්, එම පන්දු වාරයේදී එතෙක් වෙලා හිසරදයක්ව සිටි නායිකාව වූ සුන් ලුස්ව දවා ගනිමින් වාසිය තම කණ්ඩායම වෙත ලබා දීමට ඉනෝකා රණවීර සමත් වූවාය.

මෙම තරගයේදී නියමිත කාල වේලාවට පෙර පන්දු වාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට ශ්‍රී ලංකා පිල අපොහොසත්වීම මත අවසන් පන්දු වාරය යැවීමට සිදුවූයේ යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නියන් සිව් දෙනකු පමණක් රඳවමිනි. කෙසේ වෙතත් සුගන්ධිකා කුමාරි එම අභියෝගය ජය ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 9 කදී ලකුණු 126 ට සීමා කිරීමට සමත් වූවාය.

මෙම තරගයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් කෙතරම් හොඳ ආරම්භයක් ලබා ගත්තේද කිවහොත් පළමු පන්දු වාර 3 ඇතුළත ලබා දී තිබුණේ ලකුණු 04 කි. ප්‍රහාරාත්මක පිතිකාරිණියක් ලෙස සැලකෙන චමරි අතපත්තු පවා කඩුල්ලේ රැඳී සිටිද්දී පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 28 ක් වශයෙනි.

හර්ෂිතාගේ දැවී යෑමෙන් පසු නායිකාවට එක්වුණු 17 හැවිරිදි විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 34 කදී ලකුණු 35 ක් ලබා නායිකාවගේ පීඩනය යම්තාක් අඩු කරලීමට දායක වූවාය. මුලින් තැන්පත්ව පන්දුවට පහර දුන් චමරි, ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කළේ සිය පන්දු 50 වැනි පන්දුවේදී සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ දමමිනි. එයට හතරේ පහර 12 ක් ඇතුළත් විය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල බිඳ වැටෙන ලද්දේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 114 ක්ව තිබියදීය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය අර්ධ ශතක ලාභිනී චමරි අතපත්තු විසින් දිනාගත්තාය.

ශ්‍රී ලංකාව පන්දු වාර 20 කදී කඩුලු 4 ට ලකුණු 129 යි – (චමරි අතපත්තු 68, විශ්මි ගුණරත්න 35, හර්ෂිතා සමරවික්‍රම 08, අනුෂ්කා සංජීවනී 05, නිලක්ෂි ද සිල්වා 04, අමා කාංචනා 04, නජිනි ද ක්ලාර්ක් 38/1, ශබ්මින් ඉස්මයිල් 22/1, මරිසෑන් කැප් 15/1)

දකුණු අප්‍රිකාව පන්දු වාර 20 කදී කඩුලු 9 ට ලකුණු 126 යි – (ලෝරා වොල්වාද් 18, ටස්මින් බි්‍රට්ස් 12, මරිසෙන් කැප් 11, සුන් ලුස් 28, චෝ ට්‍රයෝන් 10, සිනාලෝ ජෆ්ටා 15, ඉනෝකා රණවීර 18/3, සුගන්දිකා කුමාරි 28/2, ඔෂධී රණසිංහ 18/2)

advertistmentadvertistment
advertistmentadvertistment