දෙවන දිනය අවසාන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236ට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 259ක් රැස්කිරීමට සමත්ව සිටි අතර ඒ වන විට ජෙමී ස්මිත් ලකුණු 72ක් සහ ගස් ඇට්කින්සන් ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
ඒ අනුව තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස 7 වැනි කඩුල්ල ලකුණු 305ක්ව තිබියදී ගස් ඇට්කින්සන් ලකුණු 20කට දැවී ගිය අතර, එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ජෙමී ස්මිත් ලකුණු 111ක් ලබාගැනීම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ අනුව එංගලන්තය දෙවැනි දිනය අවසානයේ ලබාගෙන තිබූ ලකුණු 259 ට තවත් ලකුණු 99ක් එක්කර ගැනීමත් සමග සියලු දෙනා දැවී ගිය අතර ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 103කට කඩුලු 4ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 85කට කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 73කට කඩුලු 2ක් බිඳහෙළීය.
ඒ අනුව ලකුණු 122ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවීගිය අතර, කුසල් මෙන්ඩිස්ව ද ලකුණු ලබා නොදී ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ගස් ඇට්කින්සන් සමත් විය.
ඒ අනුව නිශාන් මදුෂ්ක සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දෙක ලකුණු දෙකක් තුළ දවාගැනීමට සමත් වුවද දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් යම් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.
දිමුත් මාර්ක් වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 33ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 10ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 73කට කඩුලු 3ක් ලෙස කියැවිණි.
සංස්කරණය – සුසිල් ජයකොඩි